(2018 ඔක්තෝබර් 12 වැනි දිනැති පොස්ටුවකි)
සේවාදායකයන් සහ අධිකරණය සමග කටයුතු කිරීමේදී නීතිඥවරුන් විසින් අවධානයට
යොමු කළ යුතු කාරණා අඩංගු පොතපත ලිපි ලේඛන සැලකිය යුතු ප‍්‍රමාණයක් ඇත.
නමුත් නීතිඥවරුන් සමග කටයුතු කිරීමේදී සේවාදායකයෙකු දැනගතයුතු කරුණු සදහන්
ලේඛනයක් මෙතෙක් මා දැක නැත. එම විශාල අඩුව සම්පූර්ණ කිරීමටදරණ ලද යම්
උත්සාහයකි මේ සටහන.
01. හමුවීමට වේලාවක් කල්තබා වෙන්කරගන්න
නීතිඥවරු ස්වභාවයෙන්ම අතිශය කාර්ය බහුල වේ. එබැවින් කලින් නොදන්යවා අද
ඔබේ කාර්යය ඉටුකරවාගතහැකියැයි සිතා නිවාඩුද දමා නීතිඥවරයා හමුවන්නට යන
ඇතැම් දින වලදී නීතිඥ වරයාට ඔබත් සමග වචනයක් හෝ කතා කිරීමටවත් අවකාශයක්
නොලැබෙන්නට පුලුවන. එවිට ඔබට නීතිඥවරයා කෙරෙහි අප‍්‍රසාදයක්ද ඇතැම‘ විට
ඇතිවනු ඇත. නමුත් වරද ඔහුගේ නොව තමා පැමිණෙනබව කලින් දැනුම් නොදුන් ඔබගේ බව
වටහා ගන්න. ඔබ පැමිණෙන බව පවසා මුණගැසීමට වේලාවක් කලින් වෙන්කරවා
ගත්තේනම් අදාළ නීතිඥවරයා එම නියමිත වේලාවේ ඔබ වෙනුවෙන් සූදානම්ව සිටිනු
ඇත.
02. අසම්පූර්ණව නොයන්න
යම් කටයුත්තක් සදහා ඔබේ
නීතිඥවරයා හමුවීමට යාමේදී ඔබ නීතිඥවරයාගෙන් උපදෙස් ලබාගැනීමට බලාපොරොත්තු
වන කරුණට අදාළ ඔබට සපයා ගතහැකි සියලු තොරතුරු සහ ලිපි ලේඛනත් සමග නීතිඥ
වරයා හමුවීමට වගබලාගැනීමෙන් ඔබේ මෙන්ම නීතිඥවරයාගේද කාලය ඉතිරි වනු ඇත.
යම් තීරණාත්මක කරුණක් සම්බන්ධ ලේඛනයක් පිළිබදව "ආ ඒක ගෙදර" හෝ "අදනම්
ගෙනාවෙ නෑ" වැනි නිදහසට කරුණු කීමට සිදුවන අවස්ථා අවම කරගන්න.
03. ගාස්තු නිසි වේලාවට ගෙවන්න
නීතිඥවරයා ජීවත් වන්නේ ඔබ වැනි සේවාදායකයින් ගෙවනු ලබන ගාස්තු වලිනි.
ඔවුනට රජයෙන් වැටුප් ලැබෙන්නේ නැත. එබැවින් ඔබට සේවාවාක් සපයන වෙනත් ඔනෑම
වෘත්තිකයෙකු මෙන්ම නීතිඥ වරයෙකුද අදාළ සේවාව සපයනු ලබන අවස්ථාව වනවිට
ගාස්තු ගෙවා සම්පූර්ණ කරනු ඇතැයි සාධාරණ ලෙස බලාපොරොත්තු වේ. එය හිග නොතබා
ගෙවීම ඔබගේ වගකීමකි. නිසි වේලාවට ගාස්තු ගෙවන විශ්වාසවන්ත සේවාදායකයෙකුට
නීතිඥවරයෙකු පමණක් නොව වෙනත් කුමන හෝ සේවා සපයන්නෙකු මහත් උනන්දුවෙන් පසුව
ගාස්තු ලබාගැනීමේ පොරොන්දුව මත වුවද සේවාව සපයනු ඇත. නමුත් එය ඔබට
අයිතියක් ලෙස බලාපොරොත්තු විය නොහැකි දෙයකි.
විභාග නඩු දිනයකදී නඩු
විභාගය සදහා ගාස්තුව ගෙන එදින නඩුව විභාගයට නොගතහොත් ගාස්තුව ආපසු දිය
යුතුයැයි ඇතැමුන් කල්පනා කරති. ඔවුන් අමතක කරන කරුණ වන්නේ නීතිඥවරයා
ගාස්තුව අයකරනු ලබන්නේ එදිනට පෙනී සිටීම සදහා පමණක් නොව අදාළ නඩු පොත්
අධ්‍යයනය කිරීම නව නීතිරීති පිළිබදව සටහන් තබාගැනීම ආදී ඔබට දක්නට නොලැබෙන
දහසකුත් එකක් කටයුතු වෙනුවෙනි.
නීතිඥවරුන්ගේ ගාස්තු අධික යැයි
ඇතැමුන් චෝදනා කරති. එයද පදනමක් නොමැති චෝදනාවකි. මන්ද නීතිඥවරුන්ගේ ගාස්තු
අතර අති විශාල විවිධත්වයක් පවතින නිසාය. ඔබට නඩු දිනයකට රුපියල් 10000ක්
ගෙවීමට නොහැකි නම් එම නඩු දිනයට රුපියල් 500ක් වැනි ගාස්තුවකට පෙනී සිටිනු
ඇති නීතිඥවරුන් ඇති තරම් සිටිති. අධික ගාස්තු අයකරන නීතිඥවරයා වෙත ගියේ ඔබ
මිස ඔහු ඔබට බලෙන් අඩගසා අධික ගාස්තු ඉල්ලුවේ නැත. එබැවින් ඔහුට බැණීම
පදනම් විරහිත ක‍්‍රියාවකි. ඔහුගේ පළපුරුද්ද දැනුම දක්ෂතාවය මත ඔහු තමන්ට
අනන්‍ය ගාස්තුවක් අයකරයි. එය ඔබට නොගැලපේනම් ඔබට ගැලපෙන මට්ටමේ ගාස්තු
අයකරන නීතිඥවරයෙකු තෝරාගැනීම ඔබටම භාරය.
04. හැකි සෑම අවස්ථාවකදීම නීතිඥවරයා "හමුවී" උපදෙස් ගන්න
බොහෝ දෙනා පුරුදුව සිටින්නේ තමන්ට යම් නීති උපදෙසක් අවශ්‍ය වූ වේලාවට තම
නීතිඥවරයාට දුරකථනයෙන් අමතා උපදෙස් ලබාගැනීමටය. ඉතා හදිසි නොවැලැක්විය හැකි
අවස්ථාවකදී එය සිදුකළද හදිසි නොවන සුලු සුලු කාරණා අරභයා නීතිඥවරයාට
වෙලාවක් අවේලාවක් නොමැතිව කතා කිරීම නොකළයුතුය. මන්ද ඔබට ලබාදෙන උපදෙස්
සදහා මුදලක් අය කිරීමට නීතිඥ වරයාට අයිතියක් ඇත. එය ප‍්‍රතික්ශේප කරන්නේනම්
එය නීතිඥවරයාගේ අභිමතය මත ඔහු විසින් සිදුකරනවා මිස ගාස්තු අනවශ්‍ය බව
තීරණය කිරීමට ඔබට අයිතියක් නැත. එබැවින් ඉතාම හදිසි නොවැලැක්විය හැකි
කරුණක් සම්බන්දයෙන් මිස පුරුද්දක් වශයෙන් දුරකථනයෙන් උපදෙස් ලබාගැනීම
නීතිඥවරයාගේ සිතේ ඔබ කෙරෙහි අප‍්‍රසාදයක් ඇතිවීමට හේතුවක් විය හැකිය. සුලු
සුලු කරුණු වලට නිරන්තරයෙන් දුරකථනයෙන් කරදර කරන පුද්ගලයන්ගේ දුරකථන ඇමතුම්
වලට පිළිතුරු දීමෙන් වැලකීමට පවා ඇතැම් විට නීතිඥවරයා පෙළඹිය හැක. මෙයින්
සිදුවන්නේ ඉතාම හදිසි කරුණකට පවා ඔබට අවශ්‍ය වේලාවට නීතිඥවරයා සම්බන්ධ
කරගත නොහැකි තත්වයක් ඇතිවීමයි.
05 නීතිඥවරයාටද පෞද්ගලික ජීවිතයක් ඇති බව අමතක නොකරන්න
මෙය ඉහත කරුණටද යම් ආකාරයකට සම්බන්ධ කරුණකි. ඔබ වේලාවක් අවේලාවක් නැතිව
නීතිඥවරයාට දුරකථනයෙන් කතා කිරීම ඔහුට මහත් හිරිහැරයක් වනු ඇත. නීතිඥ
වෘත්තිය යනු පැය 24ම වැඩකරන වෘත්තියක් බව සැබෑය. නමුත් නිවසේ වහළයට පොල්
ගෙඩියක් වැටුණු පමණින් රාත‍්‍රි 12ට පවා ඔබ නීතිඥවරයා ඇමතීම සාධාරණ බවක්
ඉන් කිසි සේත් අදහස් නොවේ. නීතිඥවරයාටද ඔබට මෙන් නිවසක් ඇත. භාර්යාවක්
දරුවන් ඇත. දවසේ කාර්යයන් නිමකොට නිවසට ගොස් පවුලේ අය සමග ගත කිරීමට ටෙලි
නාට්‍යයක් චිත‍්‍රපටයක් බැලීමට පොතක් පතක් කියවීමට මෙන්ම පසු දිනට නියමිත
නඩු පොත් ආදිය අධ්‍යයනය කිරීමටද ඔවුන්ටද නිවාඩුවක් අවශ්‍යය. සේවය නිමවා
ගෙදර යන නීතිඥ වරයාට පස්වරු හතේ ඉදන් කතා කරමින් විවිධ දේ විමසීමට ඔබ
පටන්ගතහොත් එය ඔහුට මහත් හිරිහැරයක් වනවා පමණක් නොව ඔබව අප‍්‍රියජනක
පුද්ගලයෙක් බවටද පත්වනු ඇත. එබැවින් නීතිඥවරයා දුරකථනයෙන් අමතන සෑම
අවස්ථාවකදීම ඔහුගේ කාර්යාලයේ ස්ථාවර දුරකථනයටම ඇමතීමට පුරුදු වන්න. ඉතා
හදිසි කරුණකට මිස ජංගම දුරකථනයට ඇමතීමෙන් වලකින්න. එසේ අමතන සෑම අවස්ථාවකම
අමතන කරුණ රාජකාරිමය දෙයක් නම් කාර්යාල වේලාවේදී පමණක් ඇමතීමට වගබලාගන්න.
සතියේ දිනවල කාර්යාල වේලාවෙන් පසු හෝ සති අන්තවල හෝ නිවාඩු දින වලදී
නීතිඥවරයා අමතන්නේනම් එය නොවැලැක්විය හැකි ඉතා හදිසි කරුණක් සදහා පමණක් බවට
විනයක් ඇතිකරගන්න. එසේ අමතන අවස්ථා වලදීද කිව යුතු කරුණ හැකිතාක් කෙටියෙන්
කියා අවශ්‍ය උපදෙස ලබාගෙන ඇමතුම අවසන් කරන්න.
බොහොමයක් දියුණු
රටවල වෘත්තිකයන්ගේ ආගන්තුකපත‍්‍රයෙහි සදහන් වන්නේ ස්ථාවර දුරකථන අංකයක්
පමණි. ඔවුන් ජංගම දුරකථනය පෞද්ගලික දුරකථනය ලෙස භාවිතා කරන අතර එහි අංකය
සමීපතම අයට හැර අන් අයට ලබාදීම නොකරති. නමුත් ශ‍්‍රී ලංකාවේ රාජකාරි
දුරකථනය ලෙස ජංගම දුරකථනද භාවිතා වීමේ ප‍්‍රවණතාවයක් ඇති බැවින් බොහෝ දෙනා
කරන්නේ ජංගම දුරකථන දෙකක් තබාගෙන එකක් රාජකාරි සදහාද අනෙක පෞද්ගලික කටයුතු
සදහාද භාවිත කිරීමයි. එවන් අවස්ථා වල වුවද කාර්යාලීය වේලාවෙන් පසු
රාජකාරි ජංගම දුරකථනයට හෝ ඇමතීම හැකිතාක් සීමා කරන්න. කාර්යාලීය වේලාවෙන්
පසු ඇමතූ යම් අවස්ථාවක නීතිඥවරයා දුරකථනයට පිළිතුරු නොදේ නම් ඔහු හා උරණ
නොවන්න. ඒ ඔහුගේ පෞද්ගලික කාලසීමාවයි. ඉතාම හදිසි කරුණක් නම් ආචාරශීලී කෙටි
පණිවිඩයක් තබන්න. එවිට ඔහු හැකි ඉක්මනින් ඔබට පෙරළා අමතනු ඇත.
06. නීතිඥවරයාගේ භූමිකාව හදුනාගන්න
බොහෝ අය නඩුවල තම ප‍්‍රතිපක්ෂයේ නීතිඥවරයාද සතුරෙකු ලෙස සළකන අවස්ථා ඇත.
එය මුලුමනින්ම මිත්‍යාවකි. ප‍්‍රතිපක්ෂයේ නීතිඥවරයා වුවද ඉටුකරන්නේ ඔහුගේ
නිල භූමිකාවකි. ඔහුට ඔබත් සමග පෞද්ගලික අමනාපයක් නොමැත. එබැවින් නඩු වල
කරුණ අරබයා කිසි විටෙක ප‍්‍රතිපක්ෂයේ නීතිඥවරයා සමග පෞද්ගලික ආරවුල් වලට
මැදි නොවන්න.
ඔබේ නීතිඥවරයා හා ප‍්‍රතිපක්ෂයේ නීතිඥවරයා නඩුවක
දෙපැත්තට පෙනී සිටි පමණින් ඔවුන් තරහකරුවන් බවට පත්වන්නේ නැත. එබැවින්
ප‍්‍රතිපක්ෂයේ නීතිඥවරයා සමග හිතවත් වීම තේ කෝප්පයක් බීම එකට චාරිකා ගොස්
ෆේස්බුක්හි ෆොටෝ දැමීම වැනි කරුණු අරභයා ඔබේ නීතිඥවරයා සමග උරණ නොවන්න.
ගිවිසුම් ආදිය ඇතිකරගැනීමේදී ගිවිසුම සහතික කරන නීතිඥවරයා අදාළ ගිවිසුම
සම්බන්ධයෙන් සාක්ෂිකරුවෙකු පමණි. පාර්ශවයන් ගිවිසුමේ කොන්දේසි ඉටුකරන බවට
ඇපකරුවකු ලෙස නීතිඥවරයාව වරදවා වටහා නොගන්න. එමෙන්ම ගිවිසුමෙන් බැදෙන අනෙක්
පක්ෂයේ විශ්වාසවන්තභාවය හා චරිතය පිළිබදව සහතිකයක් සපයන්නෙකු ලෙසද
නීතිඥවරයා වරදවා වටහා ගැනීමෙන් වලකින්න.
(තවත් බොහෝ වැදගත් කරුණු
ඇත. නමුත් පොදුවේ ගැටලුකාරී තත්වයන් ඇතිවීමට බලපාන කරුණු 6ක් මෙහි දක්වා
ඇත. තවත් වැදගත් කරුණු ඇතොත් කියවන්නෝ එකතු කරත්වා)
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ‍්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment