Wednesday, April 15, 2020

උඩුගම්පොළ විරෝධය

2019.01.03

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උඩුගම්පොළගේ මරණය හා සමගාමීව විවිධ පුද්ගලබද්ධ මත බුකියේ පළවනවා දුටිමි. ඇතැම් ඒවා දැනුම උදෙසා share කළෙමි. නමුත් ඒ share කළ post වල තිබූ කරුණු මාගේ මතය බවට වැරදි වැ⁣ටහීමක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබදව කෙටි සටහනක් තබමි.

1948න් පසු රටේ ප්‍රධාන වශයෙන් කැරළි 3ක් ඇතිවිය. ඒ ජවිපෙ 71 කැරැල්ල, 88-89 කැරැල්ල සහ ඊළාම් යුද්ධයයි. ඉන් එක් කැරැල්ලක් රටේ කොටසක වෙනම රාජ්‍යයක් බිහිකිරීම සදහාද දෙකක් සමස්ථ රාජ්‍ය බලය ඇල්ලීම සදහාද විය. කැරළි සදහා පදනම් වෙනස් බවට තර්ක ඉදිරිපත් වුවද භීතිය පතුරුවා අරමුණු ඉටුකරගැනීමෙ ක්‍රමය හෙවත් ත්රස්තවාදය එම කැරළි තුනටම පොදු කරුණක් වූ බව පිළිගැනීමට සිදුවේ. ඒ ඒ කැරළි ඒ ඒ කාලවල පැවැති රජයන් විසින් මර්දනය කිරීමට ක්‍රියා කරන ලදී.

කැරළි මර්දනය කිරීමට රජයක් ක්‍රියා කිරීමේ කිසිදු වරදක් මම දකින්නේ නැත. යම් රජයකට "පාඩුවේ සිට කැරළිකරුවන්ට බලය අත්පත් කරගැනීමට ඉඩදීමට තිබුණි" වැනි හෝ ඊට සමාන නිගමන යෝජනා කෙරෙන තර්ක ඉදිරිපත් වුවද රජයක් කැරැල්ලක් මර්දනය නොකළ යුත්තේය යන්න පිළිගතහැකි තර්කයක් නොවේ.

වරද ඇත්තේ කැරැල්ල මර්දනය කිරීමට යොදාගන්නා උපාය උපක්‍රම වලය. නීතියක් පවත්නා රටක් වශයෙන් නීතියේ රාමුව තුල සිටිමින් කැරැලි මර්දනයට අවශ්‍ය පියවර ගතයුතුව තිබුණද එම සීමාව ඉක්මවා ගොස් ත්රස්තවාදයට ත්රස්තවාදයෙන් පිළිතුරු දෙන්නට යාම ඉහත කී කැරළි තුනේදීම රජයන් කළ වරදකි. එය අසවල් කැරැල්ලේදී කමක් නැති බවත්, අසවල් එකේදී එසේ කිරීම පමණක් වැරදි බවත් කීම හුදු පුද්ගල වාසිය මත පදනම් වූ ප්‍රකාශයක් පමණි. උදාහරණයක් ලෙස ඕනෑම කැරළි මර්දන ක්‍රියාදාමයකදී හෝ යුද්ධයකදී සන්නද්ධ කැරළිකරුවන් යුධබිමේදී. මරාදැමීම කිසිවෙක් අභියෝගයට ලක්කරන්නේ නැත. නමුත් ජීවග්‍රහයෙන් පැහැරගෙන යාම, අත්අඩංගුවට පත්වූ පසු අධිකරණයට ඉදිරිපත් නොකිරීම, දින ගණන් මාස ගණන් රදවාගෙන වධ හිංසාවට ලක්කිරීම, රදවාගෙන කප්පම් ඉල්ලීම, අත්අඩංගුවේදී ඝාතනය කිරීම, අතුරුදන් කිරීම, ලිංගික වදහිංසා පැමිණවීම යනාදී මෙකී නොකී කාරණා කුමන තත්වයක් යටතේ වුවද සාධාරණීකරණය කළ නොහැක. ඒවා කවුරුන් සිදුකළද වැරදිය. ත්රස්තවාදී සංවිධානයක් එසේ කරන නිසා ඊට පිළිතුරු ලෙසයැයි කියමින් හෝ ඒවා සිදුකළ නොහැක.

එබැවින් යමෙකු කුරිරු පරපීඩාකාමිත්වයට විරුද්ධ වන්නේ නම් විරුද්ධ විය යුත්තේ එවැනි පුළුල් පදනමකින් මිස තෝරාගත් එක එක්කෙනාට වච්චිල් දෙමින් නොවේ. නමුත් ඉහත කී කැරළි තුනේදීම, රජයන් විසින් ක්‍රියාත්මක කරන ලද මර්දන ක්‍රියාදාම තුල ඉහතකී කාරණා අන්තර්ගතව තිබුණි. ඒවා සදහා කැරළි තුනටම පොදුවේ ඒකමතික විරෝධයක් ඉදිරිපත් කලෝ අතලොස්සක් පමණක් විය.

මාගේ මතය අනුව කෲරත්වයට විරුද්ධ වන්නාට උඩුගම්පොළගේ සහ සුනිල් රත්නායකගේ වෙනසක් පෙනිය නොහැකි අතර ඔවුන් දෙදෙනාගෙන්ම, නිරෝ, හසලක ගාමිණී, ඩෙන්සිල් කොබ්බෑකඩුව, ෆස්ලි ලෆීර්, කමල් ගුණරත්න ආදීන් වෙනස් වන්නේ කෙසේදැයි මනාව අවබෝධ විය යුතුය. නමුත් එය අවබෝධ කරගන්නෝ තබා අවබෝධ කරගැනීමට උත්සාහ දරන්නෝද අතලොස්සකි.

එයට හේතුව අතිමහත් බහුතරයක් ඒ දෙස පුද්ගලබද්ධ දෘෂ්ටිකෝණයෙන් පමණක් බැලීම වේ. මතවාදීව විරුද්ධ වුවද අනෙකාටද රිදීම, සිත් වේදනාව, ආදරය, තරහව, වෛරය, අපේක්ෂා භංගත්වය වැනි හැගීම් ඇති බවත් එම හැගීම් සිත්තුල දැරීමට සියල්ලන්ට සීමානොහැකි අයිතියක් ඇති බවත් වටහා ගැනීමට එකී පුද්ගලබද්ධ දෘෂ්ටිය මහත් බාධාවකි.

මම මළ මිනිස්සුන්ට අපහාස කරන්නේ නැත. මිනිසෙකුගේ මරණයක් සන්තෝෂයට කාරණයක් කරගැනීමට තරම් කුරිරු සිතක්ද මට නැත. උඩුගම්පොළ මා පුද්ගලිකව අදුනන්නේද නැත. එබැවින් ඔහුගේ මරණය පිළිබඳව මා හට ඇත්තේ උදාසීන හැගීමක් පමණි. නමුත් ඒ මළමිනිසා පිටුදැකීමට සුජාත අයිතියක් ඇත්තේ කෲරත්වයට භේදයකින් තොරව පොදුවේ විරුද්ධ වන සැබෑලෙසම මනුෂ්‍යත්වය අගයන්නන්ට පමණක් බව අවධාරණය කරමි. තමාගේ එකාට හානියක් වනවිට පමණක් රෙද්ද උස්සාගෙන එන, අනෙකාට හානි වන විට නෑසුකන්ව සිටින හෝ හුරේ දමන භාග මිනිසුන්ට ඒ අයිතිය නැත.

ඒ පිළිබඳව විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉනිමංකඩ මහතා පහත පරිදි ලියා තිබෙනු දැක මමද එය share කළෙමි:-

"අර හැටදාහ දෙමළ වුණානම් අරය යන්නෙ ආචාර වෙඩිමුර මැද"

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...