Monday, April 13, 2020

මළගිය ඇත්තෝ - කර්තෘ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද‍්‍රයන්

(2018 ඔක්තෝබර් 3 වැනි දිනැති පොස්ටුවකි)

මට මේ පොත බොහෝ කළකට ඉහත සිට දිනපතා පාහේ දක්නට ලැබුණි. මුලින් මුලින් එය පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ උගන්නා කාලයේ එහි පුස්තකාලයේ තිබී වරින් වර අතට හසුවිය. පසුව විවිධ පොත්හල්වල රාක්ක වල තිබී අතට හසුවීය. එසේ හසු වූ සෑම වටෙකදීම පාහේ වරක් බැල්ම හෙලා පසෙක තබන පොතක් බවට එය පත්වී තිබිණ. එහි පෙරවදන හෝ කියවා කුමන ආකාරයක පොතක්දැයි බලන්නට හෝ මට කුකුසක් පහළ නොවුණේ සමහරවිට එහි කවරයේ තිබූ සිත් නාදිනසුලු ස්වභාවය නිසා හෝ පොතේ නම මුද‍්‍රණය කර තිබූ අවලස්සන රටාව හෝ නිසා වන්නට පුලුවන.

මගේ නැගණිය මිළදීගෙන තිබූ මළගිය ඇත්තෝ පොත මට පසුගිය සතියේ අතට ලැබුණු විට කියවන්නට හිතුණේ මන්දැයි මමවත් නොදනිමි. නමුත් ඒ පොතත් සමග දිවිගෙවූ සෑම තත්පරයක්ම මාගේ සෞන්දර්යාත්මක චිත්තය නැවත නැවතත් කිතිකවන සොදුුරු නිමේෂයන්ම විය.

කඩිකුලප්පුවේ දුවන ක‍්‍රියාදාම නවකතා අද්භූත කතාන්තර දේශපාලන වෘතාන්තවිද්‍යා ප‍්‍රබන්ධ අතර අතරමංවී සසිටි මම සැබැවින්ම ළගන්නාසුලු යැයි කිවහැකි පේ‍්‍රම වෘතාන්තයක සිරිය වින්දේ අපමණ ප‍්‍රහර්ෂයකිනි.

පේ‍්‍රමකතා කෙමෙන් කෙමෙන් සරාගීන්වය කරා පියමනින යුගයක හුදුු සිපගැනීමක් ගැන හෝ යටත් පිරිසෙයින් සුළැගිල්ලකින් ස්පර්ශකිරීමක් ගැන හෝ සදහනක් නොකර ළගන්නසුලු පේ‍්‍රමකතා ලිවිය හැකිබව සරච්චන්ද‍්‍රයන් මේ පොත සමග ගෙවූ හෝරා කීපය තුල මට ඉගැන්වීය. ඒ සොදුරු බව සන්සිදුනුබව සාමය නම් තව බොහෝ කලක් මා සිත ලැගුම්ගනු ඇත්තේය.

කියවා පසෙක තැබූ පමණින් එහි දෙවැනි කොටස මළවුන්ගේ අවුරුදුදා අතට ගත්තෙමි. සමාජයේ කර්කශ ගැරහුමට ලක්වූ පුතණු කෙනෙකුන් ආත්මානුකම්පාවෙන් පීඩිතව තමාගේ ආදරණීය මවගේ සෙනෙහෙබර තුරුල්ලට වදින්නේ යම් සේද එපමණ ආදරයකින් දයාවකින් මම ඒ කාතවද කියවාගෙන යමි.

අපමණ පොත් කීවද සකස්කඩ නොකී කට මක්කටැයි කියන්නාක් මෙන් මෙතෙක් කල් මාතුල මේ පොත නොකියවා තුබුණේයැයි මා සිතා සිටි සාහිතාවබෝධය මක්කටැයි මට සිතිණි.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...