2019.08.18
ජවිපෙ ප්රධාන සංවිධාන 28ක එකතුවෙන්
ගොඩනැගෙන ජාතික ජන බලවේගය සාර්ථක ලෙස සංවිධානය කළ රැළිය නිවසේ සිට
නැරඹුවෙමි. සමෘද්ධි ලැයිස්තුවට නම දමාගන්නට, දුවට පුතාට රස්සාවක් හදාගන්නට,
පිං පඩිය හදාගන්නට බලාපොරොත්තුවක් නැතිව රැළියකට එපමණ ජන සහභාගිත්වයක්
ලබාගැනීම සැබැවින්ම ජයකි. සතුටට කරුණකි. ගැති නොවූ හිතන මිනිසුන්ද මේ රටේ
සිටින බවට වූ සුබදායී සළකුණකි.
නමුත් ඒ පිළිබඳව අවධානයට යොමු කළ යුතු කරුණු ගණනාවක් ඇත.
1. රැළියේ ඉදිරිපත් වූ කතා ශ්රවණය
කළ යම් තරමකට හෝ දේශපාලන සාක්ෂරතාවයක් ඇති ඕනෑම අයෙකුට තේරුම් යන පළමු
කරුණ වන්නේ එය සමාජවාදී වූ වමේ රැළියකට වඩා ලිබරල්වාදී රැළියක් වූ බවයි.
ජවිපෙ පීල්ල මාරු කර ඇත්තේද?
2. පීල්ල මාරු කර තිබුණත් නැතත්
අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන ලද්දේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකයි.
ඔහු ගැන මගේ පෞද්ගලික විරෝධයක් නැත. ජාතික ජන බලවේගයේ තීරක ආධිපත්යය ජවිපෙ වෙත රඳවා ගැනීමට එය අවශ්ය පියවරක් වන්නටද ඇත. නමුත් ජාතික ජන බලවේගයේ ජනප්රියවාදී ඉලක්කය වූ සාම්ප්රදායික වම නියෝජනය නොකරන සිතන පාවෙන ඡන්දදායකයා ආකර්ශනය කරගැනීමට හැකි සුදුසුම පුද්ගලයා ඔහුද යන්න ප්රශ්නයකි.
3. ඒ අනුව ඉහත 1 සහ 2 එකිනෙකට යම්තාක් දුරකට එකිනෙක හා නොගැලපෙන වාතාවරණයක් නිර්මාණය වේ.
4. පසුගිය කාලසීමාවේ අදහස් හුවමාරු වලදී වැටහී ගිය ආකාරයට සහ අද දිනයේ
රැළයේ සජීව විකාශයෙන් දුටු ආකාරයට 2015 හංස සන්ධානය සමග සිටි, හිතන
මිනිසුන්ට ආමන්ත්රණය කරන සිවිල්
පුරවැසියන් සහ සංවිධාන රාශියක් ජාතික ජන බලවේගය සමග සිටී. ඔවුන් අතර ඇති
මතවාදී ගැලපීමේ හැඩය කුමක්දැයි තවමත් පැහැදිලි නැත. එය ඔවුන් පැහැදිලි කළ
යුතුය.
5. කවුරුන් කෙසේ කීවද 2020 ජනාධිපතිවරණයේ ඉතාම පැහැදිලි අවසාන ප්රතිඵලයක් දැනට පෙනෙන්නට නැත. සමස්ථ දිවයිනම එකම ඡන්ද කොට්ඨාසයක් ලෙස නොගනිමින්, ඇමෙරිකාවේ ක්රමයට කොට්ඨාස මට්ටමින් ජයග්රාහකයා තෝරමින් අවසානයේ ජයග්රහණය කළ කොට්ඨාස ප්රමාණය අනුව ප්රතිඵලය තීරණය කරන ක්රමයක් පැවැතියේ නම් එවන් පැහැදිලි ප්රතිඵලයක්
ගැන අනුමිතියකට එළඹීමට හැකියාව ලැබෙනු ඇත. නමුත් පවත්නා තත්වය යටතේ දෙවන
මනාපයට වටිනාකමක් ලැබෙන බවක් පෙනෙන්නට තිබේ. එහිදී ඇතැම් අය බොහෝ කෝපයෙන්
බුකියේ දක්වා ඇති පරිදි මෙය යම් පාර්ශවයක දෙවන මනාප ගොඩ වැඩිකරගැනීමේ තවත්
ක්රමයක්ද? කෝපයෙන් නගනු ලැබුවද එයද වලංගු ප්රශ්නයකි. එම ප්රශ්නයේ වලංගුභාවයේ තරම එම කෝපයේ තරමින් මනාව පෙනී යයි.
6. රැළිවල කොපමණ සෙනඟ සිටියද ජවිපෙ අතීත අත්දැකීම නම් ඡන්දය ගණන් කිරීමේදී එම රැල්ල ඡන්ද සංඛ්යාවෙන් නිරූපණය නොවීමයි. මෙවරත් එය සිදුවේද?
එම කරුණු එසේ තිබියදී සිතන, ජාතිවාදී නොවන, ආගම්වාදී නොවන, වරදාන හෝ පෞද්ගලික ප්රතිලාභ
නොතකන ජාතික යථාර්ථවාදී චින්තනයක වටිනාකම දකින පිරිසකගේ එවන් සුවිශාල
එකතුවක් දැකීමම සතුටට කරුණකි. මම ඒ බව මගේ හිතවතෙකු සමග පැවසීමි. ඔහුගේ
පිළිතුර පුදුමාකාර එකක් විය.
"ඒකම තමයි මං ඕකුන්ට කැමති නැත්තෙ.
අපි හැමෝම දේශපාලනේ කරන්නෙ ඒකෙන් මොනවහරි ගන්න බලාගෙන. ඒ තමයි මනුස්ස ගතිය.
උන්ට ඒ මොකුත් නෑ. උන්ගෙ ඡන්ද ව්යාපාර වලින් උන්ට වැඩකුත් නෑ, අපිට වැඩකුත් නෑ. ඒක අස්වාභාවිකයි. විකෘතියි"
🙂
කෙසේ වෙතත් ජාතික ජන බලවේගය හුදෙක් ජනාධිපතිවරණය පමණක් ඉලක්ක කළ වැඩ
පිළිවෙලක් නොවන බව පැහැදිලිවම පෙනුණි. මෙම උණුසුම දිගටම පවත්වාගැනීමට ඔවුන්
සමත් වුවහොත් ජනාධිපතිවරණයෙන් පසු එළඹෙන මහ මැතිවරණයකදී සැළකිය යුතු
බලපෑමක් කළ හැකි ආසන සංඛ්යාවක් දිනාගැනීමට එය මනා අඩිතාලමකි.
පෙර මෙන් තම පාර්ලිමේන්තු අනන්යතාවය අහිමි නොකරගනිමින් කටයුතු කිරීමට ඔවුන් සමත් වුවහොත් එය ශ්රී
ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් අතිවිශාල සාධනීය බලපෑමක් ඇතිකරනු ඇත. නමුත්
ජවිපෙ 1994 න් පසු ආවේණික දුර්වලතාවයක් වූ, යම් මට්ටමකට බලය වර්ධනය කරගත්
පසු අවස්ථානුකූල මිතුරන් දිනවීම හෝ අවස්ථානුකූල සතුරන් පැරදවීම තම අරමුණ
බවට පත්කර නොගනීවිද? නැවතත් දෙකයි පනහේ ජාතිවාදය කරපින්නා නොගනීවිද?
නොඑසේනම් අගෙයි.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Tuesday, April 14, 2020
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment