Tuesday, April 14, 2020

කන්නසාමි

මේ දවස් වල බොහෝ දෙනා ජනාධිපති අපේක්ෂකයො ගැන හිතල උඩ පනිනව දැකපුවම නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන්ගෙ ශ්‍රී වික්‍රම නූර්තියෙ ගීතයක් මතක් වෙනව.

"ද‍න්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ
රාජ ධූර රාජ ධූර රාජ ධූරයේ
ද‍න්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ"

ඇත්තටම ඔය කන්නසාමි කවුද කියන එක හරියටම පැහැදිලි නෑ. එකතැනක කියවෙනවා රාජාධි රාජසිංහ රජ්ජුරුවන්ගෙම පුතෙක් කියල. නමුත් ඩී.පී.වික්‍රමසිංහ මහත්තයගෙ මගදිගට ජනකතා පොතේ තියන විදියට රාජාධි රාජසිංහ වගේම පිළිමතලව්වෙ මහ අධිකාරමත් කන්නසාමිගෙ ගෙවල් පැත්තෙ රාත‍්‍රී සංචාරයේ යෙදිල තියෙනව. එතකොට ඒ පිළිමතලව්වෙගෙම පුතෙක් වෙන්නත් පුළුවන්.

මොනව වුණත් ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන පොදුවෙ කියවෙන්නෙ දුෂ්ඨ වඩුග රජා විදියට. ශ්‍රී විජය රාජසිංහගෙ ඉදන් ශ්‍රී ලංකාවෙ රජ පෙළපත නායක්කර් වංශික වුණාට මහජනතාව වඩුග රජා කියල පිළිකුලෙන් කිව්වෙ කන්නසාමි නොහොත් ශ්‍රී වික්‍රම ගැන.

කොහොම වුණත් කන්නසාමි ඉන්දීය නායක්කර් පරපුරෙයි ශ්‍රී ලංකාවෙ පරම්පරා 3ක විතර රජ පෙළපතකයි යන දෙකේම උරුමක්කාරයෙක්. ඒ කියන්නෙ ඩුවල් සිටිසන් කෙනෙක්. ඒක සිංහල මිනිස්සුන්ට / රදළයන්ට පත්තියං කරවන්ට පිළිමතලව්වෙ ඇතුලු විවිධ හේතු මත කන්නසාමිව සිංහාසනේ ඉන්දවන්න හදපු අයගෙ උත්සාහය මේ සිංදුවෙ දෙවනි තුන්වෙන පද වල සදහන් වෙන්නෙ මෙහෙම.

"රකී බුද්ධ ධර්ම සීලේ පූර්වේ රජුන් ලෙසේ
අධර්මිෂ්ඨ නීච ක්‍රියා යයි මැකී ලකේ
යයි මැකී යයි මැකී යයි මැකී ලකේ
ද‍න්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ"

බුද්ධ ධර්මෙ රකිනව "කියනව නම්" අධර්මිෂ්ඨ නීචකම් වලට එරෙහිව කොන්ද කෙළින් තියාගෙන තීරණ ගන්නව "කියනව නම්" වඩුගයෙක් බැරිනම් අන්දමන් කාරයෙක් වුණත් අපේ උන්ට පත්තියං. (අධර්මිෂ්ඨකම සාපේක්ෂයි කියන එක පැත්තකින් තියමුකෝ) ඔය සංවේදී තැන් චුට්ටක් කිති ලෑවහම කන් දෙකෙන් ගිනි පිටකරගෙන යකා නටන එක පරම්පරාගතයි. ඒ වෙලාවට ඒ ගින්නෙම දුමට ඇස් වැහිල යනව. වෙන කිසිම දෙයක් පේන්නෙ නැති තරමට.

ඊළග පදෙන් දෙනව අර ඇස් වැහිල ඉන්න එකාට නිල් වෙන්න.

"දනී සිංහලුන්ගෙ ශාස්ත්‍ර ආගම් මනා ලෙසේ
ඉතින් ප්‍රීති වෙන්න යමවු ඒ තුමා වෙතේ
ඒ තුමා ඒ තුමා ඒ තුමා වෙතේ
ද‍න්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ"

ආය ඉතිං මොනවද? වෙන මොකුත්ම එපා. ඒ ටික දන්නවයි කියන එකම මදෑ. සතුටින් හිනා වෙවී එතුමා වෙත පෝලිමේ ගිහිං

"පස්වාන් දහසකට බුදුවන්ඩ දෙයියෝ
සත් මුහුදම කළඹාලා අපේ පිනට මේ පොළවට පහළ වෙච්ච දෙයි හාමුදුරුවන්ගේ සුක්කර ධාතු ඇඹින්දකටවත් නොවටින
මේ නර පනුවන්ට අනුකම්පා කොරන්ට හොදයි
වරදක් වුණොත් හිතේ රිහි යනකල් තඩිබාන්ට හොදයි"

කියන එක පුදුමයක්ද?

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...