සැබැවින්ම
සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් බලා සිතින් දැවුණෙමි. එවැනි රටේ
සැළකියයුතු පිරිසකගේ සැබෑ ජීවන වෘතාන්තය වන ප්‍රබල වස්තු විෂයක් රැගත්
කතාන්තරයක් හමුවේ ජාතික මට්ටමේ තිරයෙන් මෙපිට සිදුකෙරෙන සියළු කතාබහ,
සාකච්ඡා, දර්ශන, ව්‍යාපෘති ඇතුළු සියළු දේ විහිළු බවට පත්වීම නොවැලැක්විය
හැකිය.
1988/89 ජවිපෙ දෙවන
කැරැල්ල හා සමගාමීව ගෝනිබිල්ලෙකුගේ හිස සැළීමක් මත ජීවිතය අහිමි කෙරෙන
අහිංසක මිනිසෙකුගේ බිරිඳ, මව සහ දරුවන් අටදෙනා මේ චිත්‍රපටය පුරාවටම පමණක්
නොව එය නැරඹීමෙන් දින ගණනාවකට පසුත් ඔබේ හෘදය සාකෂිය නැවත නැවත සූරා දමනු
ඇත.
මිනිසෙකුගේ අවශ්‍යතා මොනවාද ඇසූ කළ එක් එක් පුද්ගලයාට තමා
නියෝජනය කරන සමාජ ආර්ථික පසුබිම මත විවිධ පිළිතුරු තිබිය හැකිය. නමුත් සමාජ
ආර්ථික පසුබිමක් අදාළ නොවන හුදෙක් බඩගින්න පමණක් ප්‍රශ්නය වන සමාජ තලයක්ද
තිබෙන බව මෙම චිත්‍රපටය අපට නැවත නැවතත් හඬගා කියයි.
තමාගේ
බඩගින්නට වඩා කුසේ හොවාගෙන වදා ඇකයේ හොවා පෝෂණය කළ දරුවන්ගේ බඩගින්න හමුවේ
මවකට කළ නොහැක්කක් නොමැත. නමුත් එම ධෛර්යයට ආචාරය පුදනවා වෙනුවට සමාජයෙන්
ඇයට ලැබෙනුයේ ඊනියා සුද්ධවන්තයන්ගේ ගල්මුල් පමණි. ඇය හදන්නට බොහෝ දෙනා
සිටිති. නමුත් ඇයට විකල්පයක් දෙන්නට කිසිවෙකු නැත.
මරණය අවදානම
පෙනි පෙනී ගල්වලක අපාදුක් විඳීම, සිත දමනය කරගෙන ගව ඝාතන මඩුවක සේවය කිරීම
සමාජය ඇයට දෙන විකල්ප වල සමච්චල් සහගත පිළිබිඹුවකි.
අවසානයේ
නාඳුනන මිනිසුන්ට මුදල්මය වටිනාකමක් මත සිරුර පුදදීමට සිදුවන තැනට ඇය පත්වන
විට ඇය ඒ තත්වයට ඇද දැමූ ඇතැමෙක් අැගෙන් සන්තර්පණය වීමද තවත් එවැන්නෙක්
ඇගේ පැවැත්ම ප්‍රශ්න කිරීමද, පවිත්‍ර යැයි කියාගත් සම්මත සමාජ පැවැත්මේ
හෙළුව නිර්දය ලෙස නිරාවරණය කිරීමකි.
අවසාන ජවනිකාවේදී ඇගේ
කෝපාන්විත වක්පිහි පහර එල්ල වන්නේ ඇගේ ජීවිතය කඩා දැමීමට මුල් වූ
විදුහල්පතිවරයාට පමණක් නොව ඇගේ හිසට අත සේදූ, ඇයට අන් විකල්පයක් නුදුන්,
අවසානයේ ඇයට බඩුවක් කියා සමච්චල් කරන ඊනියා ධවල පිරුවටධාරී සුචරිතවාදී
නමුත් සැබැවින්ම අන්ත දූෂිත සමාජ පංතියටමය.
සංජීව පුෂ්පකුමාර
බුහුටි පණිවිඩකරුවෙකි. ප්‍රධාන චරිතය වූ කුසුමාගේ නැන්දනිය ගෙල වැළලාගන්නේ
ඇයට කිසිසේත් තනිව කඹයක් හෝ බැඳගතහැකි ස්ථානයක නොවේ. එම ගෙළ වැළලා ගැනීමට
සිදුවී ඇති සමාජ දායකත්වය ඔහු එයින් සියුම්ව නිරූපණය කරයි.
1988/89 වකවානුවේ නොතිබුණු ගීත, ඇතැම් වාහන පමණක් නොව චිත්‍රපටයේ ප්‍රධාන
පසුතලය ලෙස තල් රුප්පාවක් යොදාගැනීමෙන් මෙය 88/89 ට පමණක් හෝ සිංහල සමාජයට
පමණක් හෝ අදාළ යථාර්ථයක් නොවන බව සියුම් ලෙස සන්නිවේදනය කරයි.
එය
කිසිසේත් ඔබව තෘප්තියට පත්කරන සංසිඳවන සිනමා නිර්මාණයක් නොවනු ඇත. එය නැවත
නැවතත් කෲර ලෙස ඔබවම ප්‍රශ්න කරනවා ඇත. සුව නින්ද අහිමි කරනවා ඇත. එබැවින්
පහන් සංවේගය උදෙසා වූ සිනමා රසිකයන් මෙය නැරඹීමෙන් වැලකීම උචිත වේ.
මට සිනමාව අමතක වී සිටි අවස්ථාවක මෙම පපුව හාරවනසුළු සිනමා වියමන කෙරෙහි මගේ අවධානය යොමුකළ Senarath Bandara සොයුරාට අපමණ තුති.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Monday, April 13, 2020
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment