Tuesday, April 14, 2020

2020 වීරයා

2019.08.13

පොහොට්ටුව තම ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කළේය. නිවැරදිව කියතොත් මහින්ද රාජපක්ෂ මහතා තමාගේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කලේය. ඒ සදහා පවත්වන ලද උත්සවය ⁣සැකයකින් තොරවම මෑතකාලීන ශ්‍රී ලාංකීය දේශපාලනයේ පවත්වන ලද උත්කර්ෂවත්ම සංදර්ශනය විය. ඇතැම් විටෙක එය නරඹද්දී ඔබ නරඹමින් සිටින්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් අවසාන තරගයක්දෝ යැයි සැකයක් ඇතිවුණද එහි පුදුමයක් නැත. ඒ තරමටම එම සංදර්ශනය පුරා "දෙරණ" විද්‍යාමාන විය.

කෙසේ වෙතත් එය විශිෂ්ට සංදර්ශනයක් වූ බව නොකියාම බැරිය. කුමක් හෝ හේතුවක් නිසා සියල්ලන්ගේම "මුහුණු පුළුටු වී තිබීම" සහ "මල්ලි පෙන්නා ....... දෙන්නට යන බවට වූ ආරංචි සහ ඉඟි" හැරෙන්නට එහි සෑම අංගයක්ම රෝමෝද්ගමනය කරවනසුළුය. මහින්ද රාජපක්ෂ වේදිකාවට අවතීර්ණ වීම, ඔහු විසින් "සිරස සුපර්ස්ටාර් තරගවල කමල් අද්දරආරච්චි නිවේදන කටයුතු කළ කාලයේ මෙන්" ගෝඨාභය රාජපක්ෂගේ නම ප්‍රකාශයට පත්කිරීම, ඉන්පසු ගෝඨා සභාවට අවතීර්ණ වීම, ඔහු සිදුකරන ලද ඉතාම ක්‍රමානුකූල වූ කතාව ආදී සියල්ලම ප්‍රබල රාජපක්ෂ විරුද්ධවාදීන් පවා මොහොතකට තුෂ්නිම්භූත කරන්නට සමත් වන තරමටම විශිෂ්ට විය.

මේ හරහා කාරණා දෙකක් සන්නිවේදනය විය. එකක් නම් පොහොට්ටුව සතු මනා සංවිධාන හැකියාවයි. වසර 4ක් බලයේ සිටීමෙන් පසුව වුවද ඔවැනි හරඹයක් තබා සාහිත්‍ය සමිතියේ නාට්‍යයක් තරමටවත් නිර්මාණාත්මක ගුණයෙන් යුතු සංදර්ශනයක් ඉදිරිපත් කරන්නට එජාපය සමත් නැත. එම නිර්මාණාත්මක විචිත්‍ර සංදර්ශන ගුණය තිබුණේ ජවිපෙ සතුවය. අදටත් විචිත්‍රවත්ම මැයි දින පෙළපාලිය පවත්වන්නේ ජවිපෙ විසිනි. එය පොහොට්ටුව ඉතා දක්ෂ ලෙස අවශෝෂණය කරගෙන ඇතිවා පමණක් නොව තම පාක්ෂිකයන් අතර බහුතරයකගේ බුද්ධි මට්ටමට ඉතාම සමගාමී වන අන්දමින් උපයෝජනය කරගෙන තිබුණි. එය ප්‍රශංසනීය වේ.

අනෙක මාධ්‍ය විසින් රාජ්‍යය අත්පත් කරගැනීමයි. මෙහිදී දෙරණ හා හිරු නාලිකාවල දායකත්වය අමතක කළ නොහැකිය. එම නාලිකා මගින් විකාශය කෙරෙන උදෑසන පලාපල විස්තරයේ පටන්, දවස පුරා විකාශය වන සිනමාපට, ටෙලිනාට්‍ය, ප්‍රවෘත්ති, සාකච්ඡා ආදී සියලුම වැඩසටහන් හරහා ඔවුන්ගේ නරඹන්නන්ගේ බුද්ධි මට්ටම් රාජපක්ෂවාදී දේශපාලනය හා ගැලපෙන මට්ටමකට ගෙන ඒම සදහා අනර්ඝ මෙහෙයක් වසර හතරක් තිස්සේ ඉටුකරන ලදී. එහි අග්‍ර ඵලය නෙලාගෙන රට සුඛිත මුදිත කර ඔවුන්ද සුඛිත මුදිත වන්නට ඇත්තේ තව ටික කලකි.

මෙම මහා සංදර්ශනය දුටු එජාපවාදීන් පසුගිය වසර හතර තිස්සේ පුරුදු පරිදි කළ යුත්ත සම්බන්ධයෙන් උදාසීන වූද නොකළ යුත්ත සම්බන්ධයෙන් අධි මොරාල්ගත වූද හැසිරීම ප්‍රකට කරමින් සිටී. ශ්‍රී ලාංකීය දේශපාලනයේ ප්‍රගතිශීලී වෙනස්කම් රාශියක් සිදුකිරීමට 2015දී ලැබිය හැකි අනර්ඝතම අවස්ථාවක් ලද නමුත් එය ඔවුන් විසින් පැහැර හරින ලදී. සංඛ්‍යා ලේඛන හරහා සංචිත වැඩිවීමක් ආර්ථිකය ශක්තිමත් වීමක් සිදුවී ඇතැයි උදම් ඇනුවද පොළොවේ පයගසා සිටින සෑම මිනිසෙකුම දවාලමින් සිටින බරපතළ ආර්ථික හිරවීම ළිහිල් කිරීමට ඔවුන් කළ දෙයක් නැත. මේ මොහොතේ පවා ඒ හිරවීම් පොළිය පිට පොළිය වදිමින් වර්ධනය වනවා විනා විසදෙන පාටක් පෙනෙන තෙක්මානයක නැත. එවන් තත්වයක් යටතේ කොහොමත් රාජපක්ෂවාදී පිරිසට අමතරව විවෘත මනසකින් සිතන වැඩිදෙනාද පවත්නා විකල්ප අතරින් අඩුවෙන්ම නුසුදුසු විකල්පය ලෙස පොහොට්ටුව ප්‍රධාන ජාතික සමාජවාදී කඳවුර තේරීමේ කිසිදු පුදුමයක් නැත.

පොහොට්ටුව දෙරණ යොදාගත් අයුරින්ම එජාපයේ කොටසක් සිරස යොදාගෙන පැවැත්වූ තවත් සංදර්ශනයක් ඊයේ දක්නට ලැබුණි. ඒ අනුව මෙය දැන සිරස හා දෙරණ අතර සටනකි. සිරස හා හිරු අතර සටනකි. කොන්ත්‍රාත් සදහා වන සටනකි. මිළ අධික තරංග සංඛ්‍යාත සදහා වන සටනකි. ඊළග ආණ්ඩුවේ පුරෝහිතකම සදහා වන සටනකි. දුමින්ද සිල්වාගේ නිදහස සදහා වන සටනකි.
ඒ ඒ සටන් සදහා දිලිත් ජයවීර, රෙනෝ සිල්වා සහ කිලී මහරාජා අවස්ථානුකූලව දරණ ස්ථාවරයන් තම ස්වාධීන දේශපාලන ස්ථාවරය යැයි සිතාගත් රූකඩයන්ගේ විකට රැගුමක් බවට ජනාධිපතිවරණය දැනටමත් පත්වී හමාරය.

පසුගිය දශක කිහිපය පුරාම ශ්‍රී ලාංකීය වමේ දේශපාලනයේ විශාල රික්තයක් වර්ධනය විය. එයට හේතුව වම, වම ලෙස නොව දක්ෂිණාංශික දේශපාලනයේම උප ශාඛාවක් ලෙස ක්‍රියාත්මක වීමය. තම තමන්ගේ පැල්කොට වලට වී තම තමන්ගේ විග්‍රහයන් පාඩුවේ කරගෙන ජීවත් වන අක්‍රීය වම මෙන්ම දක්ෂිනාංශික දේශපාලන පක්ෂ වලට තීරක ඡන්ද ප්‍රමාණය සපයමින් යෝධ ඇලේ නැම්මේ ගිය සක්‍රීය යැයි කියාගත් වමද මෙයට පැහැදිලි ලෙස වගකිවයුතුය.

වර්තමානයේ ශ්‍රී ලාංකීය වමේ පක්ෂ බොහොමයක් තම පැවැත්මේ අරමුණ වන්නේ නව ලිබරල්වාදයේ මොනිටර් වරයා වීම නොව, පීඩිතයා පෙළන සියලු ප්‍රශ්න ආමන්ත්‍රණය කැරෙන සහ ඊට ක්‍රියාමාර්ග ගන්නා තමන්ට ආවේණික මාවතක් ගැනීම බව දන්නවාද යන්න පවා සැකසහිත වේ.

මේ හේතුවෙන් පසුගිය දශක ගණනාවක් තිස්සේ විචාරශීලි තරුණයාට තෝරාගැනීම සදහා සුදුසු ශක්තිමත් වාම දේශපාලන ව්‍යාපාරයක් ශ්‍රී ලංකාවේ තිබුණේ නැත. දක්ෂිණාංශය සමග දීග නොකෑ පැල්කොටද විචාරශීලි තරුණයා ආකර්ශනය කරගැනීමට අසමත් විය. එබැවින් අන්දමන්ද වූ තරුණයා හට තෝරාගැනීමට තිබුණේ අන්ත ප්‍රතිගාමී ජාතිකසමාජවාදී රැඩිකල් රූපී විකෘතියකි. එය බෙහෙවින් කණගාටුදායකය.

එබැවින් එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලාංකීය සක්‍රීය වමට තෝරාගැනීම් දෙකක් ඇත. පළමුවැන්න නම් හොදට හෝ නරකට දක්ෂිණාංශය සමග සන්ධානගතවී තම අනන්‍යතාවයේ ඇති "ව" යන්න සහ "ම" යන්න යන දෙකම නැත්තටම නැතිකරගැනීමය.

දෙවැන්න නම් ස්ථාවර ලෙස තනිව සිටගනිමින් බොහෝදුරට බිහිවීමට ඉඩ ඇති ජාතික සමාජවාදී පාලන ක්‍රමය බිහිවීමට ඉඩහැර ඒ හරහා වමේ දේශපාලනයට නිතැතින්ම ගොඩනැගෙන අවකාශය ඥානාන්විත ලෙස භාවිත කිරීමය.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...