Tuesday, April 14, 2020

මගේ ස්ථාවරය

1. සැමට පොදු නීතියක්

බොහෝ දෙනෙකුට තමන් දරණු ලබන ස්ථාවරය හා අනෙකාගේ ස්ථාවරය සැබැවින්ම කුමක්දැයි විමසා බැලීමට බලකෙරෙන වාතාවරණයක් වර්තමානයේ ඇති වී තිබේ. වර්තමානයේ තිබෙන ඉහළ පහළ නැගෙන අවිනිශ්චිත අර්බුදය තුල මා පළකල අදහස් ඇතැම් අයගේ නොසතුටට හේතු වී තිබෙන බවක් පෙනෙන්නට තිබේ. එහි කිසිදු වරදක් නැත. මන්ද එම අදහස් පළකිරීම මාගේ අයිතියක් වනවා සේම ඒවා සම්බන්ධයෙන් නොසතුටට පත්වීම ඒ ඒ අයගේ අයිතියක් වන බැවිනි. කෙසේ වෙතත් යම් අයුරකින් මා වරදවා වටහා ගැනීමක් කිසිවෙකු තුල ඇති වී නම් එය නිරාකරණය කරගැනීම සදහා යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ.

මම ලිබරල්වාදියෙක්මි. යම් දුරකට මාක්ස්වාදය කොමියුනිස්ට්වාදය සමාජවාදයද අධ්‍යයනය කර ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්පය තුල පෙරකී දේශපාලනික න්‍යායන් ප‍්‍රායෝගිකව ආදේශ කිරීම පිළිබදව පරතරෙට ගේස නැතත් යම් යම් පර්යේශණාත්මක අධ්‍යනයන් සිදුකර ඇත. ඒ අනුව ඒ ඒ සමාජ උපනතීන් වලට ජනතාව ප‍්‍රතිචාර දක්වන ආකාරය පිළීබදවත් එය දිශානගත කළයුතු ආකාරය පිළීබදවත් මටම ආවේණික යම් අදහසක් මට ඇත.

ඊට අමතරව මම සියලුම ආකාරයේ ප‍්‍රචණ්ඩත්වයන්ට අන්තවාදයන්ට එරෙහි වෙමි. එහි අදහස මා ශුද්ධවන්තයෙකු බව නොවේ. අතීතයේ යම් යම් අවස්ථා වල මමද ප‍්‍රචණ්ඩත්වයේ පිහිට සෙවූ ඒ පිළීබදව විශ්වාසය තැබූ අවස්ථා ඇත. නමුත් ඒ කිසිවක් පවත්නා තත්වය අවුල් කිරීමට විනා යහපත් තත්වයට පත්කිරීමට හේතු නොවූ බව අත්දකිමින් එහි ඇති අනුචිත බව අත්දැකීමෙන් වටහාගෙන සිටිමි.

සෑම පුද්ගලයෙකුටම අනෙකාට බාධාවක් නොවන පරිදි තමාට අවශ්‍ය අයුරින් ජීවත් වීඹට අයිතියක් ඇති බව මම දැඩිව විශ්වාස කරමි. කිසිවෙකුට ජීවිතය පිළිබදව හෝ වෙනයම් කරුණක් පිළිබදව හෝ තමා පුද්ගලිකව විශ්වාස කරන මානයන් මත පිහිටා අනෙකා බලහත්කාරයෙන් තමාට අවශ්‍ය පරිදි ජීවත් කරවා ගැනීමට අයිතියක් නොමැති බව මම තරයේ විශ්වාස කරමි.
ඒ අනුව රටක් වශයෙන් පැවතිය යුත්තේ සැමට සමාන එක නීති පද්ධතියක් බව මගේ හැගීමයි. එහිදී එක් අයෙකුට නීතියෙන් තහනම් දෙයක් තවත් අයෙකුට නීතියෙන්ම ඉඩදෙන ආකාරයේ විෂමතා වහාම ඉවත් කළ යුතුය යන ස්ථාවරයේ මම දැඩිව සිටිමි.

සැමට එක හා සමානව අදාළ නීති පද්ධතිය කිසිදු ආකාරයකින් කිසිදු ජාතියකට ආගමකට හෝ වෙනත් යම් මානයක් මත සමාජ විශේෂතා අත්පත් කරගත් යම් කොට්ඨාසයක් වේ නම් ඔවුන්ට සමාජයේ විශේෂ තැනක් අත්පත් කරදිය යුතු නැත. එමෙන්ම එම පොදු නීතිය තුල පෙරකී කිසිදු සමාජ කොට්ඨාසයක පෞද්ගලික විශ්වාසයන් හෝ අභිලාසයන් නියෝජනය වීමක් නොවිය යුතු අතර එම විෂමතා නීතියේ සීමාව යටතේ හදුනා නොගැනෙන පෞද්ගලිකත්වයේ සීමාව තුල අවශ්‍යනම් පවත්වාගත හැකි ඒවායේ මට්ටමට ලඝු විය යුතුව ඇත.

ඒ යටතේ ආගම සහ නීතිය එකක් කොටගත් ඇතැම් පාර්ශවයන්ට යම් අගතියක් විය හැකිය. එමෙන්ම වර්තමානය වන විට ආගම යනු නීතිය නොවුවත් ඇතැම් හේතුන් මත තම ආගමික ඉගැන්වීම් නීතිය විය යුතු බවට කල්පනා කරන පාර්ශවයන්ගේද දැනට පවත්නා නීති තුල තමන්ට පෞද්ගලික විශේෂත්වයක් නීතිගත කරනු ලැබ එහි වරප‍්‍රසාද භුක්ති විදිමින් සිටින පාර්ශවයන්ගේද නොසතුටට එය හේතුවිය හැකිය.

සෑම තීරණාත්මක කරුණක් සම්බන්ධයෙන්ම රටකට ජාතික ප‍්‍රතිපත්තියක් තිබිය යුතුවේ. මෙම ජාතික ප‍්‍රතිපත්තිය හැකි සෑම අවස්ථාවකම අපක්ෂපාතී සහ කිසිදු ජනකොටසකට අනවහ්‍ය විශේෂතාවයක් හෝ අවශේෂතාවයක් ආරෝපණය නොකරන්නක් විය යුතුය.

මෙයින් අපේක්ෂා කරන්නේ රටක නීති පද්ධතිය සෑම අවස්ථාවකම සමාජයේ ජීවත් වන විෂම සමාජ කොටස් වල ඒ ඒ විෂමතා පෞද්ගලික කාරණා වශයෙන් පෞද්ගලික සීමාවන් තුල පමණක් තබනු ලැබීමටත් එය අනෙකාගේ ආරක්ෂාවට ඔහුගේ නිදහසට බාධාවක් නොවිය යුත්තේය යන්නයි. එහිදී තමන්ට ආවේණික අනන්‍යතාවයන් සහ ශික්ෂාවන් ආරක්ෂා කරගත යුතු බව යම් පාර්ශවයක් කල්පනා කරන්නේ නම් එය අනෙකාගේ ආරක්ෂාවට සාමාන්‍ය ජනජීවිතයට නිදහසට බාධාවක් නොවන පරිදි සිදුකරගැනීමට ඒ ඒ විෂම පාර්ශවයන්ට බල කෙරෙන තත්වයක් නිර්මාණය විය යුත්තේය.

ඒ අනුව කාලයත් සමග පෞද්ගලික හැසිරීම් පෞද්ගලිකත්වය තුලද පොදු ප‍්‍රතිපත්තිය ප‍්‍රසිද්ධියේද අනුමනය කිරීමටත් අනෙකාට ගරු කිරීමටත් ඒ හරහා පටු භේද පසෙක තබා රටක් ලෙස ඉදිරියට ගමන් කිරීම ප‍්‍රධාන ඉලක්කය බවට පත්කරගැනීමටත් පෙළඹවීමක් ඇතිකිරීම අපේක්ෂිතය.
මෙම සංකල්පය උපයෝජනය කිරීමෙන් රටක් වශයෙන් අඩුපාඩු විරහිත පූර්ණ විශිෂ්ඨතාවයකට අප පත් නොකරනු ඇත. එම ශක්තිමත් වූද සැමට පොදු වූද නීති රාමුව සකසා ගැනීමෙන් පසුව පවා තවත් ගමන් කිරීමට බොහෝ දුර තිබෙනු ඇත. නමුත් එය ඉතා ශක්තිමත් ආරම්භයක් වනු ඇත.

2. රාජ්‍යය

රාජ්‍යය ජාතිය ආගම ඇතුලු පුද්ගලික කාරණා වලින් හැකිතාක් ස්වායත්ත වියයුතු බව මගේ මතයයි. ඒ තුල "ආගමික රාජ්‍යයක්" යන සංකල්පය මම ප්‍රතික්ෂේප කරමි.

රාජ්‍යය සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් ලබාදෙමින් පාදමක් වශයෙන් ක්‍රියාකරනවා විනා යම් ජන කොටසක උපකරණයක් නොවිය යුතුය.

3. ජාතිය

මම ජාතිය සිංහල වන උඩරට බොදු ගොවි ශ්‍රී ලාංකිකයෙක්මි. ලිබරල්වාදී මාවතක සිටියද මාගේ ජාතිය සහ කුලය හරහා ගොඩනැගුණු ප්‍රතිගාමී මමත්වයක් සහ පුහු මාන්නයක් යම් තරමකට මා තුලද ඇත. මම සර්ව සම්පූර්ණ මිනිසෙක් නොවෙමි. ඉහත කී ජාතිය හා කුලය නියෝජනය කිරීම හේතුවෙන් මා යම් යම් වරප්‍රසාද බලාපොරොත්තු වූ අවස්ථාද ඇතැම් විට ඒවායෙන් උදම් වූ අවස්ථාද වරප්‍රසාද නොලැබීමෙන් උරණ වූ අවස්ථාද අතීතයේ තිබේ. ඒ කිසිවක් නිවැරදි හෝ සර්ව සම්පූර්ණ වූයේ නොවේ.

මා නියෝජනය කරන ජාතිය පිළිබඳව අභිමානයක් මෙන්ම පක්ෂපාතීත්වයක්ද මා තුල තිබේ. ඇතැමුන් මාගේ භාවිතාව තුල මේ ලක්ෂණ නොදකිනවා විය හැකිය. එසේ නොදකින්නේ නම් මම ඒ පිළිබඳව සතුටු වෙමි. මන්ද පෙරකී මමත්වය මම උත්සාහයෙන් යටපත් කරගෙන සිටින්නක් වන බැවිනි.

එනමුත් මමද සිංහලයෙකු වශයෙන් ආඩම්බර වෙමි. මගේ ජාතිය පිළිබඳව කැක්කුමක් මටද තිබේ. එනමුත් කොන්දේසි විරහිත අන්ධ පක්ෂපාතීත්වයත් සර්ව අනුමතවාදයත් මම ප්‍රතික්ෂේප කරමි. කවුරුන් කළද හරි දෙය හරි වශයෙන්ද වැරදි දෙය වැරදි වශයෙන්ද යථාර්ථවාදීව දැකීමට සෑම විටකම උත්සාහ කරමි.

සිංහලය ජාතියක් වශයෙන් අගාධයක සිටින බවත් එය අවදි කිරීම සහ නගා සිටුවීම අවශ්‍ය බවත් මමද පිළිගනිමි. නමුත් එයට මම යෝජනා කරන විසදුම අපිට වඩා යම් යම් ක්ෂේත්‍රවල සාර්ථක වූ අයට ඊර්ෂ්‍යා කිරීමත් ඔවුන්ට තඩිබා පැන්නීම තුලින් ඔවුන් ගොඩනැගූ යමක් විනාශ කිරීම හෝ අත්පත් කරගැනීමත් නොවේ.

එම අවදි කිරීම සහ නගා සිටුවීම ස්වයං විවේචනාත්මකව සිදුවිය යුත්තකි. මන්ද ජාතියක් වශයෙන් අප යම් අගාධයක සිටීද ඒ අපගේම වරදින් මිස අන් අයෙකු කළ යම් විනයක් නිසා නොවේ. ඒ වැරදිද අප ජාතියේම ස්වායත්ත ඒවා මිස වෙනත් ජාතියක ක්‍රියාමාර්ග මත අනුලෝමව හෝ ප්‍රතිලෝමව සමානුපාතික ඒවා නොවේ.

සිංහලයා ස්වභාවයෙන්ම මදක් මෝඩය. එම මෝඩකම හේතුවෙන් යම් සිද්ධියක් පැති කීපයකින් විග්‍රහ කොට නිවැරදි චිත්රයක් ලබාගන්නවා වෙනුවට සිදුවීම බැලු බැල්මට ඇති සැටියෙන් ගෙන එයට ඍජුව ප්‍රතිචාර දැක්වීම සාමාන්‍ය සිරිත වේ. මේ හේතුවෙන් කිසිවෙකුට සිංහලයා ගොනාට ඇන්දවීමට දෙයක් නැත. කිසිවෙකු රෙදි කැබැල්ලක් බිමට දැමූ පමණින් එය ස්වේච්ඡාවෙන්ම අහුලාගෙන කපාගෙන මසාගෙන ඇදගැනීම සිංහලයාම සිදුකරයි.

සිංහලයා ස්වභාවයෙන්ම කම්මැලිය. කාලය, මුදල් නිකරුණේ කාබාසිනියා කර දැමීම ඔහු එතරම් බරපතළ ලෙස නොසළකයි. තිබෙන සුළු මුදල පුහු ආටෝප රාශියකට වියදම් කර දෙවේලක් බඩගින්නේ සිටීමට වුවද සිංහලයා පෙළඹෙනු ඇත. ඉතිරි කිරීම ආයෝජනය අවශ්‍යතාවයක් ලෙස සළකන්නේ නැත.

ශ්‍රී ලංකාවේ ජීවත්වන ජාතීන් අතරින් වැඩිම නිකමුන් පිරිසක් සිටින්නේ සිංහලයන් අතර වේ. ශාරීරික අබල දුබලතාවයක් නොමැතිව සිටිමින් අධ්‍යාපනය අවසාන කිරීමෙන් පසු කාලය කාදමමින් නිකම්ම ලැබෙන යමක් පරිභෝජනය කරමින් නිකම් සිටීම පාපයක් ලෙස ඔවුන් සළකන්නේ නැත.

ඇතැම් විට යම් ජීවනෝපායක් තෝරාගැනීමේදී ආරම්භක අවධියට වඩා පියවරෙන් පියවර ඉදිරියට යාමට හැකියාව ඇති ජීවනෝපායන් තෝරන්නේ නැත. ඊට වඩා පහසු එකතැන සිටිමින් දවසේ වියදම් යන්තමින් පියවා ගැනීමට ප්‍රමාණවත් එකතැනම පල්වෙන ජීවනෝපායක් තෝරාගැනීම බහුලව සිදුවේ. එක් එක් පුද්ගලයන් එක්කෝ නිකමුන් වෙද්දී තවත් පිරිසක් සංවර්ධනාත්මක නොවන ජීවනෝපායන්හි සිරවී සිටියදී සමාජයක් ඉදිරියට යන්නේ කෙසේද?

ඉදිරිගාමී වර්ධනයක් අත්පත් කරගැනීමට නම් පොදුවේ සමාජයක් වශයෙන්ද එක් එක් පුද්ගලයා තනිවද ශක්තිමත් විය යුත්තේය. නිකම්මුන් රටකට ජාතියකට බරක් වනවා විනා ශක්තියක් වන්නේ නැත. සිංහලයන් අතර සිටින සැළකියයුතු ප්‍රමාණයක් වන නිකමුන් සාම්ප්‍රදායික මතයෙන් බැහැර කර නිෂ්පාදන කෘෂිකාර්මික හෝ වෙළද අංශ වලට යොමුකරගැනීමට හැකිනම් එයම සෑහෙන ජයග්‍රහණයක් වනු ඇත.

මේ කරුණේදී මුස්ලිම් ජාතිකයන්ගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත. ඔවුන් පාසල් අධ්‍යාපනය අවසන් වූ වහාම මොහොතක් හෝ නාස්ති නොකර උසස් අධ්‍යාපනයට හෝ ජීවනෝපායකට යොමුවෙති. රෝගීබව හෝ වයස්ගත වීම හේතුවෙන් මිස නිකම් සිටින්නෝ මම ඔවුන් අතර දැක නැත.

4. ආගම

මම බෞද්ධයෙක්මි. බුදුදහම තුල තිබෙන අතහැරීම තුල උපදින නිරාමිස සැපත එහි ඇති ආකර්ෂණීයම ලක්ෂණය ලෙස දකිමි. පෝයට පන්සලකට යාමට, මලක් පහනක් පූජාකිරීමට, වැළිමළුවේ හිද සිහිල් සුවය විදීමට, තාවකාලිකව හෝ ඒ සංහිදුණු බව මා වෙත ආරෝපණය කරගෙන සැහැල්ලුව අත්පත් කරගැනීමට මම ඉතා කැමතිය.

පිරිත් ශ්‍රවණය කිරීම, සිත සැනසෙන ධර්ම දේශනයක් ඇසීම යනාදී ආගමික කටයුතු වලින් මා ලෞකිකව අපේක්ෂා කරන්නේ අවබෝධය ලබාගැනීම සහ අටලෝ දහමින් හැකිතාක් අකම්පිතව සිටීමට හික්මීමක් ඇතිකරගැනීමයි. බුදු දහමේ හදුනාගන්නා හේතුඵල දහම, විසංයෝජනීය ප්‍රවේශය මම ඉතා අගය කරමි. විශේෂයෙන් වල්පොල රාහුල හිමියන්ගේ ප්‍රායෝගික හා තාර්කික බෞද්ධාගමික කියැවීමට මම ඉතා ප්‍රිය කරමි.

පන්සිල් වලින් ඇතැම් ඒවා මා අතින් රැකෙන්නේ නැත. එසේ කැඩෙන අවස්ථා වලදීඊට විවිධාකාර හේතු මටම ඒත්තු ගන්වමින් ඒවා සාධාරණීකරණය කරනවාට වඩා එය යථාර්ථවාදී ලෙස සිල්පදයක් කැඩුණු අවස්ථාවක් ලෙස දැකීමට මම කැමතිය. නමුත් මට හැකි අයුරින් මා ජීවත් වන සමාජයේ අන්‍යයන්ට හිරිහැරයක් නොවන ආකාරයෙන් ජීවත් වීමට උත්සාහ කරමි.

හදිසි අවස්ථාවලදී කලබල නොවී හැකිතාක් විවෘත මනසකින් කල්පනා කොට අවස්ථානුකූලව හදිසිය සමනය කිරීමට හැකි සෑම විටෙකම උත්සාහ කරමි. මේ හදිසි අවස්ථා වලදී කලබල නොවීම පිළිබඳව කණ්ඩායමක් ලෙස කටයුතු කරන අවස්ථා වලදී කලබල වූවන් වෙතින් මම බැණුම්ද අසා තිබේ.

ඒ අනුව බුදුදහම මට බොහෝ දේ දී ඇති බව මම සිතමි.

නමුත් මාගේ පෞද්ගලික දෙයක් වශයෙන් මිස එතැනින් එහාට අන් කෙනෙකු මත බලෙන් පැටවියයුතු න්‍යායන් ගොන්නක් ලෙස මම බුදු දහම දකින්නේ නැත. බුදුදහම මත පදනම්ව හෝ බිහිවන ආගමික රාජ්‍යයකට, වෙනත් ආගමික රාජ්‍යකට විරුද්ධ වන අර්ථයෙන්ම ඒ තරමටම මම විරුද්ධ වන්නේ එබැවිනි.

බුදුදහම නියෝජනය කරන්නේ යැයි කියන ආගමික සංස්ථාවේ ඇතැම් ක්‍රියාකාරකම් වලටද මම එකග නැත. ජාතියකට ප්‍රචණ්ඩත්වය විසදුමක් ලෙස තොරාගත හැක. බුදුදහමට නොහැකිය. මනුෂ්‍ය ඝාතක යුද්ධයකට සෙත් පිරිත් දේශනා කොට සෙත් පැතීම කුමන පදනමක් යටතේ හෝ බුදුදහමට අනුකූල යැයි මා පිළිගන්නේ නැත. එය ඈත ඉතිහාසයේ හෝ මෑත ඉතිහාසයේ කිනම් හෝ වාර ගණනක් සිදුවී තිබුණද හරි වන්නේ නැත.

බුදුදහම විකෘති කරන්නේ තමන්ට අවශ්‍ය පරිදි තමන්ගේ වාසියට එහි සංකල්ප නිර්වචනය කරගන්නා පිරිස් විසිනි. මා අතින් යම් පාපයක් සිදුවන්නේද එහි චේතනාවද කර්මයද මා අතම වේ නම් එය පාපයක් වූ අවස්ථාවක් ලෙස පිළිගැනීමට තරම් යථාර්ථවාදී වීමට මම උත්සාහ කරමි. අචේතනික ක්‍රියා යන කුලකයට වැරදි ලෙස දමමින් ඒවා සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම මුල වරදට වඩා බරපතළ තමා විසින්ම තමා රවටාගැනීමකි.

5. චින්තන ප්‍රවේශය

මගේ ⁣වෝලයේ සහ ඉන් පිටත මා හට චෝදනා කරන බොහෝ දෙනෙකුගේ චෝදනාව වන්නේ "මූ අනික් උන්ට වඩා වෙනස් කියලා පෙන්නලා පොර වෙන්න හදනවා" යන්නයි.

සෑම සිද්ධියක්ම එය බැලු බැල්මට පෙනෙන ආකාරයෙන් භාරගනිමින් ඒවාට ඍජු ප්‍රතිචාර දැක්වීම මිනිසා ඇතුලු බොහෝ සත්වයන්ට නිසගයෙන්ම ඇති ප්‍රතික්රියා ස්වභාවයයි. යමක් පිළිබදව එසේ බැලු බැල්මට පෙනෙන ස්වරූපයට වඩා වෙනස් මුහුණුවරකින් බැලීම සහ විශ්ලේෂණය කර ගැනීම ඉතාම අතලොස්සක් උපතින්ම පිහිටන ගුණාංගයක් ලෙස ගෙන එති.

මම එවැන්නෙක් නොවෙමි. මමද ඉතාම සාම්ප්‍රදායික ලෙස ඕනෑම දෙයක් වහාම ග්‍රහණය කරගන්නේ එය බැලු බැල්මට පෙනෙන සැටියෙනි. නමුත් යමක් දෙස ඊට වඩා විශ්ලේෂණාත්මකව සහ විසංයෝජනීයව බැලීමේ වටිනාකම මම හදුනාගෙන සිටිමි. එබැවින් මට හැකි සෑම සිදුවීමක් දෙසම එලෙස විසංයෝජනීයව බැලීමට මම සෑම විටම උත්සාහ කරමි. එයට මගේ පියාණන් වෙතින් ලද ආභාසයද මාගේ වෘත්තියේ ස්වභාවයද චෙස් ක්‍රීඩාවද හේතු වන්නට ඇත.

යම් නඩුවක් සදහා යනවිට ප්‍රතිවාදී පාර්ශවයන් විසින් දක්වනු ඇති ප්‍රතිචාර හා ගනු ලබන ප්‍රවේශයන් පිළිබඳව කල් ඇතිව යම් අදහසක් ඇතිකරගෙන ඒවාට මුහුණදීමට සූදානමින් යාම නීතිඥ වරයෙකු සිදුකළ යුතුමය. වෘත්තියේ බොහෝ කාලයක් කටයුතු කර ඇති ජ්‍යෙෂ්ඨ නීතිඥතුමන්ලා අත්දැකීම් මත එම නිපුණතාවය අත්කරගෙන ඇත. ඒ හරහා නිරුත්සාහකවම ඉතා ඉහළ සාර්ථකත්වයන් අත්පත් කරගැනීමට ඔවුන් සමත් වනු මම බොහෝවිට දැක ඇත. මට එවැනි අත්දැකීම් සම්භාරයක් නැත. එබැවින් මා වැන්නෙකුට එම සාර්ථකත්වය අත්පත් කරගත හැකි වන්නේ දැඩි උත්සාහයෙන් පරිකල්පනය මෙහෙයැවීම තුලිනි. එය එම වෘත්තියේ ස්වභාවය මිස පොරත්වයක් ලෙස කිසිවෙකු දකින්නේ නැත.

වෘත්තියේදී පමණක් නොව ජීවිතයේ සෑම අවස්ථාවකදීම මුහුණ පෑමට සිදුවන එක් එක් සිදුවීම් නිසි පරිදි අවබෝධ කරගැනීමටත් නිවැරදිව කියවා ගැනීමටත් ඒ පිළිබඳව කෝණ ගණනාවකින් එය නැවත නැවතත් විග්‍රහ කරගැනීමේ ඇති හානියක් මම දකින්නේ නැත. සියලු දෙනාම එකම කෝණයකින් විග්‍රහ කරන ගැටලුවක් පිළිබඳව සියලුදෙනාගේම කියවීම වැරදි වීමට ඕනෑ තරම් ඉඩ තිබේ. එසේ සිදුවූ අවස්ථා ඉතිහාසයේද ඕනෑතරම් හමුවේ.

එබැවින් යම් කරුණක් පිළිබඳව වෙනස් අදහසක් කීම මුළු මහත් සමාජයට අදාළ සිදුවීම නිසියාකාරව අවබෝධ කරගැනීමට කරන විශාල උදව්වකි. එය හුදු පොරත්වය අත්පත්කරගන්නට කරන උත්සාහයක් ලෙස යමෙකු දකින්නේ නම් එය සැබැවින්ම කණගාටුදායකය.

වෙනස් අදහසක් වූ පමණින් මගේ අදහස හරි වන්නේද නැත. සමහරවිට වැරදි අදහස මගේ වියහැකිය. එවන් අවස්ථා වල කාරණා කටයුතු සහිතව මා වැරදි බව පෙනී ගිය කල එම වරද මා පිළිගෙන ස්ථාවරය වෙනස්කරගත් අවස්ථාද ඇත. සිදුවිය යුත්තේ එයයි. එසේ නොවී හුදු යටපත් කිරීමකට යටත් වීමට මම සූදානම් නැත. මාගේ පෝස්ට් කියවන්නෝද එසේ යටත් විය යුතු නැත.

කියවීමට අකමැති අයට නොකියවා මාගේ පෝස්ට් මගහැරයා හැකිය. මාගේ මිතුරු ලැයිස්තුවේ හිදීම අවශ්‍ය නමුත් මා කියන දේවල් බයිලා මෙන් පෙනෙන ඒවා දකින්නට අකමැති අයට unfriend කිරීමකින් තොරව unfollow කිරීමේ පහසුකම දැන් ෆේස්බුක් විසින් සළසා ඇත. එපමණින් හෝ අකමැති අයට තමාගේ අදහස් වලට පරස්පර කරුණු කියන මා වැනි අය unfriend කර දැමීමට කිසිදු බාධාවක්ද නැත.

පසුවදන

මම සිංහල සමාජය නියෝජනය කරන සිංහල බෞදධයෙක්මි. මාගේ ප්‍රජාව මෙන්ම මේ රටද යහපත් දිශානතියකට යොමුවනු දැකීම මගේද කැමැත්තයි. ඒ සදහා වෙනත් ජාතියකට ආගමකට එරෙහි ආක්‍රමණශීලී සහ කඩාකප්පල්කාරී ප්‍රවේශයකට වඩා ස්වයං විවේචනය මත පදනම් වූ නැගී සිටීමක් සිදුවිය යුතුය. මන්ද ආක්‍රමණශීලී සහ කඩාකප්පල්කාරී ප්‍රවේශයක අවසානය කුමක් වේදැයි කිසිවෙකුට කිව නොහැක. එබැවින් වර්තමානයේ ඇතිවී ඇති තත්වය යථාර්ථවාදී ප්‍රායෝගික විසදුමක් හරහා විසදා ගැනීමට මිස එකම ගාලගෝට්ටියක් බවට පත්කිරීමෙන් යම් යම් පාර්ශව වලට දේශපාලන වාසි විනා අන් කිසිදු දෙයක් ලැබෙන්නේ නැත. 

මෙය සැබැවින්ම සටනකි. ත්රස්තවාදය සහ අන්තවාදය සමග සටනක් මෙන්ම අපගේ අභ්‍යන්තරය සමගද වන සටනකි. ත්රස්තවාදය සහ අන්තවාදය පරාජය කළයුතු බවට කිසිදු තර්කයක් නැත. එය මානුෂීයත්වය සදහා වන උදාර අරගලයකි. නමුත් එක් එක් පුද්ගලයන්ගේ පෞද්ගලික න්‍යායපත්ර වල සදහන් යම් යම් කාරණා ඉටුකරවා ගැනීමටද ඊර්ෂ්‍යාවේ සහ කුහකත්වයේ ඵල නෙලීමටද එම අරගලය තෝතැන්නක් නොවිය යුතුය.

එබැවින් ⁣අරගලයේ සෑම පියවරක්ම තැබිය යුත්තේ ඉතා ප්‍රවේශමෙනි. ව්‍යාජය මත පමණට වඩා ඉහළට ගොඩනගන කාරණා ව්‍යාජය සනාථ වීමෙන් පමණක් සියල්ල සුන්නද්ධූලි කරමින් පහළට කඩා වැටිය හැකිය. මෙම අරගලය තුල ප්‍රතිපක්ෂයේ මෙන්ම අප තුලද පවත්නා ව්‍යාජය පරාජය කළ යුතුවේ. වඩාත් ඵලදායි අවසාන විසදුමක් කරා යාමට හැකිවන්නේ එලෙසිනි.

මා පෙර දිනක සදහන් කළා සේම නීතියේ සහ ආණ්ඩුකරණයේ ප්‍රගතිශීලී වෙනසක් ඇතිකරමින් ජනතාව තුල ඇති පටු බෙදීම් පෞද්ගලිකත්වය දක්වා ලඝුකොට රටක් ලෙස සංවර්ධනාත්මක ඉලක්කයක් වෙත දිශානගත වීමට මීට වඩා ස්වර්ණමය අවස්ථාවක් යළි නොඑනු ඇත.

සමාප්තයි


 

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...