Monday, April 13, 2020

මගේ නොවුණ මගේම පාසැල - දෙණගමුව මහා විද්‍යාලය

(2018 අගෝස්තු 6 වැනි දිනැති පොස්ටුවකි)

ආසිරි ගංගා මුවගේ රන්දා
දෙණගමු විදුහල් මෑණී
වන්දේ ගීත ගයා අභිනන්දන
මණඩිත මධුරස වාණී

ඒ කු/දෙණගමුව මහා විද්‍යාලයේ පාසල් ගීය. මම කිසිම දවසක නිල වශයෙන් දෙණගමුව මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙක් වෙලා ඉඳලා නැතත් ඔය උඩින් තියෙන පාසැල් ගීතය කවදාවත් නොමැකෙන විදියට මතකයේ සනිටුහන් වෙලා තියෙනව. ඒකට හේතුව දෙණගමුව මහා විද්‍යාලය කවදාවත් වෙන්කරන්න බැරි විදියට මගේ බාල කාලයේ මතකයන් එක්ක බැඳෙන තැනක් හින්ද.

මම මොන්ටි⁣සෝරි ගිහින් නෑ. කවදාවත්ම. ඒ වෙනුවට මොන්ටිසෝරි යන්න තිබුණ අවුරුද්දත් මම ගතකලේ ඒ දවස් වල අම්මයි අප්පච්චියි වැඩකරපු දෙණගමුව මහා විද්‍යාලයේ 1 වසර A පන්තියෙ. පංතිභාර ගුරුතුමිය වුණ සමරසිංහ ටීච ආයෙත් දකික්න ආසයි.

දෙණගමුව ඉස්කෝලෙ කියන්නෙ අර චිත්‍රපට ටෙලිනාට්‍ය වල පෙන්නන විදියෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර ගමේ ඉස්කෝලයක්. එක පැත්තකින් පාරටයි අනිත් තුන් පැත්තෙන්ම වෙල් යායටයි මායිම් වුණ ඒ සුන්දර තක්සලාවෙ ඒ කාලෙ ඒ කියන්නෙ 1992 විතර ළමයි දාහකට අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලැබුව.

උදේ හත හතහමාර අතර කාලයේදි අර පරණ නවකතා පොත්වල තියෙනව වගේ නියර දිගේ පාර දිගේ කිරි කොක්කු වගේ ළමයි පයින් ඉස්කෝලෙ එනව. ඒ අතර මාවත් පෙට්‍රල් ටැංකිය උඩ වාඩිකරවගෙන අම්මයි අප්පච්චියි පරණ CB 90 බයිසිකලේ ඉස්කෝලෙට එනව. දැන් ඉන්න මිනිස්සු පයින් යාම අගෞරවයක් විදියට සැළකුවට ඒ කාලෙ එහෙම නෑ. බස් එකේ යන්න සල්ලිත් තියාගෙන අපේ ගමේ (ඒ කියන්නෙ ඉස්කොලෙට කිලෝමීටර් 3ක් විතර ඈත) ඉඳන්ම වුණත් පයින් ඉස්කෝලෙ යන ළමයි ඕන තරම් හිටිය.

බයිස්කලේ ගිහිං ඔෆිස් එක ඉස්සරහ කෝන් ගහ යට නවත්තල අප්පච්චි මුලින්ම මාව පෙට්‍රල් ටැංකියට උඩින් උස්සල බිමින් තියන්නෙ පූස් ⁣පැටියෙක් උස්සන තරම්වත් ගාණක් නැතුව. ඊට පස්සෙයි අම්මා බිමට බහින්නෙ.

බයිසිකලෙන් බැහැපු ගමන් අම්මයි අප්පච්චියි දෙන්නම ඔෆිස් එකට යනව අස්සං කරන්න. මම ඔෆිස් එක ඇතුලට ගියේ කලාතුරකින්. ඒ විදුහල්පතිතුමා වුණ වීරකොන් සර්ට බය හින්ද. ඒ කාලෙ විදුහල්පති කෙනෙක් කියන්නෙ ඒ විදියෙ දැක්කාම කෙනෙක් පසුබානසුළු මහා පෞරුෂයක් තියන දැවැන්ත චරිතයක්.

අම්මයි අප්පච්චියි අස්සං කරල එළියට එනකල් මම ඔෆිස් එකේ දොරගාව බිත්තියට හේත්තු වෙලා පඹය තිබ්බ වගේ ඉන්නව. ඔය අතර ගුරු මණ්ඩලයේ අනික් ටීචලා සර්ලා "ආ පුතා කොහො⁣මද" කියල ඔලුව අතගාල හිනාවක් දාගෙන යනව.

අස්සං කළාට පස්⁣සෙ අම්ම බෑග් එක තියන්න යනව විද්‍යාගාරයට. මම ඒ කාලෙ කිව්වෙ "විද්දියා කාමරේ" කියල. මමත් ඒ පස්සෙං යනව. අප්පච්චි බෑග් එක තිබබෙ සෝමරත්න සර්ගෙ කාමරේ. එ කිව්වෙ ලෝහ වැඩ උගන්නපු සර්ගෙ කාමරේ. සමහර දවස් වලට මම එතෙන්ටත් යනව. එතන මේසෙට හයි කරල තිබුණ විසාල දඬු අඬු වලට මම ටිකක් බයයි.

විද්දියා කමරේට ගියපු දවස්වලට එතනට බෑග් තියන්න එන ටීචල ඔක්කොම මගෙ ඔලුව අතගානව හුරතල් කරනව. ඒවට මොනවගේ ප්‍රතිචාර දක්වන්න ඕනද කියල නොතේරුණත් මම හැමෝටම ඉරි හිනාව පාල පාඩුවෙ ඉන්නව. (ඉරි හිනාව කිව්වෙ දත්පෙන්නන්නෙ නැතුව හිනාවෙන එකට)

සෝමරත්න සර්ගෙ කාමරේට ගියාම ඒක වෙනස්ම අත්දැකීමක්. එතනට එනව සිරිල් සර්, එඩ්වඩ් සර්, සිරිසේන සර්, පීටර් සර්, වර්ණසූරිය සර්, රම්බණ්ඩා සර් ඇතුලු අප්පච්චිගෙ යාළු සර්ල ගොඩක්. ඒ සර්ල විවිධ මාතෘකා ගැන කුතුහලය දනවන දේවල් කතා කරනව. මම මගෙ යාළුවො එක්ක කතා කරනකොට කියන්න අති පණ්ඩිත කතා අහුලගන්නෙ එතනිං.

සමහර දවස්වල අම්මා හරි අප්පච්චි හරි මාව කැන්ටිමට එක්ක යනව. ඒක හරි අපූරු කැන්ටිමක්. මැටිගහපු වරිච්චි බිත්ති හතරකට පොල්අතු වහලා. හරියට සෙල්ලම් ගෙයක් වගේ. වහලේ පරාලෙකට ලණුවක් දාල ඇඹුල් කෙහෙල්කැනක් එල්ලල තියනව. මේසෙ උඩ තියන පුංචි රාක්කයෙ පිඟන් තියල ඒවයෙ කැන්ද කොලේ ඔතපු ඉඳිආප්ප මුල්, පුස්නාප්ප, ලැවරිය, මුංගුලි වගේ ඒව පුරවල තියනව. පාන්පිටි කෑම කියල තිබුණෙ මාළුබනිස්, නිකම් බනිස් සහ පාන් විතරයි. කැන්ටිමේ අංකල්ගෙ මේසෙ උඩ ලොකු බෝතල් තුනහතරක ඩෙල්ටා ටොපි, බුල්ටෝ, හකුරු, විස්කිරිඤ්ඤ වගේ ඒව පුරවල තියනව. ඊට අමතරව පෙට්ටියක ළමයින්ට ඕනකරන පිටු 40යි 80යි අභ්‍යාස පොත් තියනව. ළමාහුරුව, SPC කියන වර්ග දෙකෙන් තමයි තියෙන්නෙ. කැන්ටිමේ අංකල්ට පිටිපස්සෙ වරිච්චි බිත්තියට ඇණගහල පෑන් පැන්සල් මකනකෑලි පැකට් එල්ලල තියෙනව. කැන්ටිමේ එක කෙළවරකට වෙන්න තියන ලිප උඩ දැළි බැඳිලා කළුපාට වෙච්ච බොයිලේරුවක වතුර නටනව. ඔය කැන්ටිමට ගියප ගමන් තියෙන මොක වුණත් ගන්නමයි හිතෙන්නෙ. මාත් පුංචිකමට අම්මා අරන්දෙන ලැවරියෙන් බාගයක් කාල තව හිතුණොත් අම්මගෙ ප්ලේන්ටියෙන්ම උගුරක් දෙකක් බොනව.

ඊට පස්සෙ අම්මා හරි අප්පච්චිහරි මාව එක්ක ගිහිං 1 වසර A පන්තියට ඇරළල එනව. මමත් චූටි පොත් බෑග් එක පන්තියෙන් තියල යාළුවොත් එක්ක පිට්ටනියට යනව. "අපි මැරතන් එකක් දුවමු." දුසන්ත කියනව. අපිත් හා කියල පිට්ටටනිය වටේ දුවන්න පටන්ගන්නව. ටික දුරක් දුවනකොට ඉස්සරහින් දුවන දුසන්තටම කම්මැලි හිතිල පිට්ටනිය මැදින් ආපහු හැරෙනව. අපිත් ඒ පස්සෙන්ම හැරෙනව.

ඔහොම ඉන්නකො⁣ට ඉසකෝලෙ පටන්ගන්න බෙල් එක ගහනව. බෙල් එක ගහන්නෙ 13 වසරෙ අයියා කෙනෙක්. ගොඩක් වෙලාවට ප්‍රධාන ශිෂ්‍ය නායක කුමාරසිරි අයියා හරි ජයන්ත අයියා හරි තමයි බෙල් එක ගහන්නෙ. කුමාරසිරි අයියා දැන් ගුරුවරයෙක්ලු. ආසයි දකින්න. ජයන්ත අයියා හමුදාවට ගිහින් යුද්දෙදි මැරුණා. මේ ළඟක් වෙනකල්ම එයාට පිං පිණිස හදපු බස් හෝල්ට් එක ගොඩවෙල හන්දියෙ තිබුණ.

ඒ කාලෙ 13 වසර ළමයි කියන්නෙ දැන් වගේ කට්ටි පණින, වල බහින උන් නෙවේ. ඒ හිටපු අයියලා කණ්ඩායමම පුදුමාකාර පෞරුෂයක් තිබුණ, ආදර්ශමත්, ගුරුවරුන්ට විතරක් දෙවෙනි වෙන ඕනම වගකිවයුතු වැඩක් භාරදෙන්න පුළුවන් අය. එහෙම දෙණගමුව ඉස්කෝලේ හිටිය වගේ 13 වසරක් මම ආයෙ කවදාවත් දැකලම නෑ.

බෙල් එක ගැහුවාම රැස්වීම පටන්ගන්නව. පිට්ටනියෙ පේලි හැදිලා පන්සිල් අරගෙන කතා පවත්තලා රැස්වීම ඉවර වෙනකොට විනාඩි 20ක් විතර යනව. ඊට පස්සෙ එන්නෙ තවත් රස මොහොතක්. ඒ තමයි 1,2,3 පන්තිවල ළමයින්ට සුප් දෙන වෙලාව. ඒ දවස්වල ආණ්ඩුවෙන් පොඩි පන්තිවල ළමයිට නොමිලයේ සුප් දුන්න. කට්ටියම පෝලිම් හැදිලා සුප් හැන්දයි සුප් කෝප්පෙයි අරන් සුප් බොන්න යනව. හැමෝටම හම්බවෙනව රසම රස උණු උණු එළවලු සුප්. අම්මෝ ඒකෙ රස.

ඊට පස්සෙ පන්තියෙ වැඩ පටන්ගන්නව. මාත් හරි හරියට මට අවුරුද්දක් වැඩිමල් ළමයි එක්ක ඒ ක්‍රියාකාරකම් කරනව. අදටත් ඕන ලොක්කෙක් එක්ක මම පොඩියි කියල හිතන්නෙ නැතුව හරි හරියට උරෙනුර ගැටිලා වැඩකරන්න මම පන්නරය ලබපු මුල්ම තැන එතන.

ඊට පස්සෙ එන්නෙ ඉන්ටර්වල් එක. හැමෝම තමන් කන්න ගෙනාපු දේ යාළුවො එක්ක බෙදාගෙන ඉවර වෙනකල් කන්න ඕන විතරක් නෙවෙයි කාලා ඔක්කොම කාපු බව ටීචර්ට පෙන්නන්නත් ඕන. ඉන්ටර්වල් එකට පස්සෙ උගන්වන්නෙ පැය භාගයක් විතර. ඉන් පස්සෙ දවල් 11 විතර වෙද්දි 1වසර අරිනවා.

ඊට පස්සෙ මුළු ඉස්කෝලෙම අරිනකල් එන්නෙ වසන්ත සමය වගේ කාලයක්. සෙල්ලම තමයි. අල්ලන සෙල්ලම්, හොරා පොලිස්, දෙගස් වගේ එක එක සෙල්ලම්. මගේ 1වසර ස⁣ගයොත් ගොඩක් වෙලාවට දිනේෂ් නාමල් ඉස්කොලේ ඇරියාම යන්නෙ නැතුව මාත් එක්ක නතර වෙනව.
දවසක් හොරා පොලිස් කරල මම හොරු අල්ලගෙන ලණුවකින් ගහකට තියල ලණුවකින් බඳිනකොටම ප්‍රින්සිපල් සර් ආව. මම දුවල ගිහිං හැංගුණ පාර ඉස්කෝලෙ අරිනකල් එළියට ආවෙ නෑ. තවත් වතාවක් මුලින් කියපු නාමල් අත්අඩංගුවට ගැනීමේදි අවම බලය පාවිච්චි කරන්න ගිහිං අතේ තිබුණ පෑනකින් නාමල්ගෙ කොන්දට ඇන්න හිල් වෙන්නම. එදා නම් අප්පච්චිගෙන් හොඳටම ගුටිකෑව.

තවත් මතකයන් ගොඩායි. අද උදේ බිරිඳයි චූටි දෝණියි එක්ක දෙණගමුව ඉස්කෝලෙ ගාවින් යන ගමන් ඒ පැත්ත බැලුවම ඔය මතකයන් ආයෙත් අලුත් වුණා. තාමත් ඒ ඉස්කෝලෙ අර වගේමයි. ඒත් ළමයි ඉන්නෙ 200ක් විතර. මම මීට අවුරුදු 25කට කලින් ළදරුවෙක් විදියට හරි ඒ ඉස්කෝලෙ ස්වර්ණමය යුගය දැකල තියන නිසා දැන් ඉස්කෝලෙ දකිනකොටත් ඇසට කදුළු එන එක වලක්වන්න අමාරුයි.

කු/ දෙණගමුව මහා විද්‍යාලය - මගේ නොවුණ මගේම පාසැල. මම ඔබට හැමදාමත් ආදරෙයි.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...