Monday, April 13, 2020

Sherlock Holmes vs Hercule Poirot


1. ෂර්ලොක් හෝම්ස්

ෂර්ලොක් හෝම්ස් කියන්නෙ ලෝකයේ වැඩිම දෙනෙක් දන්න ප්‍රබන්ධ රහස් පරීක්ෂකයා. සාමාන්‍යයෙන් අවුරුද් 10ට 12ට විතර වැඩි ඕනෑම කෙනෙක් ෂර්ලොක් හෝම්ස් ගැන වරක් දෙවරක් හෝ අසා තිබෙනවා. සර් ආතර් කොනන් ඩොයිල් අතින් නිමැවුණ ඒ ප්‍රබන්ධ චරිතය අපිට හදුන්වා දෙන්නෙ සුවිශේෂී චරිත ස්වභාවයක් ඇති පුද්ගලයෙක් විදියට.

යමක් දුටු වහාම ඒ ගැන දහ විදියකට විතර කල්පනා කරන්න පුළුවන් මොළයක්, අලසව ඉදලා එකපාරටම මහා ජවයකින් වැඩකරන්න පුළුවන් සිහින් උස ශක්තිමත් ශරීරයක්, මදක් විකාර ගති පැවතුම් ඇති ඉදහිට කොකේන් පාවිච්චි කරන වයලීන වාදනය කරන මිනිසෙක්, සෑම පුංචි දේකටම අවධානය යොමුකරලා වැඩි අවධානය යොමු කළ යුත්තේ කොතැනටදැයි හරියටම තීරණය කරන්න තත්පරයක් වත් නොයන කෙනෙක්, ඒ වගේම තමන්ගෙ මොළය ගබඩා කාමරයක් විදියට සළකල වැදගත්ම දේ තබා ගැනීම වෙනුවෙන් නොවැදගත් කියල හිතන මහපොළව හිරු වටා යන බව පවා අමතක කරන මිනිහෙක් තමයි ෂර්ලොක් හෝම්ස්.

ෂර්ලොක් හෝම්ස් චරිතය විවිධ අවස්ථා වලදී සිනමාවට ටෙලිකතා වලට නැගිල තියෙනව. එතනදි මගේ වඩාත්ම සිත් ගත්තෙ මෑත කාලීනව bbc විසින් නිෂ්පාදනය කර විකාශය කරන ලද Sherlock ටෙලි කතා මාලාව. මෙහිදී ෂර්ලොක් හෝම්ස්ගෙ චරිතය නිරූපණය කරන්නෙ Benedict Cumberbatch කියන සුපිරි නළුවා. ඔහු ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරනව. ඒ ෂර්ලොක් කතා මාළාවෙ එක තැනකදි ෂර්ලොක් හෝම්ස් තමාව හදුන්වාගන්නෙ I am a highly functioning Sociopath කියල. ඒ කියන්නෙ අධි ක්‍රියාකාරී ගුප්ත මිනිසෙක්.

ෂර්ලොක් හෝම්ස් ගැන මේ දක්වාම ඉදිරිපත් වුණ හොදම හැදින්වීම විදියට මම දකින්නෙ ඒක.
ෂර්ලොක් හෝම්ස්ගෙ ශක්තිය තමයි ඔහු සතුව තියෙන නිරීක්ෂණ හැකියාව. අනෙක් අයට ඇස නොගැසෙන දේවල් ඔහුට බොහොම පහසුවෙන් පේනව විතරක් නෙවෙයි ඒවයෙ තියන අරුත මොකක්ද කියන එකත් ඔහුට වහා අවබෝධ වෙනව. ඔහු නිතරම කියන්නෙ නිරීක්ෂණය කරන්න ඊට පස්සෙ නිගමනයකට එන්න කියල.

2. හර්කියුල් පොයිරෝ


හර්කියුල් පොයිරෝ කියන කල්පිත රහස් පරීක්ෂක චරිතය අගතා ක්‍රිස්ටිගේ නිර්මාණයක්. අගතා ක්‍රිස්ටි සැළකෙන්නෙ ලෝකයේ රහස් පරීක්ෂක කතා රැජින හැටියට. ශ්‍රී ලංකාවේ පාඨකයන් අතර හර්කියුල් පොයිරෝ ෂර්ලොක් හෝම්ස් තරමටම ප්‍රචලිත නෑ. ජනප්‍රියත් නෑ.

හර්කියුල් පොයිරෝ මදක් විසුළු සහගත පෙනුමක් තියෙන් බෙල්ජියානු ජාතික විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්. බිත්තරයක් හැඩැති තට්ට හිස, ප්‍රවේශමෙන් නඩත්තු කරන ලොකු උඩු රැවුල, කුඩා ශරීරය, දැඩි අවධානයයෙන් පිරිසිදුවට පවත්වාගන්නා ජේත්තුකාර ඇදුම් ආයිත්තම් තමයි ඔහුගේ ලක්ෂණ. ඊට අමතරව ඔහු ෂර්ලොක් හෝම්ස්ට සාපේක්ෂව ගත්තම ගොඩක් සමාජශීලී දොඩමළු පුද්ගලයෙක්. සමහරවිට එහෙම වෙන්න ඇත්තෙ හර්කියුල් පොයිරෝ චරිතය කාන්තාවකගෙ නිර්මාණයක් නිසා වෙන්න ඇති. කාන්තාවන් සාමාන්‍යයෙන් පිරිමින්ට සාපේක්ෂව ටිකක් දොඩමළුයිනෙ. හර්කියුල් පොයිරෝත් ඔහුගේ කතා වල කාන්තාවන් සමග හරිහරියට ඕපාදූප කතා වලට සම්බන්ධ වෙන හැටි බලාගන්න පුළුවන්. ඒක තමයි ඔහුගේ ශක්තියත්. ඒ හරහා තමන් විමර්ශනයට භාජනය කරන සිද්ධියට අදාළ අයගෙන් වෙන අයට ඔවුන් නොකියන කරුණු ග්‍රහණය කරගන්න පොයිරෝ සමත්.

ඔහු හැමවිටම දොඩමළු වුණත්, අධි ආචාරශීලී වුණත්, විහිළු සහගත වුණත් අර ඕපාදූප කතා වලදි දැඩි අවධානයෙන් ඒ කියවෙන කරුණු අහගෙන ඉන්න කෙනෙක් විදියටයි පෙන්නන්නෙ. ඔහු නිතරම කියන දෙයක් තමයි "පුංචි අළුපාට සෛල පාවිච්චි කරන්න" කියන එක. ඒ කියන්නෙ තමන්ට අහන්න ලැබෙන දේවල් පිළිබදව මොළේ වෙහෙසල කල්පනා කරල විසදුමකට එන්න කියන එක.

වෙනස:-

මිනිස්සු දෙන්නෙක් සංසන්දනය කරන්න බෑ. ෂර්ලොක් හෝම්ස් සහ හර්කියුල් පොයිරෝ දෙවිදියක රහස් පරීක්ෂකයො දෙන්නෙක්ය, ඒ නිසා ඔවුන් එකිනෙකා සමග සංසන්දනය කරන එක වැරදිය කියල කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් ඒ චරිත දෙක සාහිත්‍යමය වශයෙන් අරන් ඔවුන්ට ආරෝපිත ගති ලක්ෂණ සංසන්දනය කරන්න ඒක බාධාවක් නෙවෙයි කියල මම හිතනව.
ෂර්ලොක් හෝම්ස් කතා කියවල තියෙන ඕනම කෙනෙක් දන්නව ඒ කතා වල අවසාන විසදුමට එළඹෙන්න පාඨකයාට නොහැකි වෙන විදියෙ මොකක් හරි සැගවුණු දෙයක් තිබිල ඒක අන්තිම මොහොතෙදි එළිදරව් වෙන එක. ගොඩක් වෙලාවට පාඨකයාට කතාව කියන්නෙ දොස්තර වොට්සන්. ඉතින් පාඨකයා කතාව ඔලුවට දාගන්නෙ වොට්සන් ඒක තේරුම් ගන්න විදියට. සමහර වෙලාවට වොට්සන්ව හළල ෂර්ලොක් හෝම්ස් තනියම වෙස් වලාගෙන යන වෙලාවල් තියනව. ඒ වෙලාවට මොනවද වෙන්නෙ කියල වොට්සනුයි පාඨකයොයි දෙගොල්ලොම දැනගන්නෙ කතාවෙ අන්තිමට.

ෂර්ලොක් හෝම්ස් අපරාධ ස්ථානයක් නිරීක්ෂණය කරන අවස්ථාවෙදිත් ඔහු දැඩි අවධානයෙන් බලන්නෙ මොනව දිහාද කියන එක දොස්තර වොට්සන් බොහෝ විට දකින්නෙ නෑ. ඒ මත ෂර්ලොක් හෝම්ස් ගොඩනගාගන්න උපකල්පන ඔහු වොට්සන්ට කියන්නෙත් නෑ. ඒ නිසා කතාවෙ අවසානය දක්වා වොට්සන් සහ පාඨකයා ඉන්නෙ අදුරෙ. ඒක නිසාම ෂර්ලොක් හෝම්ස් කියන්නෙ සාමාන්‍ය මිනිහෙකුට එහා ගිය කෙනෙක් විදියට ආකල්පයක් නොදැනීම ඔලුවෙ නිර්මාණය වෙනව. ඒත් ඇත්තම තත්වෙ තමයි ඒක කතාවෙ රචකයා සූක්ෂම ලෙස කතාවෙ තීරණාත්මක කොටස් අවසාන මොහොත දක්වා හෙළිදරව් නොකිරීමෙන් ෂර්ලොක් හෝම්ස්ට ඒ අසාමාන්‍ය තත්වය කෘතිමව ආරෝපණය කරනව කියන එක.

එතනදි හර්කියුල් පොයිරෝ ඊට වෙනස්. ඔහු විසින් අපරාධ පරීක්ෂණ කටයුත්තෙදි සිදුකරන සෑම දෙයක්ම පාහේ කතාව තුලින් පාඨකයාට හෙළිදරව් වෙනව. සෑම දෙබසක්ම ඔහුටත් කියවන්න ලැබෙනව. එකම වෙනස ඒ දෙබස් තුල හැංගිල තියෙන අපරාධය විසදන්න වැදගත් වෙන කොටස් අනික් වල්පල් වලින් බේරල තෝරගන්න සිද්ධ වෙන එක. හර්කියුල් පොයිරෝම කියන විදියට ඒකට තමයි අපි මොළයේ පුංචි අළුපාට සෛල පාවිච්චි කළ යුත්තේ.

සර් ආතර් කොනන් ඩොයිල්ට වඩා අගතා ක්‍රිස්ටි එතනදි තමා පාඨකයාගෙන් සගවන දේ ගැන බොහොම සූක්ෂම වෙලා තියනව. කොච්චර සූක්ෂමද කියනව නම් කතාවෙ අවසාන විසදුම දැනගත්තට පස්සෙ මුළ ඉදන් සිදුවූ කතාබහ අනුව අපිටත් ඒ නිගමනයට එන්න තිබුණ නේද කියල පාඨකයට හිතෙන තරමටම කාරණා හෙළිදරව් කරනව. එකම දේ ඔහු ඇසින් දකින් දේ පිළිබදව පාඨකයා දැනුවත් නොවීම. නමුත් අගතා ක්‍රිස්ටිගෙ බොහෝ කතා වල අවසාන නිගමනයට පාදක වෙන්නෙ ඇසින් දකින දේටත් වඩා අසන්නට ලැබෙන කාරණා. ඉතින් හර්කියුල් පොයිරෝ කතා එකක් දෙකක් කියවපු කෙනෙක් තුන්වෙනි පොත කියවද්දි තමන්ටත් නොදැනීම අදාළ සාක්ෂි මනසින් විශ්ලේෂණය කරන්න ගන්නව. ඒක හොද මානසික ව්‍යායාමයක්. ෂර්ලොක් හොම්ස් පොත්වල එහෙම කරන්න ගියොත් වෙන්නෙ මහ අවුලකට පත් වෙන එක. මොකද ගැටලුව විසදන්න අදාළ මොකක් හෝ තීරණාත්මකම කොටසක් කොනන් ඩොයිල් අවසාන මොහොත දක්වාම පාඨකයාගෙන් හංගනව.

කවුද වඩාත් ප්‍රායෝගික:-

එහෙම බලනකොට ෂර්ලොක් හෝම්ස් කියන්නෙ ඔහුට කොනන් ඩොයිල් ආරෝපණය කරල තියන චරිත ලක්ෂණ සහ පෞරුෂයත් සමග කොයි තරම් ආකර්ශනීය චරිතයක් වුණත් වඩා ප්‍රායෝගික රහස් පරීක්ෂකයා හර්කියුල් පොයිරෝ කියල මට හිතෙනව. කෙනෙකුට ලේසියෙන් ෂර්ලොක් හෝම්ස් කෙනෙක් වෙන්න බෑ. නමුත් මොළයේ අළුපාට සෛල ටිකක් පාවිච්චි කරන්න ඉගෙන ගත්තොත් හර්කියුල් පොයිරෝ කෙනෙක් වෙන්න බැරි නැහැ නේද කියල ඒ කතා කියවද්දි හිතෙනව.




No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...