Monday, April 13, 2020

ඔක්තෝබර් 26 නාටකය මෛත‍්‍රීගේ දෘෂ්ටිකෝණයෙන්

(2018 නොවැම්බර් 4 වැනි දිනැති පොස්ටුවකි)

පසුගිය ඔක්තෝබර් 26 දා සිදුවූ ශ‍්‍රී ලාංකීය දේශපාලන සන්දර්භය උඩු යටිකුරු කරන නාටකයේ මූලික භූමිකාව ඉටුකරන ලද්දේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසිනි. ඒ හේතුවෙන් ඔහුට ඇතැම් පාර්ශවයන්ගෙන් ප‍්‍රශංසා එල්ල වුවද පක්ෂ විපක්ෂ භේදයක් නොමැතිව දෝෂාරෝපණ හා ගැරහීම් එල්ල විය. තමාගේ ජනවරමට පිටුපෑ ද්රෝහියා වශයෙන් ඔහුව හංවඩු ගසනු ලැබිණ. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගෙන් පක්ෂ විපක්ෂ භේදයක් නොමැතිව බැණුම් අසන ලද එකම පුද්ගලයා වශයෙන් ඉතිහාසයට එක්වීමටද ඔහුට හැකිවිය. බිම් මට්ටමේ පොහොට්ටු පාක්ෂිකයන්ගෙන් ඔහුගේ 26 වැනිදා භූමිකාව පිළිබදව පොදුවේ සතුට පළවුවද යම් විචාරාත්මක දේශපාලන අවබෝ්ධයක් සහිත පොහොට්ටු පාක්ෂිකයන් පවා ඔහුගේ එම පියවර දෙස බැලුවේ සමච්චලය මුසු ජුගුප්සාවකිනි.

ඔහු එසේ සිතා මතා එසේ දේශපාලන කවටයෙකුට ඇන්දේ හුදු නොදැනුවත්කම මෝඩකම නොසැළකිල්ල කොන්ද පණනැති කම නිසා යැයි ඇතැමුන් චෝදනා කළද දශක ගණනාවක් තිස්සේ් ශ‍්‍රී ලංකාවේ දේශපාලනයේ සිටි එයින් හොදහැටි තෙම්පරාදු වූ අයෙකු වන ජනාධිපති සිරිසේන එසේ හුදු ගොංකමට නරාවලට පණිනු ඇතැයි ඇදහිය නොහැක්කකි. එබැවින් පසුගිය කාලසීමාවේ දේශපාලන සිදුවීම් ඇසුරින් ඔහුගේ දෘෂ්ටිකෝණයෙන් මේ සිදුවීම දෙස බැලීමට දරණ ලද උත්සාහයකි මේ සටහන.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිධුරයේ දිවුරුම් දීමත් සමග ඔහු එක්තරා දෛවෝපගත වරදක් කළේය. ඒ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය පැහැර ගැනීමයි. එම පියවර නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ලෙස ඔහුට තිබූ ධවල ප‍්‍රතිරූපයට වැදුණු මුල්ම මඩපහර විය. එය ඔහුගේ අවශ්‍යතාවයක් මත වූවාද නැතහොත් 19 වැනි සංශෝධනය සදහා අවශ්‍ය තුනෙන් දෙක ලබාගැනීමේ අරමුණින් අගමැති රනිල් සමග පැවැති එකගතාවය මත සිදුකරන ලද්දක්දැයි අදටත් පැහැදිලි නැත. කේසේ වුවුද වඩාත් වැඩි බර ඇත්තේ 19වැනි සංශෝධනය සම්මත කරවා ගැනීමට මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොන්ද කඩා විරුද්ධ පක්ෂය දුර්මුඛ කිරීමේ අරමුණන් අගමැති රනිල්ගේ මග පෙන්වීම යටතේ ඔහු එය සිදුකලේ යැයි සිතීමටය.

මෙම පියවර හේතුවෙන් සන්ධානයේ සිටි රාජපක්ෂවාදී පිරිසට පාර්ලිමේන්තුව තුල හිමිවිය යුතුව තිබූ අනන්‍යතාවය අහිමි විය. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් ගත්කළ අතිශය පසුගාමී මෙන්ම ජුගුප්සාජනක පියවරකි. මෙයින් සිදුවූයේ පරාජයේ වේදනාව සමග සිටි මහින්ද පිළ වඩා කෝප ගැන්වීමය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා එහි සිටි මහින්දවාදී පිරිස පවා 19 වැනි සංශෝධනයට පක්ෂායි කියවා ගැනීම ඔවුන්ගේ ආත්ම ගරුත්වය මත මළ පහ කිරීමක් වැනි විය.
තවත් එවැනි නොගතයුතුව තිබූ පියවරක් වන්නේ අගවිනිසුරු මොහාන් පීරිස් ධුරයෙන් නෙරපා හැරි ආකාරයයි. කුමන ආකාරයෙන් පත්වුවද චරිතය කෙබදු වුවද මොහාන් පීරිස් යනු කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග‍්‍රවිනිශ්චයකාර වරයාය. ඔහුව නෙරපා හැරිය යුතුම නම් යටත් පිරිසෙයින් ඔහුට ගෞරවනීය ලෙස සමුගැනීමට අවස්ථාවක් දිය යුතුව තිබිණ. ශිරාණි බණ්ඩාරණායක අගවිනිසුරුතුමිය ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ලෙස හෝ ඉවත් කරන ලද්දේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ ගෙන එන ලද දෝෂාභියෝගයක් මගිනි. මොහාන් පීරිස්ට එවැන්නක් වත් හිමිවූයේ නැත. ඔහු ධුරයේ නොසිටියා සේ සළකා නව අගවිනිසුරු වරයා පත්කරන ලදී. ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා පෙනී සිටින්නේ යැයි කියන බොහෝ දෙනා නෑසූ කන්ව සිටියද එය විශාල වරදකි. මන්ද මොහාන් පීරිස් නමින් අගවිනිසුරුවරයෙකු නොසිටියා නම් ඔහු විසින් දෙන ලද තීන්දු තීරණ බලාත්මකද නැද්ද යනුවෙන් අධිකරණ පද්ධතියේ ඉහළ සිට පහළටම ගමන් කරන විශාල අර්බුදයක් නිර්මාණය වන නිසාය.

ඉන්පසු පැමිණි මහ මැතිවරණයේදී ජනාධිපතිවරයා දිගින් දිගටම අනුන්ගේ හොද්දක් හැදිගාන්නට උත්සාහ කලේය. තමාට පක්ෂ පිරිස් මෙන්ම විපක්ෂ පිරිස්ද එකම ලැයිස්තුවේ දමාගෙන මහින්දට තිබූ ජනතා ආකර්ශණයෙන් ප‍්‍රයෝජන ගෙන තමාගේ පිරිස පාර්ලිමේන්තුවට රිංගවා ගන්නට උත්සාහ කළා පමණක් නොව පැරදුණු පිරිස් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවටද ගෙනාවේය. එයින්ද නොනැවතී මහින්ද ඇතුලු පිරිසට පාර්ලිමේන්තුවේ ලැබිය යුතු අනන්‍යතාවය නැවත වරක් අහිමි කරන ලද්දේ විපක්ෂයේ් බහුතර කණ්ඩායම සිටියදී සම්බන්ධන්ට විපක්ෂනායක ධුරය පිරිනැමීමෙනි.

ඔය කියන බරපතළ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියා 3ම ජනාධිපති සිරිසේන විසින් කරන ලද්දේ අගමැති රනිල් සමග තකට තක සිටිනා කාලයේ එක කයිවාරුවටය. එබැවින් 2018දී තමාගෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලන්නට 2015දී තමා සමග එකට ප‍්‍රජාතන්ත‍්‍රවාදය කැඩූ රනිල් කවුදැයි ජනපති සිරිසේන කල්පනා කරන්නට ඇත.

තවද ජනාධිපති සිරිසේන මහින්ද සමග 2015 ජනවාරි 8 වැනිදා ගලඋඩ සටනට අවතීර්ණ වන අවස්ථාවේ 2020න් පසු ඔහුගේ දේශපාලන දිවිය කුමක්දැයි පැහැදිලි වූයේ නැත. ඒ පිළිබදව විමසන ලද අයට ලබාදුන් සරළ පිළිතුර වූයේ තමා පැමිණෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට බවත් එසේ හෙයින් 2020 ගැන කතාව අනවශ්‍ය බවත්ය. නමුත් ජනාධිපතිධුරයට පත්වූ පසු ජනපති සිරිසේන ඒ පිළිබදව වඩා ගැඹුරින් කල්පනා කරන්නට ඇතුවා නිසැකය.
එහිදී තමාගේ අනාගත දේශපාලන ශක්‍යතාවය පිළිබදව ජනාධිපති සිරිසේන අවස්ථා 2කදී දෙවිදියකට උරගා බැලුවේය. පළමු අවස්ථාව මහ මැතිවරණය විය. එහිදී මහින්දගේ පිරිස සමග කරට කර තමාගේ පිරිසද එකම ලැයිස්තුවෙන් දමා තමාට ඇති ජන ප‍්‍රසාදයේ තරම මැනගන්නට උත්සාහයක් දැරීය. ප‍්‍රතිඵලය අතිශයින්ම බලාපොරොත්තු කඩකරවනසුළු එකක් විය. තමාගේ පක්ෂයේ වැඩි ජන ප‍්‍රසාදය මහින්ද දිනාගනිද්දී තමාගේ සහ මහින්දගේ ආසන ගණන අභිභවා යාමට එජාපය සමත් වීම ඔහුගේ සිතේ බලවත් ඊර්ෂ්‍යාවක් ජනිත කරවන්නට හේතුවක් විය. මන්ද 2015 ජනවාරි 8 වැනිදා ජයග‍්‍රහණය තමාගේ නමින් ලියවුණ එකක් නොවන බව ඔහුට සැබැවින්ම තේරුම් යාම නිසාය.

එතැන් පටන් ඔහු දේශපාලන ගමන මදක් වෙනස් කොට බැලුවේය. "සුපිරිසිදු දේශපාලනයකට" යන තේමාව මුල් කරගෙන බොහෝ වෙහෙස මහන්සි වී පළාත් පාලන මැතිවරණය ඉලක්ක කොට දේශපාලන ව්‍යාපාරයක් මහින්දගෙන් සහ රනිල්ගෙන් ස්වාධීනව ගොඩනගන්නට උත්සාහ ගත්තේය. ජාතික ආණ්ඩුවේ වැරදි පවා ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීමටත් පටන්ගත් ජනාධිපතිවරයා ඇතැම් අවස්ථාවල මැදිහත් වී ස්පයිඩර් මෑන්ගේ චරිතයට පණපොවමින් රජයේ ඇතැම් තීරණ ආපසු හරවා ජනතාවගේ හීරෝ වන්නට උත්සාහ කරන්නේ මෙම කාල සීමාව තුලය . එම උත්සාහය සම්පූර්ණයෙන්ම පාහේ ව්‍යර්ථ වී යන්නේ සුපිරිසිදු දේශපාලනය තේමාව පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගෙන් බහුතරයක් නොදුටුවා සේ බැහැර කිරීම නිසාය.

එතැන් පටන් මෙය තවදුරටත් සෙල්ලමක් නොවන බව ජනාධිපති සිරිසේනට අවබෝධ වන්නේය. තමාව ජනාධිපතිධුරයට ඔසවා තැබූ එජාපය නැවත වතාවක් තමාව පොදු අපේක්ෂකයා ලෙස යොදාගන්නවාට වඩා තම පක්ෂයේ අපේක්ෂකයෙකු පිළිබදව විශ්වාසය තැබීමට ඇති අවස්ථාව වැඩි බව ඔහුට අවබෝධ වන්නේය. එමෙන්ම 19 වැනි සංශෝධනයෙන් මහින්දට නැවත ජනාධිපතිවරණයට ඉල්ලීමට නොහැකි යැයි තමන් සිතා සිටියද එහිද යම් සිදුරක් ඇති බවට කතාබහක් පැනනැගීම තුල තමා පසෙකට විසිවී ජනාධිපතිවරණය වෙනත් අපේක්ෂකයන්ගේ කරණම් බිමක් බවට පත්වීමට යන බව ඔහුට දැනෙන්නට ඇත. 19 ව්‍යවස්ථා සංශෝධනයේ ඇති සිදුරෙන් රිංගා මහින්ද ඉල්ලුවද එසේ නොමැතිව වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළද එජාපයේ අපේක්ෂකත්වය හෝ සහාය තමාට නොලැබෙන තත්වයක් තුල තමාව අර නාමල් කුමාර කියන අයුරින් සැබැවින් භෞතික වශයෙන් කෙසේ වෙතත් දේශපාලනිකව ඝාතනය වීම අනිවාර්ය බව ඔහුට පෙනී යන්නට ඇත.

මරු විකල්ලෙන් දගලන කළ නැති නුවණ පහළ වන්නේ යැයි කියනු ලැබේ. එනම් මේ යන විදියට තමාගේ ඉදිරි පැවැත්ම අවිනිශ්චිත බව පෙනී යන කල පැවැත්ම වෙනුවෙන් කුමක් කළද එය තම හෘදය සාක්ෂිය හමුවේ වුවද සාධාරණීකරණය කිරීම අපහසු නැත. ඒ අනුව ඔක්තෝබර් 26 වැනි දා නාටකය මෛත‍්‍රීපාල විසින් තම පැවැත්ම සදහා ගසන ලද ගේමකි. ඒ හරහා තමාට මනාපය ඵල කළ ලක්ෂ 62ක ජනතාවම එකහඩින් කියා සිටි මහින්ද එපා යන හඩට පසුපස හැරවීමක් සිදුකළද ඊට වඩා තමාගේ පැවැත්ම යම් ආකාරයකින් ස්ථාවර කරගැනීම වැදගත් බව ඔහු කල්පනා කළා විය යුතුය.

මේ යටතේ ජනාධිපති සිරිසේන අපේක්ෂා කරන ප‍්‍රධාන කරුණු කීපයකි. එකක් නම් පොහොට්ටුව විසුරුවා දමා එහි පවත්නා බව පසුගිය පළාත් පාළන මැතිවරණයේදී මැනවින් පෙනුණු ජන බලය නැවත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නමින් තමා වටා ආරෝපණය කරගැනීම. මහින්දට අගමැතිධුරය පිරිනමා 2020 ජනාධිපතිවරණයට මහින්දගේ සහායද සහිතව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තමාම ඉදිරිපත් වී ජයග‍්‍රහණය කිරීම. පැවති වාතාවරණය යටතේ තමා දෙසට නිසැක වශයෙන්ම එල්ල වී තිබූ දේශපාලන මාරකයෙන් යම්තාක් දුරකට හෝ ගැලවී අවලංගු කාසියක් බවට පත්වීමට තිබූ අවස්ථාව සීමා කරගැනීම.

සැබැවින්ම ඔක්තෝබර් 26 ජවනිකාව ඔහුගේ දෘෂ්ටිකෝණයෙන් බලන කල වැරදි නොවේ. එය දේශපාලනිකව මියෙන්නට ඔන්න මෙන්න සිටි මිනිසෙකු පිදුරු ගහේ එල්ලීමකට සමකළ හැකිය. ඔහුටද ඔ්නෑම පුද්ගලයෙකුට මෙන්ම තම පැවැත්ම පිළිබදව ආශාවක් මමත්වයක් ඇත්තේය. එය බැහැර කළ හැකි වන්නෝ මාර්ගඵල ලාභීහුය. මාර්ගඵල නොලැබූ ජනාධිපති සිරිසේන තම රාජශ‍්‍රීය සැපය ධනය බලය පවත්වාගැනීම සදහා කළහැකි දෙය කළේය. මා සරසවි දේශපාලනයේ නියැලී සිටිනා කාලයේ මාගේ ප‍්‍රතිපක්ෂ මිතුරෙකු වරක් මට ඉගැන්වූ පාඩමක් නම් මිනිසෙකුට තමාගේ පැවැත්ම වෙනුවෙන් ඔ්නෑම දෙයක් කළ හැක්කේය යන්නයි. එමෙන්ම ගේම ගහන්නාගේ දෘෂ්ටියෙන් ගත්කල පැවැත්ම සදහා ගහන ගේමක කිසිදු වරදක් නැත.
එසේ වුවද මෙම තීරණයට එළඹීමේදී ජනාධිපති සිරිසේන විසින් නොසළකා බැහැර කළ තීරණාත්මක කරුණුද රාශියකි. ඒවා නම්:-

1. මහින්ද මීයක් කඩා අතලෙවකා සැනසෙන්නෙකු නොවීම.
2. බැසිල් රාජපක්ෂ සාධකය දැඩි ලෙස අවතක්සේරු කර තිබීම.
3. 2020 ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තිබියදී මහින්දට පවත්නා ජනතා ප‍්‍රසාදය සමග ඉතා පහසුවෙන් ජනාධිපතිවරයාව හලා දමා පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට යාමේ ඉඩකට පැවැතීම
4.තම ජනවරම පාවාදුන්නේය යන හැගීම නිසා එජාපයට කොහේව් නොතිබූ ජන ප‍්‍රසාදයක් ජනාධිපතිවරයාගේ මේ පියවර හේතුවෙන් අනපේක්ෂිතව මෝදු වීම නිසා මහින්දගේ සහායද ඇතිව ජනාධිපතිවරණයට ගියත් ජයග‍්‍රහණය පිළිබදව සක්සුදක් සේ විශ්වාස කළ නොහැකි වීම.
5. මොනවා කළත් මෙම පියවරෙන් පසු තමාට කෙළවූ දිනක අඩන්නටවත් කෙනෙකු සිරිසේන ජනාධිපතිවරයාට ඉතිරි නොවීම.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...