Tuesday, April 14, 2020

මාධ්‍ය ප්‍රකාශන

2019.08.16

මා හිතවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පොලීසිය විසින් සිදුකළ යම් කාර්යයක් පිළිබඳව විවේචනාත්මකව අදහස් පලකිරීම සම්බන්⁣ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් අරඹා තිබීම සම්බන්ධයෙන් වන පෝස්ටුවක් මම මීට පැයකට පමණ ඉහතදී share කළෙමි. ඒ සම්බන්ධයෙන් මේ කෙටි කාලය ඇතුලත inbox මගින් කිහිප දෙනෙකුම එයට මැදිහත් නොවී සිටීම ඥානාන්විත බව සදහන් කරමින් මමද පොහොට්ටු දේශපාලනය වැළදගෙන ඇත්දැයි විමසීම හේතුවෙන් ඒ පිළිබදව කරුණු පැහැදිලි කිරීමක් කළ යුතු වේ.

01. මම පොහොට්ටු දේශපාලනය වැළදගෙන නැත. කිසිසේත්ම නැත.

02. මම නීතිඥ මනෝජ් ගමගේ මහතා පුද්ගලිකව හදුනන්නේද නැත. නමුත් ප්‍රතිපාක්ශිකයන් ලෙස ඔහු සහ මා අතර යම් අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතැයි සිතමි.

03. නමුත් මා ඉහත කී පෝස්ටුව share කිරීමට එම අවබෝධය යටත් පිරිසෙයින් ආසන්නතම හේතුවක් හෝ වූයේ නැත.

04. මම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් නීතිඥවරයෙකු ලෙස මෙන්ම පුරවැසියෙකු වශයෙන්ද කොන්දේසි විරහිතව පෙනී සිටින්නෙක්මි. එහිදී එකී නිදහස උල්ලංඝනය වූයේ ශක්තික සත්කුමාරගේද, නීතිඥ මනෝජ් ගමගේ මහතාගේද එමතුද නොව විමල් වීරවංශගේද යන්න පවා මට අදාළ නැත. කවරෙකුගේ හෝ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීමට මා දෙවරක් සිතන්නේ නැත. එහිදී එසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය වූ තැනැත්තා මීට පෙර එම අයිතිය වෙනුවෙන් ⁣කොන්දේසි විරහිතව පෙනීසිටි අයෙක්ද, කොන්දේසි සහිතව පෙනීසිටි අයෙක්ද කිසිසේත්ම පෙනී නොසිටි අයෙක්ද, ඉදිරියේදී අන් අයගේ එම අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහි වනු ඇති අයෙක්ද උඩගෙඩි දෙනු ඇති අයෙක්ද යන්න පවා මට අදාළ නොවේ.

05. විමර්ශන අවස්ථාවලදී පොලීසියට මාධ්‍ය භාවිත කිරීමට ලැබෙන නීතියට පටහැණි අසාමාන්‍ය ඉඩ සම්බන්ධයෙන් සැමදාම මාගේ බරපතළ විරෝධයක් තිබේ.

ඕනෑම පුද්ගලයෙකුට නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනයේ ආරක්ෂාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කරදී තිබේ. එම පූර්ව නිගමනය බිදහෙලා පුද්ගලයෙකු වරදකරුවකු බව තීන්දු කිරීම අධිකරණ ක්‍රියාවලියකින් සිදුකළයුතු කරුණකි.

තත්වය එසේ තිබියදී පොලීසිය තම මාධ්‍ය ප්‍රකාශකවරයා හරහා සැකකරුවකු අත්අඩංගුවට ගත් වහාම ඔහුට එරෙහිව අනාවරණය කරගත්තේයැයි කියන කරුණු නිල වශයෙන්ම මාධ්‍ය හමුවක් පවත්වා මාධ්‍යයට කියයි. නඩු විභාගයකටත් පෙර හරස් ප්‍රශ්න මගින් සත්‍යාපනතාවය පරික්ෂා නොකළ කරුණු කෙළින්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් ඔප්පු වූ කරුණු ලෙස ජනතාවට කීම බරපතළ වරදකි. එය අධිකරණ තීරණයකට පෙර මහජන මතය තුල සැකකරු නිශ්චිතවම වරදකරු බවට වන මතයක් රෝපණය කරවයි. එවිට එම මතය අධිකරණය විසින් නඩු විභාගය අවසානයේදී ලබාදෙන තීන්දුව සමග නොගැලපේ නම් මහජනතාව තුල අධිකරණය කෙරෙහි බලවත් අවිශ්වාසයක් ගොඩනැගේ. එපමණක් නොව විනිශ්චයකාරවරුන්ද සාමාන්‍ය පුරවැසියන් ලෙස මාධ්‍ය පරිශීලනය කරති. පොලීසිය විසින් ඒකපාර්ශ්විකව විමර්ශන අවස්ථාවේදී සිදුකරන පාළු ගෙයි වළං බිඳීම විනිසුරුතුමන්ලාගේ ස්වාධීන මනසට කිසිදු බලපෑමක් නොකරනු ඇත්ද?

සැකකරුවකු පොලිස් නිලධාරියෙකුට කරන පාපෝච්චාරණයක් අඩුම ගණනේ අධිකරණය ඉදිරියේවත් සාක්ෂියක් ලෙස යොදාගත නොහැක. එහෙත් පොලීසිය විසින් සැකකරු වරද පිළිගත් බව පවා මහත් ආඩම්බරයෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරන අවස්ථා ඇත. එවන් පාපෝච්චාරණ වල විශ්වසනීයත්වය "සේයා සදෙව්මි ඝාතන විමර්ශනයේදී" මුළු රටම දුටුවේය.

06. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනයේ ආරක්ෂාව සහතික කර තිබියදී නඩුවක කරුණු මාධ්‍යයට හෙළිදරව් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිතාමතාම උල්ලංඝනය කිරීමකි.

07. එමෙන්ම නඩුවක එක් පාර්ශවයක් පමණක් වන පැමිණිල්ලට විමර්ශන දායකත්වය සපයන පාර්ශවය වන පොලීසියට පමණක් මාධ්‍ය හරහා නඩුවේ තමන්ට වාසිදායක කරුණු ජනගත කිරීමට අවස්ථාව ලබාදීම සාධාරණ නඩු විභාගයක් සදහා පුද්ගලයෙකුට පවත්නා මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීමකි.

08. මෙහි සාධාරණත්වය සහතික කිරීමට එක්කෝ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මගින් නඩුවල සනාථ නොවූ කරුණු ඔප්පු වූ කරුණු ලෙස හැගීයන පරිදි ප්‍රසිද්ධියට පත්කිරීම නැවැත්විය යුතුය. නැත්නම් පැමිණිලි විත්ති දෙපක්ෂයටම ඒ සදහා පවත්නා බාධා ඉවත් කළ යුතුය. (දෙවනුව කී අයිතිය ලබාදුනහොත් එය කොතැනින් නතර වේදැයි නොකියහැකි බැවින් උචිත වන්නේ දෙපක්ෂයටම එය තහනම් කිරීම බව මාගේ පුද්ගලික අදහසයි)

09. නමුත් ඉහත කී අසාධාරණ මාධ්‍ය භාවිතාවට එරෙහිව නිසි හඩක් කිසිදු පාර්ශවයකින් නැගුණේ නැත. එය බලවත් අඩුපාඩුවකි. අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය පළුදු වන, අධිකරණයට අනියමාර්ථයෙන් අපහාස කෙරෙන, වහාම පිළියම් කළ යුතු දැවැන්ත සිදුරකි.

10. තත්වය එසේ තිබියදී පොලීසියේ නිලධාරියෙකුගේ විධිහීනතාවයක් මාධ්‍ය හමුවකදී පෙන්වා දුන් නීතිඥවරයෙකුට එරෙහිව විමර්ශනයක් ඇරඹීම පවත්නා තත්වයන් යටතේ සිනා උපදවනසුළුය.

11. එමෙන්ම එය අදහස් ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිවාසිකම නිළ ඇදුමේ බලයෙන් උල්ලංඝනය කිරීමකි.

12. එසේ හෙයින් මෙය සියලු දෙනා නැගීසිටිය යුතු අවස්ථාවකි. එය අයිතිවාසිකම් රැකගැනීමේ අරමුණින් මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ ඒකපාර්ශ්වික මාධ්‍ය භාවිතාව අභියෝගයට ලක්කිරීමේ අරමුණිනි.

13. එයට නීතිඥ මනෝජ් ගමගේ මහතාගේ දේශපාලනය කුමක්දැයි කිසිසේත් අදාළ නැත. එමෙන්ම මේ සටනේදී ඔහු හා එකට සිටගැනීම මගින් ඔහුගේ දේශපාලනය පිළිගැනීමක් කිසිසේත් අදහස් නොකෙරේ.

14. එය මිනිස් අයිතිවාසිකම් ගරුකරන සැමගේ වගකීමකි.
මගේ උගත් මිතුර Ravindra Manoj Gamage R.Manoj Gamage - නීතීඥ මනෝජ් ගමගේ මේ සටනේදී මම ඔබ සමගයි.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...