Wednesday, April 15, 2020

වාලම්පුරි අර්බුදය


කලකට ඉහත තිරගත වූ අමීර් ඛාන් රගන PK චිත්රපටයේ එක්තරා ජවනිකාවක මෙසේ සිදුවේ.

එම චිත්රපටය අනුව ඉන්දියාවේ ප්‍රසිද්ධ පූජකවරයකු වන තපස්වී හමුවීමට වයස්ගත පුද්ගලයෙකු පැමිණේ. ඔහුගේ බිරිද දැඩිලෙස අසනීප බව පවසන ඔහු තපස්වී වෙතින් පිහිටක් ඉල්ලා සිටියි. තපස්වී කියා සිටින්නේ හිමාලය ආසන්නයේ පිහිටි එක්තරා දෙවොලක් වෙත පා ගමනින් ගොස් යම් බාරයක් ඔප්පු කළ විට බිරිඳ සුව වනු ඇති බවයි. එහිදී හදිසියේ ඉදිරිපත් වන PK පෙරකී වයස්ගත තැනැත්තාට කියා සිටින්නේ ඔහු තපස්වී ප්‍රකාශ කරන බාරය ඔප්පු කළ විට බිරිඳ නිසැකවම සනීප වන බවට තපස්වී වෙතින් රිසිට් පතක් ලබාගන්නා ලෙසයි.

අප සියල්ලෝම පාහේ යම්තාක් දුරට එසේය. දේවවාදය හෝ අද්භූත ගුප්ත විද්‍යාව සපුරා ප්‍රතික්ෂේප කරන අයට පවා ඉතා අසරණ වූ අවස්ථා වල "අනේ දෙවියනේ" කියැවෙන්නේ නිතැතිනි. එබැවින් එය විශ්වාසය සම්බන්ධ කාරණයකි. අසරණ වූ අවස්ථා වලදී සහ තමන් සිදුකරන කටයුතු සාර්ථක කරගැනීමෙහිලා ධනාත්මක හැගීමක් සිතෙහි ඇතිකරගැනීම සදහා බොහෝ දෙනා එවන් ප්‍රතිකර්ම වලට යොමු වෙති. ඒවායේ ඇති විද්‍යාත්මක බව හෝ යථාර්ථවාදී බව වෙනම කතාකලයුතු කරුණකි. නමුත් පුද්ගලිකව ආගමික විශ්වාසය මත ඉටුකල යුතුයැයි කෙනෙකු කල්පනා කරන පිළිවෙත් ආදිය අනෙකෙකුට බාධාවක් නොවන සීමාව තුල ඉටුකිරීමට ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් තිබේ.

මේ දිනවල ව්‍යාජ වාලම්පුරි අලෙවි කළ අයෙකු අත්අඩංගුවට පත්වීම පිළිබදව ඉතා තදබල කතාබහක් සමාජයේ ඇතිවී තිබේ. "ව්‍යාජ වාලම්පුරි" කියූ පමණින් මාගේ මනසට පැමිණි ප්‍රශ්නය වූයේ "සැබෑ වාලම්පුරි" මොනවාද යන්නයි. ඒ පිළිබඳව පිළිගතහැකි නිර්වචනයක් ඇත්තේ කොහේද යන්න ප්‍රශ්නයකි. ඇතැම් කෙනෙකුට ස්වභාවිකව මුහුදෙන් ලබාගත් වාලම්පුරි සැබෑ වාලම්පුරි ලෙස තර්ක කළ හැකි වුවද, මෙහිදී ප්‍රශ්නගත ආගමික විශ්වාසය තුල සැබෑ වාලම්පුරි අනුව යමින් පැරිස් බදාමයෙන් නිපදවන ලද අනුරූ පවා ප්‍රමාණවත් බවට තර්කයක්ද ඉදිරිපත් විය හැකිය. එනම් මෙහිදී නීත්‍යානුකූලත්වය හා නීති විරෝධීත්වය අතර ඇති රේඛාව පැහැදිලි නැත.

යම් අයෙකුට යම් භාණ්ඩයක අනුරුවක් පැරිස් බදාමයෙන් තනා විකිණීමට කිසිදු නෛතික බාධාවක් නැත. එමෙන්ම කැමති කෙනෙකුට ඒවා මිළදී ගැනීමටද බාධාවක් නැත. ගැටලුව ඇත්තේ සැබෑ ලෙස මුහුදෙන් ලබාගත් වාලම්පුරියක් හෝ බෙල්ලෙකු හෝ හක් ගෙඩියක් ලෙස මවා පෙන්වා අනුරුවක් අලෙවි කළේනම් පමණි.

එය මිත්‍යාව නම් එය දුරු කළ යුත්තේ අවබෝධය තුලිනි. එසේ නොමැතිව හුදෙක් ව්‍යාජ වාලම්පුරි විකිණුවේයැයි කීම තුලින්ම සැබෑ ආශ්චර්යමත් වාලම්පුරි ඇත්තේය යනුවෙන් වූ මතයක්ද වක්‍රව සමාජගත වීම නොවැලැක්විය හැකිය. එවැනි පුද්ගලබද්ධ විශ්වාස මත පදනම් වූ කරුණකට නෛතික පිළිගැනීමක් ලැබීම යහපත් ප්‍රවණතාවයක් නොවේ.

මෙවන් අවස්ථා වල ගැණුම්කරුවන්ද බොහෝ ප්‍රවේශම් විය යුතුය. තමා යම් අයෙකුට මුදලක් ගෙවා යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිළදී ගන්නේ නම් එය මිළදී ගන්නේ කාගෙන්ද, ඔහු විශ්වාසවන්තද, පූර්ව කල්ක්‍රියාවන් කෙබදුද යනාදී කාරණා පිළිබඳව සැළකිලිමත් වීමේ වගකීමක් ගැණුම්කරුවන්ටද ඇත. එය වාලම්පුරි වැනි ඇදහිලි විශ්වාස මත පදනම් වූ නිෂ්පාදිත සදහාද එකසේ අදාළ වන්නේය.


No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...