Monday, April 13, 2020

Anonymous (2011)






විලියම් ශේක්ස්පියර් සැළකෙන්නේ ලෝක නූතන නාට්‍ය කළාවේ පෙරගමන්කරුවා වශයෙනි. ඔහුගේ නාට්‍ය වල රැඳුණු එකළ සමාජ සම්මතයට එල්ලවූ සියුම් උපහාසය අදටත් ලෝක සම්භාවනාවට පාත්‍ර වේ.

විලියම් ශේක්ස්පියර් සම්බන්ධයෙන් අසා ඇති තත්වයට වෙනස් කතාන්තරයක් කියැවෙන සිනමා පටයක් ලෙස Anonymous හැඳින්විය හැකියි.

එහි සඳහන් කතා පුවතට අනුව විලියම් ශේක්ස්පියර් යනු නාට්‍ය කණ්ඩායමක පසුපෙළ නළුවෙක් පමණි. ඔහුට යටත් පිරිසෙයින් ලිවීමේ කියවීමේ හැකියාව පවා නැත.

එකල එංගලන්තයේ උසස් රදළ පෙළපතකින් පැවත ආ (පසුව පළමුවැනි එළිසබෙත් රැජිනගේ අනියම් පෙම්වතා බවට පත්වන, ඊටත් පසුව එම රැජිනගේම අනියම් සබඳතාවයක ප්‍රතිඵලයක් ලෙස උපත ලබන ඇයගේම පුතෙකු බව හෙළිදරව් වන) ඔක්ස්ෆර්ඩ්හි අර්ල් වරයා වූ Edward De Vere සාහිත්‍යයට ඉමහත් ලැදියාවක් දැක්වූවෙකි. නමුත් එංගලන්ත රදළයන් සහ රාජකීයයන්ට අදාළව ක්‍රියාත්මක වූ අන්ත සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව තුල සාහිත්‍යය, නාට්‍ය වැනි ක්ෂේත්‍ර එකළ සැළකුණේ තහනම් හෝ නොවැදගත් ක්ෂේත්‍ර වශයෙනි.

කෙසේ වෙතත් තමන්ගේ සිත තුල කලාවට ඇති ලැදියාව අත් නොහරින ඔක්ස්ෆර්ඩ්හි අර්ල් වරයා, රහසිගතව මහා සාහිත්‍යධරයකුගේ තත්වයට වැඩි දියුණි වේ. ඔහු විසින් ලියන ලද නාට්‍ය, කාව්‍ය බොහෝ වුවද තමාගේ රදළ පෙළපත් නාමය හේතුවෙන් තමන්ගේ නමින් ඒවා එළිදැක්වීමට නොහැකිව එම වටිනා නිර්මාණ සහ ප්‍රතිභාව සඟවාගෙන ඔහු ජීවත් වන්නේ අතෘප්තියෙනි.

මැදිවිය පසුකිරීමෙන්ද අනතුරුව තමා සහ ⁣පළමු එළිසබෙත් රැජිනගේ අවජාතක පුතු වූ සවුත්හැම්ටන්හි අර්ල් වරයා සමග නෘත්‍ය ශාලාවකට පියනගන අවස්ථාවේ ඔහුට Ben Johnson නැමැති නාට්‍ය රචකයා දක්නට ලැබේ. Johnson දකින ඔක්ස්ෆර්ඩ්හි අර්ල්වරයා ලෝක සාහිත්‍යයේ දිශානතිය වෙනස් කරන එම ඓතිහාසික තීරණයට එළඹෙයි. එනම් තමාගේ නිර්මාණ Ben Johnson හරහා ජනගත කිරීමට තීරණය කිරීමයි.

එයට Ben Johnson එතරම් කැමැත්තක් දක්වන්නේ නැත. එබැවින් අවසානයේ ඔක්ස්ෆර්ඩ්හි අර්ල් වරයාගේ නාට්‍ය එළිදැක්වුණද ඒවායේ රචකයා ලෙස ප්‍රසිද්ධියට පත් කෙරෙන්නේ Johnson නොව ඔහුගේ නාට්‍යවල දෙවනපෙළ නළුවෙකු ලෙස කටයුතු කළ විලියම් ශේක්ස්පියර්ය.

එතරම් බුද්ධිමතෙකු හෝ ලිවීමේ කියවීමේ හැකියාවක් නැත්තෙකු වුවද ශේක්ස්පියර් යම් හැකියාවකින් යුතු නළුවෙකි. එමෙන්ම රචකයෙකු ලෙස ආකර්ශනයට බඳුන්වන පෙනුමක්ද ඇත්තෙකි. ඔහුගේ නමින් ප්‍රකාශයට පත්වන ඔක්ස්ෆර්ඩ්හි අර්ල්වරයාගේ නාට්‍ය මහත් වූ ජන සම්භාවනාවට පාත්‍ර වන්නේ ශේක්ස්පියර් බෞද්ධ ජාතක කතාවක එන චුල්ල ධනුද්දරගේ දක්ෂතාවයෙන් බැබළුණු කඩවසම් ඔතෑනි පුද්ගලයා භීමසේන වැනි තත්වයකට පත් කරමිනි.

ඒ හා සමගාමීව එංගලන්තයේ දේශපාලනයට අදාළ සිද්ධීන් ගණනාවක්ද මෙහි නිරූපණය කෙරෙන අතර ඒවා අවසානයේ ඔක්ස්ෆර්ඩ්හි අර්ල්වරයා වයස්ගතව මියයන්නේ තම රහස රැකගැනීමට බෙන් ජොනසන් පොරොන්දු කරවා ගැනීමෙන් අනතුරුව ඉතිරි නාට්‍ය පිටපත් සියල්ල ඔහුට ලබාදී වංශාධිපතියෙකු වුවද දුගියෙකු ලෙසිනි.

ඔක්ස්ෆර්ඩ්හි අර්ල්වරයාගේ මරණින් පසු ශේක්ස්පියර් නාට්‍ය රචනයෙන් ඉවත්ව තම මුල් ගම් ප්‍රදේශයට ගොස් ව්‍යාපාරිකයෙකු ලෙස නව දිවියක් ඇරඹූ බව කියැවේ.

අර්ල්වරයාගේ අවසන් ඉල්ලීම අනුව ඔහු මරණ මංචකයේදී ලබාදෙන නාට්‍ය පිටපත් තම නමින් ජනගත කරන බෙන් ජොන්සන් සම්මානනීය නාට්‍ය රචකයෙකු බවට පත්වේ.

විලියම් ශේක්ස්පියර්ගේ සහ බෙන් ජොන්සන්ගේ නාට්‍ය රචනාවන්හි බොහෝ සමාන ලක්ෂණ දක්නට ලැබෙන බව නරඹන්නාගේ අවධානයට යොමුකරමින් සිනමා පටය නිමාවට පත්වේ.

අසහාය සිනමාකරු Roland Emerichගේ විශිෂ්ඨ සිනමාපටයක් වන Anonymous, සාහිත්‍යකරුවකු පිළිබඳව කතාන්තරයක් කියැවුණද ත්‍රාසයෙන් කිසිසේත් අඩු නැති, සිනමා ලෝකයේ ජනප්‍රිය conspiracy theory තේමාවට නෑකම් කියන මතකයේ රැඳෙනසුළු, සෑම සිනමා රසිකයෙකුම වරක් හෝ නැරඹිය යුතු සිනමාපටයකි.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...