Monday, April 13, 2020

ජාලය

(2018 මැයි 6 වැනි දිනැති පොස්ටුවකි)

අන්තර්ජාලය මම මුළින්ම අඳුනගත්තෙ ජාතික රෑපවාහිනියේ විකාශය වූ "අන්තර්ජාලය ඔබේ නිවසට" කියන වැඩසටහනින්. ඒ 2000දි විතර වෙන්න ඇති. වැඩසටහන මෙහෙයැවීම කලේ ටී.එම්.ජී. චන්ද්‍රසේකර. එ් කවුද මතක නැත්නම් අර මර්වින් සිල්වා කණට ගහන්න ගිහින් ගුටිකාලා බලු වෙලා ගියෙ, අන්න ඒ ටී.එම්.ජීට ගහන්න ගිහින් තමයි. සෑම වාක්‍යකටම පාහේ කලින් "මා හිතනවා" කියල කියන ඒ නිවේදකයා ඔබට අමතක වෙන්න හැකියාවක් නෑ. සම්පත් දායකයා වුණේ මහාචාර්ය රොහාන් සමරජීව. මම බොහොම ආසාවෙන් බලපු අති විශිෂ්ඨ වැඩසටහනක් ඒක.

අද ගූගල් සර්ච්කිව්වම අද නොදන්න කෙනෙකුත් නෑ, ගූගල් සර්ච් භාවිතා කරල හොයාගන්න බැරි දේවලුත් අද තියෙන්නෙ බොහොම අඩුවෙන්. මට ගූගල් භාවිතා කරන්න මුළින්ම අවස්ථාව ලැබුණේ 2005දි විතර. එතකොට ඉස් ඉස්සෙල්ලම රහස්පරීක්ෂක කතාවක් කියවද්දි වගේ අමුතුම හැඟීමක් ඒ ගැන තිබුණෙ. නමුත් ටිකෙන් ටික ඒක සාමාන්‍ය වුණේ ඉස් ඉස්සෙල්ලම කියල ගෙදරට ලංකාබෙල් ඩයල් අප් කනෙක්ෂන් එකක් ගත්තට පස්සෙ. ඒ දවස්වල අපිට ටෙලිෆෝන් නැහැ. ඒකාලෙ අද ඔය වැහි වැහැල තියන ජංගම දුරකථන ජාලවල සිග්නලුත් නෑ. ඉතිං එකම පිහිට වු⁣ණේ ලංකාබෙල් තමයි. දැන් තරම් වේගයක් ඇත්තෙම නෑ. යූටියුබ් එහෙම මළාට බලන්න බෑ. නමුත් අවශ්‍ය දේවල් ටික කරගන්න ප්‍රමාණවත් වුණා.

එහෙම ඉද්දි මම මුලින්ම ෆේස්බුක් හඳුනාගන්නෙ 2007 නොවැම්බර් වගේ කාලෙදි මට මතක විදියට. උසස්පෙළ ප්‍රතිඵල ඇවිත් කැම්පස් යන්න කලින් ACCA වලට ක්ලාස් යන කාලෙ තමයි මම ෆේස්බුක් අඳුනගත්තෙ. ඒ කාලෙ හදපු එකවුන්ට් එක 2012දි වගේ දේශපාලන ගැටලු මත අක්‍රීය කරනකල්ම ක්‍රියාත්මක වුණා. ඔය පහළින් තියන ෆොටෝ එකත් කාලයක් profile picture එක හැටියට තිබුණ. දැන් තියෙන එක හැදුවෙ 2015දි වගේ. ඒත් ගොඩක් අයගෙ තියෙන්නෙ ඒ කාලෙ හදපු පරණ එකවුන්ට් එකමයි. ඒ නිසා සමහරු අපි මෑතකදි ෆේස්බුක් අඳුනගත්ත එවුන් හැටියටත් උන් ඒ කාලෙ ඉඳන් හිටපු හැටියටත් අපිව දෙකේ කොළේට දාන වෙලාවල් තියනව. ඒ සමහරුන්ට ෆේස්බුක් එකවුන්ට් එකක් ඉස් ඉස්සෙල්ලම හදල දුන්නෙත් මම කියල මතක් වෙනකොට හිනාත් යනව.

මුළින්ම නීති පීඨයට ගියපු අලුත ඒ වගේ මතකයන් ගොඩක් තියනව. සමහරු අන්තර්ජාලයෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන් තරමට ඒක අතපතගාපු කොළඹ පැත්තෙ පදිංචි ඉන්ටර්නෙට් එක්ස්පර්ට්ල. තව කට්ටියක් ඉන්ටර්නෙට් කියල ⁣දෙයක් අහලවත් නෑ. ඒ අතරින් පතර අන්ධයා අලියගෙ හැටි කිව්ව වගේ එහෙන් මෙහෙන් අතගාල බාගෙට ඉන්ටර්නෙට් අඳුරගත්ත අපි වගේ දෙ⁣තුන් දෙනෙකුත් හිටිය. මුකුත්ම දන්නැති අය ඉන්ටර්නෙට් එකක් තියනව කියල දැනගත්තෙත් ෆැකල්ටියෙ orientation program එකෙන්. එහෙම සමහරු හිතාගෙන හිටියෙ law ෆැකල්ටියෙ පරිඝනක වලින් බලන්න පුළුවන් law සම්බන්ද දේවල් විතරයි කියල. ඉතින් computer lab එකට ගිහින් මැෂින් එකක් ඉස්සරහ වාඩි වෙලා ඉනටර්නෙට් එක්ස්ප්ලෝරර් ගිහින් ගූගල් ආපුවම ඒකෙ ⁣law කියල විතරක් type කරල search button එක ඔබල එන දේවල් දිහා පැය ගණං ඔහේ බලාගෙන හිටපු අය ඕන තරම් හිටිය. කාටවත් අපහාසෙකට කියපු දෙයක් නෙවෙයි. කාටවත් ලැජ්ජා වෙන්න දේකුත් නෑ. ඒ කාලෙ අපේ රටේ වැඩි දෙනෙකුගෙ පරිඝනක සාක්ෂරතාවයෙ මට්ටම ඒක තමයි. එදා හිටපු මට්ටම නෙවෙයි වැදගත් වෙන්නෙ, එදා සිට අද දක්වා කොයිතරම් හැකියාවන් ප්‍රමාණයක් එක්කාසු කරගෙනද කියන එක.

එහෙම තැනක හිටිය අපේ රටේ අද ඕනෑම දෙයක් අන්තර්ජාලය හරහා බලාගන්න පොඩි ළමයෙක් වුණත් දන්නව. හැමෝගෙම ජීවිත යම්තාක් දුරකටහරි අන්තර්ජාලය එක්ක බද්ධ වෙලා තියනව.

මොනව වුණත් ඒ අතින් රටක් විදියට අපි ලබල තියෙන දියුණුව ආඩම්බර විය හැකි මට්ටමේ එකක්. හැබැයි අන්තර්ජාලය කියන්නෙ දෙපැත්ත කැපෙන පිහියක් බවත් ඒක නොදැන වනවන්න ගියොත් අත විතරක් නෙවෙයි ගොඩක් දේවල් කැපිල යන්න පුළුවන් බවත් මතක තියාගන්න එක වැදගත්.



No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...