Tuesday, April 14, 2020

ෆීල්ඩ් මාෂල් - මාෂල් ඔෆ් ද එයාර් - අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්

හමුදාවක නිලතල ලබාදෙන ක‍්‍රමයක් තියනව. රටක හමුදාවේ පරිමාණය අනුව ඒ රටේ පවතින්න පුළුවන් ඉහළම හමාදා තනතුරු තීරණය වෙනව. ඒකයි පිළිගත් ක‍්‍රමය. ඒ අනුව ශ‍්‍රි ලංකාවේ සක‍්‍රීය හමුදා සේවය් සිටියදි පත්විය හැකි ඉහළම තනතුරු වූයේ යුධ හමුදාවේ ලුතිනන් ජෙනරාල්, ගුවන් හමුදාවේ එයාර් මාෂල් සහ නාවික හමුදාවේ වයිස් අද්මිරාල් යන තනතුරු. (මම වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න)

නමුත් යුධ ජයග‍්‍රහනයත් සමග එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සමස්ථ ත‍්‍රිවිධ හමුදාවටම පොදුවේ උසස්වීමක් ලබා දෙනවා. ශ‍්‍රී ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට සක‍්‍රීය සේවයේ සිටියදී හමුදා ජෙනරල් වරයෙකු, එයාර් චීෆ් මාෂල් වරයෙකු සහ අද්මිරාල් වරයෙකු බිහිවෙන්නේ ඒ අනුව.

හමුදා ආචාරධර්ම හා සිරිත් විරිත් වලට ඒක කොයි තරම් ගැලපෙනවද දන්නෙ නැති වුණත් කවුරුත් පාහේ ඒකට විරුද්ධ වුණේ නෑ. අනික තිස්වසරයක යුද්ධය අවසන් වීමත් එක්ක ඒ තනතුරු උසස් වීම අවස්ථානුකූලව නොගැලපුණේ නැහැ. කවුරුත් ඒක odd විදියට දැක්කේ නැහැ.

විය යුතුව තිබුනේ ඒක සුවිශේෂී අවස්ථාවක් වීම. එනම් නැවතත් ඒ වගේ සුවිශේෂීම අවස්ථාවකදී හැර සක‍්‍රීය සේවයේදී ජෙනරල්වරයෙකු, එයාර් චීෆ් මාෂල්වරයෙකු සහ අද්මිරාල් වරයෙකු බිහි නොවිය යුතුව තිබුණා. නමුත් 2010 ජනාධිපතිවරණය ඒ සියල්ල වෙනස් කළා.

ජෙනරල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමග ඔහුට ජනාධිපතිවරයා ඇතුලු පිරිසේ හොද හිත නැතුව ගියා. ඒ වගේම ජනාධිපතිවරණ ප‍්‍රචාරණ කාලය තුලදී අවස්ථාවකදී දෙකකදී පමණ ජෙනරල් ෆොන්සේකා ජයගන්නා ලකුණුත් පහළ වූ බව රහසක් නොවෙයි. මෙයින් සිදුවුණේ ඔහු ජනාධිපතිවරයා ඇතුළු පාලක පවුලේ දැඩි වෛරයට ඉලක්ක වීම.

ජනාධිපතිවරනයෙන් පසු ජෙනරාල් ෆොන්සේකාගේ ආරක්ෂාවට හමුදාවෙන්ම යොදවා සිටි හමුදා පිරිස් වලට පවා සිනමන් ලේක්සයිඩ් හෝටලය ඉදිරිපිට දණගස්වා පහරදුන් බව මාධ්‍ය වාර්තා කලා. ඉතා ඉක්මනින් ඔහුව අත්අඩංගුවට ගෙන ඉක්මන් හමුදා අධිකරණ ක‍්‍රියාවලියකින් පසු සිරගත කළා. සියලු තනතුරු නාමයන් යටගියා.

එපමණක් නොව ඒ හා සමගම ජෙනරල් සරත් ෆොන්සේකාගේ අනුප‍්‍රාප්තික හමුදාපතිවරයා වූ ලුතිනන් ජෙනරල් ජගත් ජයසූරියද ජෙනරල් පදවියට උසස් කරමින් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ධුරය ලබාදීමෙන් සක‍්‍රීය සේවයේ සිටියදී තරු හතරේ ජෙනරල්වරයෙකු බවට පත්වූ ශ‍්‍රී ලංකාවේ එකම හමුදා නිලධාරියා වහයෙන් ජෙනරල් සරත් ෆොන්සේකාට පැවති වාර්තාව බිද දැමුණා.

පාලක පවුල කෙරෙහි ජනතාව තුල වෛරයක් ඇතිවීමට ජෙනරල් ෆොන්සේකා සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කළ ආකාරයත් සැළකිය යුතු හේතුවක් වුණා. ෆොන්සේකාට පසුව ජනාධිපති සමාව ලබාදී නිදහස් කළදඑය මැකී ගියේ නැහැ. 2015 ජනවාර් 08 වැනිදා ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයට මෙම කරුණත් තීරණාත්මක ලෙස බලපෑවා.

2015 ජනවාර් 08 වැනිදායින් පසු ඇතිවූ පාලනය ලංකා ඉතිහාසයේ ලියැවෙනු ඇත්තේ නොකළ යුතුදෑ රාශියක් කල කළ යුතු දෑ රාශියක් නොකළ පාලනයක් වශයෙන්. ඒ නොකළ යුතුව තිබූ දේ අතර සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාෂල් තනතුරක් පිරිනැමීම මුලින්ම සිදුවූ දෙයක්. ඔහුදේශපාලන පලිගැනීම් වලට ලක්වීම නිවැරදි කිරීම සදහා නැවත සේවයේ පිහිටුවා ජෙනරල් තනතුර ලබාදිම පමනක් ප‍්‍රමාණවත් වන්නට තිබුණා. නමුත් එහිදි ජෙනරල් ජගත් ජයසුරිය ජෙනරල් ෆොන්සේකා සමග සමාන වන තත්වයක් නිර්මාණය වන බැවින් ෆීල්ඩ් මාෂල් තනතුරක් ලබාදෙන්න ජනාධිපතිවරයා තීරණය කළා.

එය අතිසාරයට අමුඩ ගැසීමක් මෙන් වුණා. ඇතැම් පිරිස් එය විහිලුවටත් ගත්තා. එසේ ප‍්‍රසිද්ධියේම විහිළුවට ගත් පුද්ගලයෙක් වුණේ විජේදාස රාජපක්ෂ. ඔහු ෆීල්ඩ් මාෂල් වරයාට "වෙල් විදානේ" යනුවෙන් ප‍්‍රසිද්ධියේ සමච්චල් කළා. කාලයත් සමග ජනාධිපතිවරයා සහ ෆීල්ඩ් මාෂල්වරයා අතරත් නොමනාපකම් මතුවෙන්නට වුණා. ෆීල්ඩ් මාෂල් වරයා තමා සමග එක් නොවී එජාපයට එක්වීම එයට හේතු වන්නට ඇති.

එම ෆීල්ඩ‘ මාෂල් තනතුර සරත් ෆොන්සේකාට පිරිනැමීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකුට අසාධාරණයක් වුනා. ඒ එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුනතිලක සහ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ. සරත් ෆොන්සේකා සමගම යුධ ජය හා සමගාමීව උසස්විම් ලැබූ ඔවුන් අභිබවා සරත් ෆොන්සේකාට පමනක් ෆීල්ඩ් මාෂල් ධරයක් ලබාදිම අසාධාරණ බව කියැවෙන්නට වුණා. එය කළක සිට පැවැති කතාබහක්.

තම ධුර කාලයේ සීමා සහිත ඉදිරි දින ගනන තුල හැකිතාක් පුද්ගලයන් මොනවාට හෝ පත්කරන්නටත් හැකිතාක් පුද්ගලයන් තනතුරු වලින් මාරු කරන්නටත් සිතා සිටින ජනාධිපතිවරයා රොෂාන් ගුණතිලකට මාෂල් ඔෆ් ද එයාර් තනතුරත් වසන්ත කරන්නාගොඩට අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් තනතුරත් ලබාදීමට මෙම අවස්ථාව තෝරාගැනිම එම නිලධාරීන් දෙදෙනාගේ අවාසනාවක් ලෙස මා දකිනවා.

මන්ද ෆීල්ඩ් මාෂල් වරයාට වෙල් විදානේ කිවාක් මෙන් මාෂල් ඔෆ් ද එයාර්ට මාෂල් ඔෆ් ද එයාර්ද? මම මාෂල් ඔෆ් ද ෆෙයාර් යනුවෙන් මෙන්ම අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට්ට අද්මිරාල් ඔෆ් ද බස් වැනි කතා කියා හෑල්ලු කර සමච්චලයට ලක්කිරිමට පෙළඹිමක් මේ හරහා ඇතිවිමේ ඉහළ ඉඩක් තියෙනවා. හමුදා නිලධාරීන් එසේ හැල්ලු විය යුතු නැහැ. එපමනක් නොව දුක හිතුන අය සැනසිමට, කාට හෝ පාඩම් ඉගැන්නීමට වැනි කාර්යයන් සදහා හමුදා තනතුරු පාවිච්චි කිරීම උචිත වන්නේ නැහැ.
වෙන කුමන ස්වභාවයේ රාජ්‍ය සේවා තනතුරු සමග සෙල්ලම් කළත් බඩ පිණුම් ගැසුවත් හමුදා තනතුරු හැල්ලු වන ආකරයේ පත්කිරීම් ඒවායේ ඇති ගෞරවාන්විත බව දැඩි ලෙස සොදාපාලුවට ලක්කිරීමට පාර කපනවා.

මගේ පුද්ගලික අදහස නම් 2009 යුධ ජයග‍්‍රහනයත් සමග ලබාදුන් පොදු උසස්විමෙන් හමුදා පරිමාණය ඉක්මවා නිර්මාණය කරන තනතුරු සංස්කෘතිය නැවතිය යුතුව තිබුණා. එසේ වූවානම් සක‍්‍රීය සේවයේ සිටියදි එම තනතුරු වලට පත්වූ ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්තානයක කොටස්කරුවන් බවට ඔවුන් පත්වන්නට තිබුණා. දේශපාලනය එය විනාශ කලා.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...