Tuesday, April 14, 2020

විජයබා කොල්ලයට පූර්විකාවක්

විජයබා කොල්ලය තවම නරඹන්නට බැරිවුණා. නමුත් ඩබ්ලිව්. ඒ. සිල්වාගේ පොත කියවීමෙන් කතාව පිළිබඳව යම් වැටහීමක් තියෙනවා. චිත්‍රපටයේ බොහෝවිට ඒ කතාවම විචිත්‍රවත් ලෙස ඉදිරිපත් කරලා ඇති. ඒත් සාමාන්‍යයෙන් මම අත්දුටු දේ තමයි බොහොමයක් පොත් වල ඇති කතාවට වඩා චිත්‍රපටය පසුපසින් තිබීම. එයට හේතුව පොත කියවීමෙන් අපි ඇතිකරගන්නා පරිකල්පනමය චිත්‍රය රිදී තිරයේ ඒ ආකාරයෙන්ම නිරූපණය නොවීම. එය "මහරජ ගැමුණු" චිත්‍රපටයේදි මම හොඳින්ම අත්දුටුවා. චිත්‍රපටය නරඹන්න කලින් පොතක් විදිහට පලකරලා තිබුණ චිත්‍රපටය තිරකතාව කියවන්නට ලැබුණා. ඒ අනුව මම මවාගත් කතාවට වඩා චිත්‍රපටය තිබුණේ පිටුපසින්. යම්කිසි බලාපොරොත්තු කඩවීමකුත් ඇතිවුණා. 

නමුත් විරාගය වගේ චිත්‍රපටයක තත්වය ඊට වෙනස්. පොත කියවා ඇතිකරගත් පරිකල්පනමය චිත්ත රූපය සමග චිත්‍රපටයත් බොහෝදුරට සමපාත වුණා.

විජයබා කොල්ලය කොහොම වෙයිද කියන්න තවම කල් වැඩියි. එය පොත කියවා ඉන්පසුව චිත්‍රපටය නරඹා කළයුතු ඇගයීමක්. සමහරවිට පොත නොකියවා චිත්‍රපටය බැලූ අයට සහ මුලින් චිත්‍රපටය බලා පසුව පොත කියවූ අයට පරිකල්පනය සහ ප්‍රාසාංගික අත්දැකීම අතර වැඩි වෙනසක් නොදැනෙන්නට පුළුවන්.

මුල්වරට විජයබා කොල්ලය කියවනකොට මට වයස අවුරුදු 9යි. එදා ඉදන්ම හිතට වදදුන්න ප්‍රශ්නයක් වුණේ, බැරිවෙලාවත් නීලමණී රැවටුණානම් එහෙම කියන එක. මොකද නීලමණී ගන්නෙ ඉතාම භයානක තීරණයක්. තමා හොදින් දන්නා හඳුනන ඉතාම යහපත් තරුණයෙක් වන අසංග විවාහ කරගෙන සතුටුදායක ජීවිතයක් ගතකරන්න පුළුවන්කම තියෙද්දි නයනානන්ද වැනි චරපුරුෂයෙකුට හිත යාම නීලමණීගේ සමස්ථ ජීවිතය ලොකු අවදානමක දානව. මොකද හැබෑ ජීවිතයේ ඒ විදියට හදිසියේ ජීවිතයට කඩාගෙන එන බොහෝ නයනානන්දලා හරිම ඉක්මනින් ද ලසර්දා බවට රූපාන්තරණය වන නිසා. ඒ හරහා නීලමණීලාට නිකම්ම හමිදුම්මා බවට රූපාන්තරණය වෙන්න සිදුවන නිසා. ඒ යථාර්ථයේ තරම නඩත්තු නඩු දවසට අධිකරණ භූමියකට ආවොත් ඕනෑම කෙනෙකුට බලාගන්න පුළුවන්. නඩත්‍තු නඩුවක් දක්වා වු⁣ණත් එන්න වෙන්නෙ කසාද බැන්දොත්නෙ. නමුත් නයනානන්ද, නීලමණීගේ ජීවිතයට පිවිසෙන ආකාරයට ජීවිත වලට කඩාවදින බොහෝ දෙනා එක වරක් රොන් උරා පළා යන අය. එහෙම වුණානම් නීලමණීගේ තත්වය හමිදුම්මාටත් අන්ත වෙන්න තිබ්බා.

ඒ යථාර්ථය අසංගගේ ශ්‍රේෂ්ඨත්වය උද්දීපනය කිරීම සදහා ඩබ්ලිව්. ඒ. සිල්වා විසින් විජයබා කොල්ලයේදී හිතාමතාම හංගනවා.

නමුත් ඒ ඇත්ත ඕනවටත් වඩා හොදට ඔහුගේම "හිඟන කොල්ලා" නවකතාවේ නිරූපණය කරනවා. සල්ලිකාර කොල්ලෙකුගේ සෙල්ලක්කාර ග්‍රහණයට හසුවන අහිංසක ළමහාමි ඒ යථාර්ථයේ ප්‍රශස්ත සාහිත්‍යමය නිරූපණයක්.

හැබැයි ඔය කතා දෙකේදිම සැබෑ පෙම්වතාගේ ශ්‍රේෂ්ඨත්වය හිතාමතාම හෝ නොසිතා උත්කර්ෂයට නැගෙනවා. විජයබා කොල්ලයේදි අසංග මැරෙන්නෙ ශ්‍රේෂ්ඨ පෙම්වතෙක් විදියට. හිඟන කොල්ලා අවසානයේදි රාජ නීතිඥ සර් රාම්ලාල් ජගන්නාත්ගේ හෙවත් සර්දියෙලාගේ ශ්‍රේෂ්ඨත්වය උත්කර්ෂයට නැගෙනවා. නමුත් මේ දෙන්නාම පෙම්වතුන් විදියට පරාදයි. ඔවුන්ට තමන්ගෙ ප්‍රියාව හිමිවෙන්නෙ නෑ. නමුත් ඒ දෙකම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රේෂ්ඨ අවසානයන්.

ගොඩක් ලේඛකයන් විෂය කරගන්නෙ තමන්ගෙම ජීවන අත්දැකීම් බව කියනවා. ජීවන අත්දැකීම් හා සමගාමීව ලියවෙන ලියමන ළගන්නාසුළු බවෙන් ඉහළයි. ⁣විජයබා කොල්ලය සහ හිඟන කොල්ලා යන පොත් දෙකම ළගන්නාසුළු බව අතින් හිණිපෙත්තේ තියන පොත්. ඩබ්ලිව්. ඒ. සිල්වාගේ ඔය නව කතා දෙක පමණක් නොව තවත් බොහෝ නවකතා වල ඔය ශ්‍රේෂ්ඨ පෙම්වතාගේ චරිතය අනිවාර්ය ලක්ෂණයක්.

කවුද දන්නේ? ඩබ්ලිව්.ඒ. සිල්වාත් සැබෑ ජීවිතයේදී ශ්‍රේෂ්ඨ පෙම්වතෙක් වෙන්න ඇති සමහරවිට.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...