ලෝක ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමක්
සනිටුහන් කළා වූ සිදුවීමක් වශයෙන් දෙවැනි ලෝක සංග‍්‍රාමයද ඒ හා බැදුණු දස
ලක්ෂ සංඛ්‍යාත ජන සංහාරයන්ද සැළකිය හැකි වන්නේය. කෙසේ වෙතත් මෙම සංග‍්‍රාමය
අතරවාරයේදී ජාතියක් වශයෙන් වැඩිවශයෙන්ම හිරහැරයට ලක්වූවෝ යුදෙව් ජාතිකයෝය.
ජර්මනියේ මිනීමරු නට්සිවාදීන්ගේ ඝාතක බලඇණිය වන එස්.එස් සේනාංකය විසින්
පෝලන්තයේ පවත්වාගෙන ගිය කුප‍්‍රකට ඝාතක කදවුරක් පිළිබද කියැවෙන මනුශ්‍යත්වය
යළි යළිත් ප‍්‍රශ්න කැරෙන සංවේදී කතාන්තරයයි අවුෂ්විට්ස් ඝාතක කදවුර.
මෙම කෘතියට පෙරවදනක් සපයමින් එහි පරිවර්තක ගාමිණී වියන්ගොඩ මෙසේ පවසයි.
”ඇඩොල්ෆ්
හිට්ලර් පැමිණි අවසාන විනිශ්චය වුණේ ලෝකයේ ජනතාව ආර්ය (උසස්) සහ අනාර්ය
(පහත්) වශයෙන් වෙගකට බෙදෙන බවයි. මුළු ලෝකයම කෙසේ වෙතත් අඩු වශයෙන්
යුරෝපයවත් අනාර්ය ජනතාවගෙන් නිදහස් කරගත යුතු බව ඔහු ඇදහීය. යුරෝපීය සමාජ
ක‍්‍රමය තුල අනාර්යයන් වශයෙන් වැඩි වශයෙන්ම සැළකුණේ යුදෙව්වන්ය. ආර්යයන්ගේ
යුරෝපයක් බිහිකිරීමේ සිහිනය දුටු හිට්ලර් සහ ඔහුගේ නට්සිවාදී පක්ෂය ඒ සදහා
අවසන් විසදුමක් යෝජනා කොට එම සැළැස්ම ක‍්‍රියාවට නැංවීය. එය ‘හොලෝකෝස්තය’
හෙවත් මහා මිනිස් සමූල ඝාතනය ලෙස හැදින්වෙයි. ලෝක යුද්ධයට කිසි සම්බන්දයක්
නැති හැට ලක්ෂයකට අධික යුදෙව් ජාතික අසරණ ගැහැණුන්, මිනිසුන් සහ ළමුත්
එහිදී ඝාතනය කෙරුණි.”
ඉහත දක්වන ලද
පරිදි අනාර්යයින්ගෙන් යුරෝපය නිදහස් කරගැනීම උදෙසා වන අරගලය වශයෙන් මෙම
මහා මනුශ්‍ය ඝාතනය සුජාතකරණයට ලක්කිරීමට නට්සිවාදීන් නිරන්තරයෙන් උත්සාහ
දැරූ ආකාරය මේ සම්බන්දයෙන් පසුකාලීනව ඇතිවූ මතවාදයන් අධ්‍යනය කිරීමේදී
පැහැදිලි වේ. යුරෝපයේ සුඛිත මුදිත දිවියක් ගෙවනු ලැබුවෝ යුදෙව්වන් වශයෙනුත්
ඔවුන් එම සුඛිත දිවිය ළගා කරගත්තේ අන්‍ය ජාතීන් තලා පෙලා වන බැවින් ඔවුන්
වැඩ නොකර කන අදින ජාතියක් වශයෙන් අප‍්‍රසාදයට පත්වී තිබූ අතර පළමු ලෝක මහා
සංග‍්‍රාමය හා සමගාමී ජර්මානු හා අනෙකුත් යුරෝපීය යුදෙව්වන්ගේ හැසිරීම්
රටාවන් ජර්මනියේ පරාජයට මූලික හේතුව යුදෙව්වන් වශයෙනුත් මතයක් ජර්මන් ජනතාව
තුල නිර්මාණය කිරීමට නට්සිවාදීහු සමත්වූහ.
ක‍්‍රිස්තියානුවන්ගේ
ලේ ඉල්ලන්නෝ සහ ඒ ලෙය මත වර්ධනය වන්නෝ යුදෙව්වෝ බව එක් නට්සිවාදියෙක් වරක්
අධික ද්වේශයෙන් පවසා ඇත. සත්‍ය වශයෙන්ම යුදෙව්වන් යුරෝපා වෙළද ලෝකය දිග්
විජය කළ බවත් ඒ හරහා ඔවුන් අනෙකුත් වැසියන්ට සාපේක්ෂව යම් මට්ටමකින් ආර්ථික
වෘද්ධියක් අත්කරගත් බවත් අසත්‍යයක් නොවේ. ප‍්‍රධාන වශයෙන් සමාජයේ ලේ උරා
බොන වෘත්තියක් ලෙස මුල්බැසගෙන ඇති මුදල් පොළියට දීම යුදෙව්වන්ගේ ප‍්‍රධාන
ජීවනෝපාය වූ අතර ඒ හරහා අතිවිශාල ධනස්කන්ධයක් අත්පත් කරගැනීමටද ඔවුන්
සමත්වී තිබුණි. කෙසේ වෙතත් 19 වැනි සියවසින් පසු මුදල් පොළියට දීම පමණක්
නොව අනෙකුත් ලොව පිළිගත් වෙළද ව්‍යාපාරයන්ටද, වෘත්තීන්ටද යුදෙව්වන්
ප‍්‍රවිශ්ඨ වූ අතර වැඩි ආරම්භක ප‍්‍රාග්ධන ශක්තියක් තිබුණාහු ඔවුන් නිසා
එයින්ද වැඩි වාසි අත්කරගත්තෝ යුදෙව්වන්ය. මේ නිසා ඕනෑම සමාජයක දක්නට ලැබෙන
පරිදි වරප‍්‍රසාද ලාභී ජන කොටසක් වශයෙන් සමාජයේ බහුතරයකගේ ස්වභාවික
අප‍්‍රසාදයට ලක්වීමට යුදෙව්වන්ට සිදුවිණ. මෙහිදී යුදෙව්වන් විසින් තම
ව්‍යාපාරයන් හා වෘත්තීන් තුල සිදුකරන ලද යම් යම් විෂමාචාර ක‍්‍රියාවන්
තිබුණද එම විෂමාචාරයන් සමාජයක ඇතිහැකි ධනවත් පැලැන්තියට ආවේණික විෂමාචාරයන්
වශයෙන් මිස යුදෙව් විෂමාචාර ලෙස හුවාදක්වා ඔවුන්ට වෛර කිරීම සදහා එය
හේතුවක් වශයෙන් යොදාගැනීම ‘කන්නට වුවමනා වූ කල කබරගොයාද තලගොයා වීම’ වැනි
උත්ප‍්‍රාසජනක සිදුවීමක් බව මාගේ හැගීමයි.
මීට
අමතරව පශ්චාත් යුධකාලීන ජර්මානු නව ආණ්ඩුවේ විදේශ ඇමති වරයා වශයෙන් පත්වූ
යුදෙව් ජාතික වෝල්තර් රතෙනෝ ගේ ක‍්‍රියාකළාපය නිරන්තරයෙන් හෙළා දුටු
නට්සිවාදීහු පළමු ලෝ්ක සංග‍්‍රාමයේදී ජර්මන් ජාතිය මාතෘ භූමිය වෙනුවෙනු
යුධවැදී ජීවිතය පූජා කරමින් සිටියදී යුදෙව්වන් ඔවුන්ගේ ආරක්ෂාව යටතේ
සැපපහසු දිවියක් ගෙවූ බවට සාවද්‍ය වූ තර්කයක්ද ගොඩනගන ලදී. නමුත් සත්‍ය
තත්වය නම් ජර්මන් ජාතිකයන් හා සමානවම ජර්මන් යුදෙව්වන්ද පළමු ලෝක
යුද්ධයෙදිී ජර්මනිය වෙනුවෙන් යුධ වැදුණු බවයි.
දෙවන
ලෝක යුද්ධය ආරම්භ කිරීමේන් පසු ජර්මානු අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීම් තරම්ම
වැදගත් අරමුණක් වශයෙන් යුරෝපයෙන් යුදෙව්වන් තුරන් කර දැමීමද සැළකුණු බවට
සාක්ෂි ඕනෑ තරම් හමුවේ. උදාහරණ වශයෙන් මෙම යුධ සමය තුලදී ජර්මන්
අධිරාජ්‍යය සමග දුස්සන්ධානයන්ට එළඹුණාවූ රාජ්‍යයන් වෙතින් මෙම පොතේ විස්තර
කෙරෙන අවුෂ්විට්ස් ඝාතක කදවුර වෙත ප‍්‍රවාහණය කැරුණු යුදෙව්වන් සංඛ්‍යාවන්
දැක්විය හැකිය.
හංගේරියාවෙන් 438000
පෝලන්තයෙන් 300000
ප‍්‍රංශයෙන් 69114
නෙදර්ලන්තයෙන් 60085
ග‍්‍රීසියෙන් 55000
චෙකෝස්ලොවැකියාවෙන් 46099
ස්ලෝවැකියාවෙන් 26661
බෙල්ජියමෙන් 24906
ඕස්ටි‍්‍රයාවෙන් 23000
යුගෝස්ලාවියාවෙන් 10000
ඉතාලියෙන් 7422
මේ අනුව ජර්මනිය යම්කිසි
රාජ්‍යයක් තම ඊනියා අධිරාජ්‍යයට බලහත්කාරයෙන් ඈදාගත්විට හෝ යම් රාජ්‍යයක්
සමග දුස්සන්ධානයකට එළඹුණු විට ප‍්‍රථමයෙන් කරන රාජකාරිය එම රටේ යුදෙව්වන්
අරභයා සීමාකාරී නීති පනවා ඔවුන්ගේ දේපල ආදිය පැහැරගැනීමයි. නිවාස වලින්
පිටමං කරනලදුව ඔවුන් යුදෙව් ගුබ්බෑයම් ලෙස හැදින්වෙන තාවකාලික ජනපද වෙත
ගාල්කිරීම ඉන්පසු සිදුවේ. එතැනින් පසු ක‍්‍රමක‍්‍රමයේ ගුබ්බෑයම් වලින්
යුදෙව්වන් කණ්ඩායම් වශයෙන් වහල් කදවුරු හා ඝාතක කදවුරු වෙත ප‍්‍රවාහනය
කිරීම සිදුවිය.
මෙහිදී මෙම කදවුරු
වලදී මෙම පුද්ගලයන් විවිධ පදනම් මත වර්ග කෙරේ. මෙහිදී සළකා බලන්නාවූ
වැදගත්ම නිර්ණායකය වන්නේ මෙම යුදෙව්වන්ගේ සහ අනෙකුත් සිරකරුවන්ගේ
උපයෝජනතාත්මක බවයි. එනම් වැඩගත හැක්කේ කාගෙන්ද නොහැක්කේ කාගෙන්ද යන කාරණය
තීරණය කිරීම මෙහිදී සිදුවිය. එම තීරණය ගැනීම සදහා යොදාගනු ලැබුවේ
වෛද්‍යවරුන් වන අතර ලෝක ඉතිහාසයේ උත්තරීතරම වෘත්තිවයක ගෞරවය හෑල්ලූවට ලක්වූ
අවස්ථාවක් ලෙසද මෙය හැදින්විය හැකිය. කෙසේ වෙතත් අදාළ කාර්යයට සහභාගි වූ
වෛද්‍යවරු එසේ සිතූ බවක් නොපෙනේ.
”මිනිස්
ජීවිතය ගැන තියෙව ගෞරවය නිසා මං කරන්නේ රෝගී උණ්ඩුකපුච්චයක් මිනිස් ඇගක
තිබුණොත් ඒක ශරීරයෙන් ඉවත් කරන එක. යුදෙව්වා කියන්නේ මනුස්ස සංහතිය කියන
ශරීරයේ ලියලපු රෝගී උණ්ඩුකපුච්චයක්.” එස්. එස් වෛද්‍යවරයෙකු වූ ෆි‍්‍රට්ස්
ක්ලෙයින් කළ මෙම ප‍්‍රකාශයෙන් ඔවුන් කෙතරම් සාර්ථක ලෙස හා විශ්වසනීයත්වයෙන්
යුතුව තමන්ගේ මිනීමරු ක‍්‍රියාවලිය සාධාරණීකරණය කලාද යන කාරණය පිළිබදව මනා
වැටහීමක් ලද හැකිය.
වර්ග කිරීම
අවසානයේ ශ‍්‍රමය සූරාකෑමේ ව්‍යාපෘතිය සදහා යෙදැවිය හැකි පිරිස් වහල් කදවුරු
වෙතට යොමු කෙරෙන අතර අනෙක් පුද්ගලයන් වහාම ඝාතනය කිරීම හරහා ‘මහ පොළවේ බර
සැහැල්ලූ’ කරන ලදී.
මුල් කාලීනව
මෙම ඝාතනයන් සදහා යොදාගන්නා ලද්දේ වෙඩිතැබීම වැනි ක‍්‍රමවේදයන් වුවත් ඒ
හරහා සිදුවන අගතීන් විශාල බව ජර්මන් බලධාරීන්ට ඉක්මනින් අවබෝධ විය. මෙම
යුදෙව්වන් තමන්ගේ දේපල වලින් රන් ආභරණ වැනි වටිනා දෑ නිරතුරුවම ඇදුම්වල
සගවාගෙන සිටිනු දක්නා ලදී. වෙඩි තැබීම මගින් මරාදැමූ විට මේවා ඉවත්
කරගැනීමේ දැඩි අපහසුතාවයක් ඇතිවීම නිසා විශාල ආර්ථික අලාභයක් ජර්මානුන්ට
අත්වීම නොවැලැක්වියහැකි විය. ඊට අමතරව වෙඩි තබා ඝාතනය කිරීමේදී අධික ලෙස
රුධිරය වහනය වීම නිසා ඝාතනයට යොදාගන්නා පරිසරය අපවිත‍්‍රවීමද විවිධ ශාරීරික
කොටස් පිරිසිදු කලද ඉවත් නොවීම වැනි භෞතික කාරණා මෙන්ම එම ඝාතනයට සහභාගි
වන්නන්ට ඇතිවන මානසික අගතිදායක තත්වයද මෙහිදී සැළකිල්ලට ගන්නා ලදී. මේ නිසා
මහා පරිමාණයෙන් ඝාතනය සිදුකළහැකි, ක‍්‍රමානුකූලව හා පිරිසිදුව එය
සිදුකළහැකි වෘත්තීයමය ඝාතන කම්හල් විශේෂයක් සුවිශේෂී ඝාතන ක‍්‍රමවේදයක්
ඇතුලත් කොට පිළියෙල කිරීමට ජර්මානුන් සමත් වූහ. මෙම ඝාතන ක‍්‍රමය නම් විෂ
වායු යොදාගෙන ඝාතනය කිරීමේ ක‍්‍රමයයි. මුල් කාලීනව මේ සදහා කාබන්
මොනොක්සයිඞ් වායුව යොදාගනු ලැබූ අතර පසුකාලීනව සයික්ලෝන් බී වායුව
යොදාගන්නා ලදී. මේ හරහා ඝාතකයන්ට අවම මානසික විෂාධියක් උරුම කරන, කෙටි
වේලාවකින් ලේ වැගිරීම් ආදියෙන් පරිසරය අපවිත‍්‍ර වීම් වලින් තොරව උපරිම
පිරිසක් ඝාතනය කිරීමේ හැකියාව නට්සිවාදීන්ට ලැබුණි. මේ ආසන්නයේම එකවර මළ
සිරුරු විශාල ප‍්‍රමාණයක් දැවිය හැකි මහා පරිමාණ උදුන් සහිත ආදාහනාගාර
පැවති බැවින් ඉතා ඉක්මනින් මළ සිරුරු දවා සාක්ෂි විනාශ කිරීමටද හැකියාව
ලැබුණි. මෙම පොතේ විස්තර වන අවුෂ්විට්ස් ඝාතක කදවුර උපරිම කාර්යක්ෂමතාවයෙන්
ක‍්‍රියාත්මක වන සමයේ එහිදී දිනකට මිනිසුන් 11000ක් පමණ ඝාතනය කිරීමේ
හැකියාව තිබු බව කියැවේ.
මෙහිදී
මෙම කදවුරු කරා සිරකරුවන් ප‍්‍රවාහනය කෙරෙනුයේ දුම්රිය මගිනි. දුම්රිය
වේදිකාවේදීම වැඩ කළ හැකි පිරිස වෙන්කර වහල් කදවුර කරා පිටත් කිරීමෙන් පසුව
ඉතිරි පිරිස බැරැුක්ක ගත කිරීමට කියා කැදවාගෙන යනු ලබයි. එහිදී එම
පුද්ගලයන්ගේ ශරීර වල තිබිය හැකි විෂබීජ නිසා කදවුරට වසංගත රෝග බෝ විය හැකි
බැවින් ඔවුන් කදවුරට ඇතුලත් කර ගැනීමට පෙර විෂබීජ නාශක ස්නානයක් සිදුකළ
යුතු බව ඔවුන්ට ඉතා මිත‍්‍රශීලී හා ආචාරශීලී ලෙස දැනුම්දෙනු ලැබේ. ඒ සදහා
සියලූ ඇදුම් ඉවත් කරන ලෙසත් ඒවා පිළිවෙලකට නමා තබන ලෙසත් තැබූ තැන හොදින්
මතක තබාගන්නා ලෙසත් ඔවුන්ට දන්වන්නේ කිසිදු සැකයක් ඇති නොවන පරිදිය. ඒ අනුව
ඇදුම් සහ අවසාන මොහොතේ මේ මිනිසුන් සගවාගෙන සිටින වටිනා දෑ අත්පත්
කරගැනීමේ ක‍්‍රියාවලියෙන් භාගයක්ම ඔවුන් නොදැනුවත්ව ඔවුන්ගේ සහයෝගයෙන්ම
ඉටුකරවාගැනීමට නට්සිවාදීන්ට හැකියාව ලැබුණි.
සම්පූර්ණයෙන්ම
නිරුවත් කරන ලදුව ඔවුන් ඉන්පසු විශේෂිත හා සුන්දර පෙනුමක් සහිත, වටේට මල්
වවා ඇති ක‍්‍රමානුකූල මැදිරියකට ඇතුල් කරනු ලබයි. දොර වැසීමෙන් පසු
බලාපොරොත්තු වූ විෂබීජ නාශක දියරය වෙනුවට ඇතුල් කරනු ලබන්නේ සයික්ලෝන් බී
වායුවයි. ලේ හැලීමකින් හෝ විරෝධයකින් තොරව ඉතා පහසුවෙන් අහිංසක මිනිසුන්
රාශියක් ඝාතනය කිරීමට මේ ක‍්‍රමය යටතේ හැකිවිය. ඉන්පසු මළ මිනී ආදාහනාගාරයට
දමා දවාලීම සහ මේ පිළිබද සළකුණකුදු ඉතිරි නොවන පරිදි අදාළ ගෑස් කාමර
පිරිසිදු කිරීම සිදුකරන්නේ මීළගට පැමිණෙන කණ්ඩායමටද කිසිම සැකයක් ඇති නොවනු
සදහාය.
අවුෂ්විට්ස් ඝාතක කදවුර
කෘතියෙන් ප‍්‍රධාන වශයෙන් විස්තර කරනු ලබන්නේ නට්සිවාදීන්ගේ ඉහත සදහන්
ඊනියා ශුද්ධවන්ත ලේ විරහිත ඝාතන ක‍්‍රමවේදය හා ඒ හා බැදුණු සිදුවීම්ය. ඊට
අමතරව වඩා පුළුල් පරාසයක විහිදුණු කදවුරක් වන අවුෂ්විට්ස්හි වහල් මෙහෙයන්
පිළිබදවද එහි සිදුවූ අනෙකුත් අති අමානුශික සිදුවීම්ද විස්තර කිරීමට ලෝරන්ස්
රීස් අමතක කර නැත. අවුෂ්විට්ස් වලට අමතරව නට්සිවාදී ආධිපත්‍යය යටතේ
ක‍්‍රියාත්මක වූ අනෙකුත් ඝාතක කදවුරු පිළිබද දළ විග‍්‍රහයක්ද මෙහිදී සිදුකර
ඇත.
1945 දෙවැනි ලෝක යුද්ධයෙන්
මිත‍්‍ර පාර්ශවය ජයග‍්‍රහණය කළ පසු සියළු අගතීන් අවසන් විණැයි වින්ධිතයන්ට
සිත් සනහා ගැනීමට හැකියාවක් නොලැබුණේ මන්ද යන කාරණයක් රීස් මෙහිදී විස්තර
කරයි. රීස් ප‍්‍රකාශ කරන පරිදි ඩෙන්මාර්කය හැරුණු විට අනෙක් රටවල
යුදෙව්වන්ට පශ්චාත් යුධ වාතාවරණය යටතේ සළකා ඇති ආකාරයත් ඉතාම නින්දිත
වන්නේය. නැගෙනහිර යුරෝපා රටවල ඇතිවූ දේශපාලනික වෙනසත් සමගම සියළු සම්පත්
ජනසතු කිරීම හා සෝවියට් පදිංචිකරුවන්ට ඒවා ලබාදීම සිදුවූ බව රීස් දක්වයි. ඒ
අනුව සිරගතව සිට ඔබ ගෙදර යන විට ඔබේ නිවසේ කවුදෝ පදිංචිව සිටින ආකාරයත්
ඔහු නිවසෙන් පිටවී ආපසු නිවස ඔබට භාරදීම ප‍්‍රතික්ශේප කරන ආකාරයත් ඔබට
දැකිය හැකි වනු ඇත. මීට අමතරව රතු හමුදාව විසින් අවුෂ්විට්ස් අල්ලාගත් පසුව
ඒ සදහා දෙන ලද සෝවියට් නිර්වචනයද රීස්ගේ නිර්දය විවේචනයට ලක්වෙයි. මියගිය
සියළු දෙනා ෆැසිස්ට්වාදයට එරෙහිවීම තුල ෆැසිස්ට්වාදීන් විසින් විනාශකරන
ලද්දවුන් වැනි පටු ආස්ථානයකට ලඝු කිරීම අසාධාරණ වන්නේ කෙසේද යන ආකාරයද රීස්
විග‍්‍රහ කරයි.
ශෝචනීයම තත්වය
උදාවී ඇත්තේ සෝවියට් යුධ සිරකරුවන්ට බව රීස් කියයි. ඔවුන්ට එල්ලවන චෝදනාව
නම් මාතෘ භූමිය බේරාගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් සටන් නොකොට ජීවග‍්‍රහයෙන්
හසුවීමය. මේ සදහා චෝදනා ලබන, දිවි ගලවාගැනීමට සමත්වන සෝවියට් යුධ සිරකරුවන්
අතිමහත් බහුතරයට 1953දී ස්ටාලින් මියයන තුරුම සිරගතව සිටීමට සිදුවී ඇත.
මීට අමතරව මිනීමරු නට්සීන් පළවා හැර තමන්ව ගලවාගත් විමුක්තිකාමී හමුදාව
විසින්ම තමන් හිංසනයට ලක්කරන ආකාරය පිළිබද යුදෙව් ජාතික තරුණියන් කිහිප
දෙනෙකුගේම අත්දැකීම් අනුසාරයෙන් දැක්වීමට රීස් සමත් වී ඇත. මේ අනුව රතු
හමුදාවේ සොල්දාදුවන් විසින් මුදාගන්නා ලද යුදෙව් තරුණියන් දුෂණය කරන
අයුරුත් ඇතැම් විට මරා දමන අයුරුත් මෙහිදී විස්තර කර ඇත.
කෙසේ
වෙතත් මාගේ අවධානයට ලක්වූ කාරණාවක් වන්නේ ලෝරන්ස් රීස් මෙහිදී නට්සිවාදී
මිනීමරු ප‍්‍රතිපත්තිය යථාර්ථවාදී ආස්ථානයක සිටිමින් විවේචනය කර පසුව
පශ්චාත් යුධ වාතාවරණයේ සෝවියට් දේශයේ හැසිරීම විවේචනය කිරීමටද පෙළැඹී ඇති
බවයි. බටහිර යුරෝපීය මිත‍්‍රපාක්ෂික හමුදාවන්හි අඩුපාඩුවක් දෙකක් දක්වන
මුත් රතු හමුදාව වනාහි නට්සිවාදීන් තරම්ම නිර්දය වූද අමානුශික වූද හමුදාවක්
වශයෙන් හුවාදැක්වීමට රීස් උත්සාහ කර ඇත්තේ සැබෑ තත්වය එයම බැවින්ද නැත්නම්
වමේ කදවුර වෙත රීස්ගේ තිබූ පෞද්ගලික විරෝධයක් පිරිමසාගැනීමක් ලෙසද යන
උභතෝකෝටිකයට ආධුනිකයෙකු වශයෙන් කෘතියේ අවසාන පරිච්චේදයේදී මම මැදි වුණෙමි.
මෙම
කෘතිය සම්බන්දයෙන් මාගේ ඉහත විවේචනය සෝවියට් දේශයට සුදුහුණු ගෑමක් හෝ
ලෝරන්ස් රීස් විසින් මෙම විශිෂ්ට කෘතිය පුරා අනුපමේය අන්දමින් විස්තර කර
තිබෙන සිදුවීම් ගවේශණාත්මකව විමර්ශනය කිරීමේදී රීස් දක්වා ඇති විචක්ශණශීලී
භාවය මදකින් හෝ අභියෝගයට ලක්කිරීමක් කිසිසේත් අදහස් නොකරන බව මෙහිලා සදහන්
කළ යුතුය.
ලෝරන්ස් රීස් තම කෘතිය සදහා යොදාගෙන ඇති අවසාන චේදයෙන්ම මගේ සටහනද අවසාන කිරීමට සිතුවෙමි.
”කදවුරෙන්
දිවි ගලවාගත් අයගෙන් අද ජීවතුන් අතර සිටින අවසානයා සහ කදවුරේ
අපරාධකාරයන්ගෙන් අද ජීවත්ව සිටින අවසානයා වැඩිකල් නොගොස් එහිදී ඝාතනය වූ
සෙස්සන් සමග එක්වේවි. එවිට එම ස්ථානයේ සජීවී අත්දැකීම් ඇති කිසිවෙක් මිහිමත
ඉතිරි නොවනු ඇත. එසේ වූ විට මේ ඉතිහාසය ඈත අතීතයක් සමග මුසුවී ඉතිහාසයේ
භීෂණ සිදුවීම් මාලාවකින් තවත් එකක් පමණක් බවට පත්වීමේ අවදානමක් තිබේ. මීට
පෙර කුරුස යුද්ධයේදී ලයන්හාට් රිචඞ් රජු අතින් ආක‍්‍ර හි සංහාරයට ලක්වූ
මුස්ලිම් භක්තිකයන්ගේ සිට පර්සියාවේදී ගෙන්ගිස් කාන් අතින් සිදුවූ මහා ජන
සංහාරයන් දක්වා බොහෝ කුරිරු ක‍්‍රියා ඉතිහාසය පුරා සිදුව තිබේ. සමහරවිට
අනාගත පරම්පරාවන් අවුෂ්විට්ස් සිද්ධියත් එයාකාරයෙන් සළකාවි-සජීවී මතකයට
එපිටින් පිහිට තවත් නරක සිදුවීමක් වශයෙන්. එසේ වීමට ඉඩදිය යුතු නැත. මිනිස්
චර්යාව විනිශ්චය කළ යුත්තේ කාලයේ සන්දර්භය තුලයි. විසිවන සියවසේ මැද
විචිත‍්‍ර යුරෝපීය සංස්කෘතියේ සන්දර්භය තුළ බහා සළකන කල අවුෂ්විට්ස් සහ
නට්සිවාදීන්ගේ අවසාන විසදුම නියෝජනය කරන්නේ සමස්ථ මිනිස් ඉතිහාසයේ පහළම
අඩියයි. දැන උගත් තාක්ෂණික වශයෙන් දියුණු මිනිස් ජීවීන්ට දැඩි හදවතක් ඇතොත්
කළ හැක්කේ කුමක්ද යන්න පිළිබද සංයුක්ත දැනුමක් සිය මහාපරාධය හරහා
නට්සිවාදීහු ලොවට ඉගැන්නූහ. එම පාඩම වරක් ලෝකගතවූ පසු නැවත අමතක කළ යුතු
නැත. හෝන්දුමාන්දු අජුව දනවන ඒ පවත සෑම නව පරම්පරාවකටම යළි යළිත් අළුතෙන්
අනාවරණය කරගැනීම සදහා එතැන තිබේ. අප සදහා වන, අපෙන් පසුව පැමිණෙන සියල්ලන්
සදහා වන, අනතුරු ඇගවීමක් වශයෙන්.”
ඉතින් කියවා බලන්න, ”මිනිසාට එරෙහිව මිනිසාගේ අමනුශ්‍යත්වයේ තරම වටහා ගැනීමේ යතුරක්”
අවුෂ්විට්ස් ඝාතක කදවුරේ කතා පුවත......
(සැමදා ඇගට හිතට දැනෙන සුවිශේෂී පරිවර්තන සිංහල පාඨකයාට ඉදිරිපත් කරන ගාමිණී වියන්ගොඩ සහෘදයාට විශේෂ ප‍්‍රණාමය හිමිවේ.)
No comments:
Post a Comment