Monday, April 13, 2020

Outbreak (1995)

ජීව විද්‍යාත්මක අවි ආයුධ පිළිබදව හොද සාකච්ඡාවක් කරන චිත්‍රපටයක්. ජර්මන් ජාතික චිත්‍රපට නිර්මාණකරු වුල්ෆ්ගෑන්ග් පීටර්සන්ගෙ තවත් මතකයේ රැදෙන නිර්මාණයක්. චිත්‍රපටය නරඹලා අවසන් වුණාම මගෙ හිතට කරුණු දෙකක් ආව.

පළවෙනි එක ඇයි මේ චිත්‍රපටය මට මේ තරම් කල් හම්බ වුණේ නැත්තෙ කියන එක.

දෙවනි කරුණ මේක හොලිවුඩ් සිනමාපටයක්. වුල්ෆ්ගෑන්ග් පීටර්සන් ජර්මන් ජාතිකයෙක් වුණාට මේ චිත්‍රපටය හදන්න වැඩිපුරම දායක වෙලා තියෙන්නෙ ඇමෙරිකන් ජාතිකයො. චිත්‍රපටයෙ තේමාව වෙන්නෙ ඇමෙරිකාව තමන් ලෝක බලවතා ලෙස වැජබීම සදහා ජීව විද්‍යාත්මක අවි පාවිච්චි කිරීමත් ඒ හරහා පැතිරෙන ලෙඩ රෝග වලට ප්‍රතිකාර තමන් ළග තිබිලත් තමන්ගෙ අවියෙ පැවැත්ම උදෙසා ඒවා මුදා නොහැරීමත් යන කරුණු. එතකොට බැරිවෙලාවත් ඔය චිත්‍රපටය ලංකාවෙ එහෙම හැදුවනම් ඒ චිත්‍රපටය හදන්න තේ හදපු මිනිහ පවා දේශ ද්රෝහියෙක් විදියට විමල් වීරවංසතුමා ඇතුළු පිරිස විසින් අභිශේක කරනව. බොහෝවිට ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියල චිත්‍රපටය තහනම් කරයි. සම්බන්ධ වූ හැමෝම අත්අඩංගුවට ගන්නතුරු හාමුදුරුවරු උපවාස කරයි.

ඔය ඔක්කොම ඔහොම වෙන බව දන්න හින්ද ලංකාවෙ චිත්‍රපට නිර්මාණ කරුවො මේ වගේ නිර්මාණයක් කරන්න පෙළඹෙන්නෙවත් නෑ. ඒත් මේ චිත්‍රපටය නිපදවෙන්නෙ 1995 වසරෙ. ඒ කියන්නෙ මීට වසර 24කට උඩදි. ඒ මීට වසර 24කට උඩදි ඇමෙරිකාවෙ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දියුණු වෙලා තිබ්බ තරම. ඒ අතින් 2019දි පවා අපි ඉන්නෙ පොදුවේ පිළිගත්තු දේවල් අභියෝග කෙරෙන සාහිත්‍ය නිර්මාණ නොකළ යුතුයි කියන ගල්ගුහා ස්ථාවරයෙ. ඒක හරිම කණගාටුදායකයි. උගත් යැයි සම්මත මිනිස්සුත් එවැනි ස්ථාවර වල ඉන්නව පේනකොට තවත් කණගාටුදායකයි.

කතාව මෙහෙමයි. මොටාබා වයිරසය මුලින්ම හමුවෙන්නෙ 1965 අප්‍රිකාවෙ සයරේ වලින්. ලෝකෙ තියන අනෙක් හැම වෛරසයකටම වඩා වේගෙන් ශරීරයේ ව්‍යාප්ත වෙලා පැය 24ක් වගේ කාලයක් ඇතුලත මරණය ළගාකරවල දෙන්න තරම් මේ වෛරසය ප්‍රබලයි. ඇමෙරිකන් හමුදාව කරන්නෙ මොටාබා වයිරසය රෝගී පුද්ගලයෙකුගෙන් සිරින්ජයක් මගින් ඉවත් කරගෙන රෝගී වෙච්ච ගම සම්පූර්ණයෙන්ම විනාශ කරල දාන එක. ඊට පස්සෙ ඇමරිකාව සතුව ඒ වෛරසය තියනව. ඒ වෛරසය මරන්න සමත් ප්‍රති වෛරසයකුත් ඔවුන් නිර්මාණය කරල ඒක ජීව විද්‍යාත්මක අවියක් විදියට රදවගෙන ඉන්නව.

ඒ වෛරසය ඊට දශක තුනකට විතර පස්සෙ සයරේ වලින්ම ආපහු මතුවෙන්නෙ නොහිතූ විදියට. ඇමෙරිකානු හමුදා වෛද්‍ය අංශ වල ජ්‍යෙෂ්ඨයන්ගෙ තීරණය තමයි ඒකට මැදිහත් නොවිය යුතුයි ඒ ගැන පර්යේෂණ දිගටම කළොත් ප්‍රතිවෛරසයක් හොයාගෙන ඔවුන්ට ඉතා වටිනා ජීව විද්‍යාත්මක අවිය නැතුව යන නිසා ඒ පිළිබදව පර්යේෂණ පවා නැවැත්විය යුතුයි කියන එක. ඔවුන් කිසිසේත් හිතන්නෙ නැහැ වෛරසය ඇමරිකාවට ඒවි කියල.

ඒත් සයරේ වලින් අල්ලගෙන ඇමෙරිකාවට ගෙන එන වදුරෙක් හරහා මොටාබා වෛරසය නොහිතූ විදියට ඇමෙරිකාවට එනව විතරක් නෙමෙයි සම්පූර්ණයෙන්ම එක නගරයක්ම ගොදුරු කරගන්නව. අන්තිමට ඔවුන් අර හොර රහසේ රදවාගෙන හිටපු ප්‍රතිවෛරසය පවා ප්‍රතිකාර සදහා මුදාහරිනව. ඒත් වැඩක් වෙන්නෙ නෑ. අර වානරයාගෙ ශරීරය තුලදි මොටාබා වෛරසය යම්කිසි වෙනසකට ලක් වෙනව. ඇමෙරිකාව දැනගෙන හිටපු ප්‍රති වෛරසය මොටාබා මරන්න ප්‍රමාණවත් නැහැ.

නමුත් ඇමෙරිකානු හමුදා වෛද්‍ය අංශයේ කර්නල් ඩැනියෙල්ස් ඇතුළු පිරිසක් විශාල වෙහෙසක් දරල වෛරසය ඇමෙරිකාවට ගෙනාපු වදුරව හොයාගෙන ඌගෙ ශරීරයෙන් ගන්න කොටස් මගින් ප්‍රති වෛරසයක් නිපදවනව. ඒත් ඇමෙරිකාවෙ ආරක්ෂක අංශ වල ඇතැම් ඉහළ නිලධාරීන් අවසාන මොහොත වෙනකල්ම උත්සාහ කරන්නෙ මොටාබා වලට ප්‍රතිවෛරසයක් සොයාගැනීමේ ක්‍රියාවලිය අඩාල කර අඩපණ කිරීම මගින් වසර 30ක පමණ කාලයක් තිස්සේ ඔවුන් සතුව තිබූ ප්‍රබලතම ජීව විද්‍යාත්මක අවිය තවදුරටත් රැකගන්න. ඒ සදහා මිනිස්සු 2600ක් ජීවත් වෙන රෝගය පැතිරුණු නගරය සම්පූර්ණයෙන්ම බෝම්බ දමා විනාශ කරන්නට නියෝග පවා නිකුත් වෙනව. ලොමු ඩැහැගැන්වෙන අයුරින් අන්තිම මොහොතෙ ඒක නතර වෙනව.

චිත්‍රපටයෙ කතාකරන මොටාබා වෛරසය ස්පර්ශය සහ සුළග මගින් බෝවෙන එකක්. චිත්‍රපටයේ ඒක කොයිතරම් යථාර්ථවාදී විදියට නිරූපණය කරල තියෙනවද කියනවනම් චිත්‍රපටය බලල ටිකක් වෙලා යනකල් දැනෙන්නෙ ඒ කතාව තුල ජීවත් වෙනව වගේ.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ හොලිවුඩ් පුරය බොහොම කාලෙකට කලින් අදහස් ප්‍රකාශනයේ නිදහසේ උපරිමය දක්වා ගමන් කළා. බොලිවුඩයත් Accidental Prime Minister වගේ නිර්මාණ හරහා සාමාන්‍යයෙන් නිර්මාණකරුවෙක් ස්පර්ශ කරන්න බය තැන් ස්පර්ශ කරනව. අපිත් පුරහද කළුවර වගේ නිර්මාණ වලින් ඒ සදහා යම් ආරම්භයක් ගත්තත් ඊට වඩා අපේ මින්ස්සුන්ගෙ පුහු කම ලොකු වෙලා ඒ ගමන අතරමග නැවතිල තියනව. සිනමාවට සිනමාව විදියට ඉන්න දුන්නොත් අඩුම ගාණෙ තව අවුරුදු 20කින් වත් ප්‍රගීත් එක්නැලිගොඩගෙ කතාව, තාජුඩීන් ඝාතන සිද්ධිය, 2015 ජනවාරි 09 වෙනිදට එළිවෙන පාන්දර අරලියගහ මන්දිරයේ වුණයි කියන හෙයියම්මාරුව, බැදුම්කර මගඩිය, වැලිකඩ සිරකරුවන් සමූල ඝාතන සිද්ධිය වගේ තේමා ඔස්සෙ අපේ රටෙත් චිත්‍රපටි හැදෙයි. ඒත් කොහෙද ඉතිං තාම අපේ ඉන්නෙ ගල්ගුහා මිනිස්සුනෙ.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...