Tuesday, April 14, 2020

දරුකමට හදා ගැනීම

දරුකමට හදාගැනීම යනු වෙනත් පියෙකුට දාව වෙනත් මවකට උපත ලද දරුවෙකු තවත් මවක් සහ පියෙක් තමන්ගේ දරුවකු මෙන් හදාවඩාගැනීමයි. අතීතයේදී මෙය ඉතා සරළ ක්‍රියාදාමයක් වුවද වර්තමානය වන විට එය අධිකරණය හරහා ක්‍රියාත්මක කරගතයුතු, මදක් සංකීර්ණ සහ අපහසු කටයුත්තක් බවට පත්වී තිබේ.

දරුවන් දරුකමට හදාගැනීමේ මුවාවෙන් සිදුවන මිනිස් ජාවාරම් සහ ශරීර අවයව වෙළදාමට වැ⁣ට බැදීම, දරුකමට හදාගත් දරුවන් එසේ හදාගනු ලබන පුද්ගලයන් විසින් හිටි හැටියේ අතහැර දමනු ලැබීමෙන් දරුවන් යන එන මං නොමැති අනාථ භාවයකට පත්වීම වැලැක්වීම යනාදී හේතු ගණනාවක් මේ ආකාරයට එම ක්‍රියාවලිය සංකීර්ණ සහ අපහසු එකක් බවට පත්කිරීමට හේතු වී තිබේ.

එහිදී දරුවාගේ ස්වභාවික මවගේ කැමැත්ත, දරුවාව දරුකමට ගන්නා දෙමාපියන්ගේ වයස, කල්ක්‍රියාව, ආර්ථික හැකියාව වැනි කරුණු මෙන්ම ඇතැම් අවස්ථා වලදී දරුවා දරුකමට ගන්නා අවස්ථාවේදී දරුවා වෙනුවෙන් යම් දේපලක් පැවරීම වැනි විවිධ කරුණු අධිකරණයක් විසින් සළකා බලනු ඇත.

මෙය ප්‍රධාන කොටස් දෙකකින් හදුනා ගතහැකි වේ.

1. උප්පැනන සහතිකයක් නොමැති දරුවෙකු දරුකමට හදාගැනීම
දරුවකු ලැබුණු විට එම දරුවා සම්බන්ධව රෝහලෙන් නිකුත් කරන උපත් විස්තර පත්රිකාව නිකුත් කරන්නේ අදාළ රෝහලේ රෝගියෙකු වශයෙන් ලියාපදිංචි වී ඇති දරුවාගේ ස්වභාවික මවගේ නමට වේ. එම නමටම උප්පැන්න සහතිකය ලබාගැනීම බොහෝවිට අදාළ රෝහලේම පිහිටි උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ කාර්යාලය හරහා පැයක පමණ කාලයක් තුලදී සිදුකරගත හැකි වේ.

නමුත් වෙනත් යුවළක් විසින් දරුවා දරුකමට හදාගනු ලබන්නේ නම් ඒ සදහා අදාළ ප්‍රදේශයේ දිසා අධිකරණයේ කුලවද්දාගැනීමේ නඩුවක් පැවරිය යුතු වේ. මෙහිදී දරුවා ලබාගැනීමට අපේක්ෂා කරන යුවල පෙත්සම්කරුවන් වශයෙන් ඉදිරිපත් වෙමින් පළමු වගඋත්තරකරු ලෙස දරුවාද, දෙවන වගඋත්තරකරු ලෙස දරුවාගේ ස්වභාවික මවද, තුන්වන සහ හතරවන වගඋත්තරකරුවන් ලෙස පිළිවෙලින් පරිවාස දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාද රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාද නම් කිරීම සිදුවේ. මෙහිදී උප්පැන්න සහතිකයක් නොමැති හේතුවෙන් දරුවා නමක් ඇත්තෙකු ලෙස නොසළකන බැවින් ඔහු අදාළ නඩුවට ඉදිරිපත් කරන්නේ "නමක් නොමැති දරුවා" යන ශීර්ෂය යටතේ වේ.

මෙහිදී දරුවා ලබාදීමට දරුවාගේ ස්වභාවික මවගේ විරෝධතාවයක් නොමැති බව තහවුරු කළ විට පරිවාස වාර්තා කැදවා විමසීමක් පැවැත්වීමෙන් පසු අදාළ කුලවද්දාගැනීමට අවසරදීම දරුවාගේ උපරිම යහපතට හේතුවන බවත් ඉදිරිපත් කරුණු යුක්ති සහගත බවත් අධිකරණයට හැගී යන්නේ නම් නව දෙමාපියන්ගේ දරුවකු ලෙස උප්පැන්න සහතිකයක් නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරනු ලැබේ.

2. උප්පැන්න සහතිකයක් ඇති දරුවෙකු දරුකමට හදාගැනීම

මෙහිදී දරුවා නමින් සදහන් කිරීමට අවස්ථාව ලැබේ. කාර්ය පටිපාටිය බොහෝදුරට එක හා සමාන එකකි.

නමුත් ඇතැම් අවස්ථා වල නමක් නොමැති පුද්ගලයෙකුට අධිකරණය ඉදිරියේ පෙනී සිටිය නොහැක්කේය යන පදනම මත දරුවා ස්වභාවික මවගේ නමින් ලබාගත් උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරෙන අවස්ථාද ඇත.

බොහෝවිට ප්‍රායෝගිකව සිදුවන්නේ දරුවා බිහිවූ අවස්ථාවේදීම හදාගැනීමට භාරගන්නා දෙමාපියන්ට භාරදී නඩු කටයුතු පසුව අවසන් කරගැනීමය. එහිදී දරුවාගේ ස්වභාවික මවගේ නීතිඥ ගාස්තු පවා පෙත්සම්කරුවන් විසින් ගෙවීම බොහෝ අවස්ථා වල දැකිය හැකිවේ.
මෙම නිල ක්‍රියාමාර්ගය හරහා දරුවෙකු කුලවද්දාගැනීමට සැළකියයුතු කාලයක්, මුදලක් සහ වෙහෙසක් දැරිය යුතු හෙයින් ඒ සදහා එළැඹෙන්නේ සැබැවින්ම දරුවකු කුලවද්දාගැනීමේ අපේක්ෂාව ඇති අය පමණි. එය යහපත් ප්‍රවණතාවයකි.

නමුත් ඒ සදහා අදාළ කැපකිරීම් සිදුකිරීමට අපහසු අය ඒ සදහා විවිධවූ නීතියෙන් පිට උපක්‍රම භාවිතා කරනු දැකිය හැකිවේ.

එකක් නම් දරුවාගේ ස්වභාවික මව, දරුවා හදාගැනීමට අපේක්ෂිත මවගේ නමින් රෝහලේ ලියාපදිංචි කිරීමයි. එවිට උපත් විස්තර පත්රිකාවේ ඇතුලත් වන්නේ ස්වභාවික මවගේ නම නොව හදාගන්නා මවගේ නමයි. උප්පැන්න සහතිකය ලියාපදිංචි කිරීමේදී මව කවුද පියා කවුද යන්න භෞතික වශයෙන් පරික්ෂා කිරීමක් නොකෙරෙන බැවින් නීතිවිරෝධී ලෙස වුවද හදාවඩාගන්නා දෙමාපියන්ගේ නමින් පැයකදී උප්පැන්න සහතිකය ලබාගෙන ප්‍රශ්නය එතැනින් අවසන් කරදැමිය හැකිය.

තවත් ක්‍රමයක් වන්නේ මාතෘ වාට්ටුවේ වෛද්‍යවරයෙකු හෝ හෙදියක සමග යම් අවබෝධාත්මක එකගතාවයකට පැමිණ උපත් විස්තර පත්රිකාවේ නම වෙනස් කරගැනීමය.

මෙය නීති විරෝධී ක්‍රියාවක් වුවද රට පුරා සෑම ස්ථානයකම පාහේ බහුලව සිදුවන බව පරික්ෂාකාරීව බැලූ විට පෙනී යයි.

සමාජ අවශ්‍යතාවයකට නීතියෙන් ප්‍රතිපාදන සළසා නොමැති විටෙකදී සහ සළසා ඇති ප්‍රතිපාදන අසීරු හා අපහසු ඒවා වන විට සමාජය ඒ සදහා නීතියෙන් පිට විකල්ප සෙවීම නිතැතින්ම සිදුවනු ඇත.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...