Tuesday, April 14, 2020

සමරිසිබව අවශේෂකරණය

සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් පිළිගැනීම යනු ඔවුන්ට විශේෂත්වයක් හෝ විශේෂ සැළකිල්ලක් ආරෝපණය කිරීම නොව දැනට පවත්නා ධනාත්මක හා ඍණාත්මක විශේෂත්වයන් අහෝසි කිරීමයි. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් කළ යුතු කිසිවක් නැත. කිරීමට ඇත්තේ අපි අපේ පාඩුවේ සිටින්නාක් මෙන් ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ සිටීමට ඉඩහැරීමත්, "ඔවුන්ගේ ලිංගික ලැදියාව කුමක්ද" යන කරුණ ඔවුන් කෙරෙහි ධනාත්මක හෝ ඍණාත්මක විශේෂ සැළකිල්ලක් දැක්වීමට හේතුවක් නොකරගැනීමත්ය. වෙනත් වචන වලින් කිවහොත් අනුන්ගේ කෙහෙම්මල් වලට ඇගිළි නොගසා පාඩුවේ සිටීමයි.

නමුත් ශ‍්‍රී ලංකාවේ වැඩිදෙනාට සාගින්නේ සිටිය හැකි වුවද කරන්නට බැරිම දෙය එයයි. ඔවුනට අනෙකාගේ ජීවිතයට යම් බලපෑමක් කිරීම තම ජීවිතය ගෙනයාමට අත්‍යවශ්‍ය කරුණක් මෙනි. අනෙකා යන එන, අදින පළදින, කන බොන විදියේ පටන් ඔහු විශ්වාස කළ යුත්තේ කුමක්ද, පිළිකෙව් කළ යුත්තේ කුමක්ද, දේශපාලන ලැදියාව කුමක් විය යුතුද යන කරුණු දක්වාම අනෙකාට බලපෑම් කිරීමේ කකියන වුවමනාවකින් ශ‍්‍රී ලාංකිකයා නිරන්තරයෙන් රෝගාතුරය.

තමා උතුම් ලෙස සළකන සංකල්ප අනෙකාටද උතුම් ලෙස පෙනිය යුතු බව ඔහු දැඩිසේ විශ්වාස කරයි. අනෙකා ඒ පිළිබදව වැඩි උනන්දුවක් නොදක්වන්නේ නම් හේ ඒ පිළිබදව දැඩි ලෙස පුදුම වනවා පමණක් නොව එයට මැදිහත් වන තැන දක්වාම ඉදිරියට යයි. "ඇයි තාම බදින් නැත්තෙ, රස්සාවක් හොයාගන්නකෝ, ඔය මොකක්ද ඔය කොණ්ඩෙ තියන විදිය, දැන් නම් කාර් එකක යන්න ඔන කාලෙ, ඊයා ඌරු මස් කනවද, ඇයි ඔයා එහෙම, මෙහෙම ඊට වඩා හොදයිනෙ, මං කියනවට මෙහෙම කරලා බලන්න, මෙහෙම කරපං යකෝ, අහවල් කඩේට ගියොත් බලාගෙනයි" වැනි එදිනෙදා අසන්නට ලැබෙන විවිධාකාර ප‍්‍රකාශ ඉහත කී ව්‍යාධියෙහි සම්ප‍්‍රකාශිතයන්ම වෙති.

නමුත් එම ව්‍යාධියෙන් අත්මිදීමේ සැබෑ වුවමනාවක් කිසිදාක ඔහුට නැත. ඔහු ඒ ව්‍යාධියෙහිම ගැලෙමින් ඒ තුලම උපදින අවස්ථානුකූල සුළං වල ඒ මේ අත පාවෙමින් පසුවීමට ප‍්‍රිය කරයි. අනෙකා හැදීම තමාගේ රාජකාරිය නොවන බව සීමා සහිත ලෙස පිළිගත්තවුන්ද ඒ අතර වෙති.

උදාහරණයක් ලෙස ශ‍්‍රී ලංකාවේ සැළකිය යුතු පිරිසක් ඌරු මස් හරක්මස් නොකති. එම මස් අනුභවය විවිධ තලයන්හි පිහිටන විවිධ හේතූන් මත ප‍්‍රතික්ශේප කිරීමට සෑම අයෙකුටම අයිතියක් තිබේ. යම් මිත‍්‍රශීලී පෙළඹවීමක් හරහා තවත් අයෙකු එයින් වැළැක්වීමටද සැළකිය යුතු බාධාවක් නොමැත. නමුත් එකී සීමාවෙන් ඔබ්බට ගොස් ඌරු මස් තහනම් කළ යුතුය හරක්මස් තහනම් කළ යුතුය යනුවෙන් බලපෑම් කිරීම තමාගේ සීමාව ඉක්මවා යාමකි. එකී මස් කන කිසිවෙකු නොකන්නෙකුට කන්න යැයි බල කරනුයේ ඉතා කළාතුරකිනි. එවැනි අවස්ථා නැති තරම්ය. නමුත් දැඩි කෝපයෙන් අනෙකාගේ හරක්මස් කෑම ඌරුමස් කෑම නවත්වන්නට තතනන්නෝ විශාල ප‍්‍රමාණයක් මා හට දක්නට ලැබී ඇත.

ලිංගිකත්වය යනු එවැනි ආහාර පුරුද්දකටද වඩා අති පෞද්ගලික වූවකි. මන්ද එය අභ්‍යාස කරනු තවත් කෙනෙකු බලා සිටීම සාමාන්‍යයෙන් සිදු නොවන්නක් බැවිනි. සියයට සියයක් යථාර්ථවාදීව කල්පනා කරන්නේ නම් පුද්ගලයෙකුගේ සැබෑ ලිංගික ෆැන්ටසිය කුමක්දැයි හරියටම දන්නේ ඔහු හෝ ඇයම පමණි. බොහෝ දෙනා හොර රහසේ එම ෆැන්ටසි වින්දනය කරන්නේ පොදුවේ පිළිගත් බොහෝ ආචාරධර්ම වලට එරෙහිව යමිනි. මා කියන්නට යන්නේ ඒවා පිළිබද ප‍්‍රමාණවත් කතාබහක් නොමැති බව නොවේ. ඒවා පිළිබදව කතාබහක් තිබීම සැබැවින්ම අනවශ්‍යය. ගැටලුව ඇත්තේ එකී ෆැන්ටසිය තමාගේ ලිංගයේම තවත් අයෙකු වෙත දිශානගත වූ විට පමණක් පෙරකී සියලු ආචාරධර්ම රහසේ බිදිමින් කම්සැප විදින්නෝ දුම්මල වරම ගත් යකැදුරන් බවට පත්වීමය.

එය කෙනෙකුට ඇසීමට පවා අප‍්‍රියජනක විය හැකිය. නමුත් සමලිංගිකත්වයේ සීමාවට නොගොස් ලිංගිකත්වයේ අනෙකුත් පෙරකී ෆැන්ටසීන් කීයක් නම් තව කීදෙනෙකුට අප‍්‍රිය විය හැකිදැයි කිසිවෙකු දන්නේ නැත. එනම් කෙනෙකුගේ ලැදියාව තවත් අයෙකුට අප‍්‍රිය විය හැකිය. කෙනෙකු ඉතා උතුම් කොට සළකන දෙයක් තවත් අයෙකුට අප‍්‍රිය විය හැකිය. ජීවිතයේ අනෙකුත් සියල්ලම එසේ වද්දී ලිංගිකත්වය සම්බන්ධයෙන් පමණක් විශේෂ අපුලකුත් ඒ මත පුද්ගලයන්ට වෙනස් කොට සැළකීමකුත් ඇතිවී තිබීම සිනා උපදවනසුළුය.

සමරිසි අයිතීන් පිළිබදව අදහස් දැක්වීමට බොහෝ දෙනා බියවෙති. එය කතා නොකළයුතු මාතෘකාවක් බව කියති. මම ඒ දෙවැනිව කී දෙයට සපුරා එකග වෙමි. එනම් එය පැහැදිළි ලෙසම කතා නොකළයුතු මාතෘකාවකි. නමුත් ඒ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒ ගැන කතා නොකිරීමක් විය යුතුය. එනම් ලිංගික ලැදියාව ය න්න ලිංගික ලැදියාව සම්බන්ධයෙන් මිස අන් කිසිදු කරුණක් උදෙසා තීරණාත්මක විය යුතු නොවේ. කෙනෙකුගේ ලිංගික ලැදියාව කුමක්දැයි කෙනෙකු විශේෂයෙන් ගණන් නොගන්නා තැනට පත්විය යුතුය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලිංගික ලැදියාව පිළිබදව කතා නොකිරීම යනු එය මිස සමරිසිබව විවේචනය කරන්නෝ පමණක් ඒ ගැන කතාකිරීම සහ එයට විරුද්ධ නොවන්නෝ පමණක් නිහඩව සිටීම නොවේ.

සමරිසිබවත් කෙනෙකු පොත් කියවීමට චිත‍්‍රපටයක් බැලීමට කැමැත්තක් දක්වනවා මෙන් තවත් එක් කැමැත්තක් පමණක් බව වටහාගෙන එයට ඇති සාංකල්පීය වටිනාකම අඩු කළ යුතුය. එසේ කළ දින පටන් එය තවදුරටත් අවශේෂ කරුණක් මිස "මාතෘකාවක්" වන්නේ නැත.

සමලිංගිකයන්ද තමන්ට සාමාන්‍ය පුරවැසියෙකුට හිමි අයිතිවාසිකම් ලබාදී තමාව සාමාන්‍යකරණය කරගන්නට සටන් වදිනවා විනා ඔවුන්ට සුවිශේෂීත්වයක් ආරෝපණය කරගන්නට සටන් වදිනවා මා දැක නැත.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...