Tuesday, April 14, 2020

15 Minutes of War

අවසාන ප්‍රංශ යටත් විජිතය වූ Djibouti හි 1976 වසරේ සිදුවන ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමක් පිළිබදව සත්‍ය කතාවක් රැගත් කුතුහලය දනවන චිත්‍රපටයක්.

උදෑසන පාසල් යන්නට පිටත් වන පාසල් බස් රථයක් සෝමාලියානු විමුක්තිකාමීන් විසින් පැහැරගනු ලබන්නේ රියදුරුත් කුඩා දරුවන් 21 දෙනෙකුත් සමග. එතැන සිටින්නේ ප්‍රධාන වශයෙන් සුදු හම සහිත ප්‍රංශ ජාතික යටත් විජිත නිලධාරීන්ගේ දරුවන් වැඩි ප්‍රමාණයක් සහ යටත් විජිත ක්‍රමය යටතේ වරප්‍රසාද ලත් පවුල් වල කළුජාතික දරුවන් කිහිපදෙනෙක්.

අවසානයේ මේ දරුවන්ගේ ඇමෙරිකානු ජාතික පාසල් ගුරුවරිය ස්ව කැමැත්තෙන්ම ගිහින් මේ පැහැරගත් බසයට නගින්නේ මේ දරුවන් පිළිබදව ඇයට ලබා දිය හැකි උපරිම දායකත්වය ලබාදෙන්න.

ප්‍රංශය විසින් පස් දෙනෙකුගෙන් යුත් විශේෂ ස්නයිපර් කණ්ඩායමක් මේ සදහා යෙදෙව්වත් ඔවුන්ට ලැබෙන නියෝගය වන්නේ පැහැර ගැනීමට සම්බන්ධ වූ ත්‍රස්තවාදීන්ගෙන් එක් අයෙකු හැර අන් සියල්ලෝම බස් රථයෙන් බැහැර වන තුරු වෙඩිතබන්නට එපා යන්න. ඒ හේතුවෙන් ඉතා පහසුවෙන් ජීවිත හානි නොමැතිවම මේ දරුවන් ගලවාගන්න තිබූ අවස්ථා ගණනාවක්ම ගිලිහී යනවා.

අවසානයේ මේ කණ්ඩායම හා සම්බන්ධ වන ඇමෙරිකානු සී අයි ඒ නියෝජිතයෙකුගේත් සහාය ඇතිව අසීරු මොහොතක නියෝග නොමැතිව වෙඩි තබන්නට විශේෂ ස්නයිපර්කරුවන් කණ්ඩායමේ කපිතාන්වරයා තීරණය කරන්නේ තව මොහොතක් පමා වුවහොත් ත්‍රස්තවාදීන් විසින් දරුවන් සෝමාලියානු දේශ සීමාවෙන් ඔබ්බට ගෙනයාමට අවදානමක් පැණනගින නිසා.

ඔවුන් සාර්ථක ලෙස බස් රථයේ සිටින සියළුම ත්‍රස්තවාදීන් එකවර මරා දමන්නේ කිසිම දරුවෙකුට සීරීමක් වත් නොවන ආකාරයට. නමුත් ප්‍රංශ යටත් විජිත හමුදාවේ ජනරාල්වරයා ප්‍රංශයෙන් නියෝග ලැබෙනතුරු බලා සිටීම හේතුවෙන් ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලැබෙන්නේ නැහැ. සෝමාලියානු දේශ සීමාව දෙසින් දිගින් දිගටම එල්ල වන වෙඩි පහර වලට ප්‍රතිචාර දක්වන්න වෙන්නෙත් ස්නයිපර්කරුවන් කණ්ඩායමට පමණයි. ඔවුන් යුදබිමේ සක්‍රීය සටන්කරුවන් නොව පසුබිමේ සිට ස්නයිපර් ප්‍රහාර දෙන්න පුහුණුව ලබා ඇති අය වුණත් අවස්ථානුකූලව ජීවිත අවදානම නොතකා ඔවුන් සටනට අවතීර්ණ වී විනාඩි 15ක කාලයක් ඇතුලත සටන ජයග්‍රහණය කරනවා.

නමුත් අවසානයේ දකින්න ලැබෙන්නේ බස් රථයේ සිටි දරුවන් 21න් 20ක්ම සුරක්ෂිතව බැහැර වෙලා තිබුණත් එක් දරුවෙකුගේ පපුවට මාරක වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව. එය ඉතාම සංවේදී අවස්ථාවක්. සමස්ථ මෙහෙයුම සාර්ථක ලෙස හැදින්විය හැකි වුවත් විශේෂ ස්නයිපර් කණ්ඩායම හෝ එහි නායකත්වය එය ජයග්‍රහණයක් ලෙස සළකන්නේ නැහැ.

යුද්ධ වල යථාර්ථය වන්නේ තරුණ මිනිසුන් මරා ගැනීමත් වයසක මිනිසුන් වාද විවාද කිරීමත් බව කියැවෙනවා. මේ චිත්‍රපටයේ තරුණ මිනිසුන් ජීවිතය පරදුවට තබන ආකාරය මැනවින් නිරූපණය වෙනවා. නමුත් වයසක මිනිසුන්ගේ වාද විවාද වල ප්‍රතිඵලය පමණක් පෙනෙන්නට තිබෙනවා. එනම් තවමත් සාකච්ඡා සිදුවෙමින් පවතිනවා එබැවින් වෙඩි තබන්නට එපා යන පණිවුඩය පමණක් යුධ බිමට එනවා. එය කෙතරම් අපේක්ෂා භංගත්වයකට අසරණ භාවයකට සොල්දාදුවා පත්කරනවාද යන්න මෙහි මැනවින් පෙන්වනවා.

සර්ව සම්පූර්ණ සිනමා නිර්මාණයකැයි මා නොකීවත් සිනමා ලෝලියෙකු විසින් නරඹා තිබිය යුතු චිත්‍රපටයක් ලෙස 15 Minutes of War හදුන්වන්නට පුළුවන්.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...