Tuesday, April 14, 2020

ෂාෆි අර්බුදය - නීතිමය තත්වය

හරයාත්මක නීති තත්වය:-

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ අනවසර වන්ද්‍යකරණය ඍජුවම අපරාධ වරදක් ලෙස හදුනාගන්නෙ නෑ. එහි 316 වගන්තිය යටතේ දඩුවම් දෙන බරපතළ තුවාල සිදුකිරීම යනු කුමක්දැයි 311 වගන්තිය යටතේ හදුනාගන්නවා. එහිදී "හතරවනුව - යම් අවයවයක් හෝ ග්‍රන්ථියක් විනාශ කිරීම සහ පස්වනුව - යම් අවයවයක හෝ ග්‍රන්ථියක බලය විනාශ කිරීම හෝ නිත්‍ය ලෙස දුර්වල කිරීම" බරපතළ තුවාල කිරීමට අයත්.

ඊට අමතරව වර්ග ඝාතනය වැලැක්වීමේ සහ වර්ග ඝාතනය සම්බන්ධ වැරදි සදහා දඩුවම් දීමේ ජාත්‍යන්තර සම්මුතිය සදහා ශ්‍රී ලංකාව 1950 ඔක්තෝබර් 12 වැනි දින ප්‍රවේශය ලබාදී තිබෙනවා. එම සම්මුතියේ Article 2 (d) යටතේ යම් කණ්ඩායමක් තුල උපත් වැලැක්වීම සදහා ක්‍රියාකිරීම වර්ග ඝාතන ස්වභාවයේ වරදක් (genocide) ලෙස හදුනාගන්නවා.

චෝදනා ගොණු කිරීමේදි බොහෝවිට සැළකිල්ලට ගන්නට සිදුවෙන්නේ ඔය ඉහත කී ප්‍රතිපාදන.

සාක්ෂි :-

පැමිණිලි ගොඩාක් තිබීමෙන් යම්කිසි සමාජ බලපෑමක් ඇතිවුණත් සාර්ථක නඩු විභාගයකට අවශ්‍ය වන්නේ ශක්තිමත් පදනමක් සහිත එක් පැමිණිල්ලක් පමණක් වෙන්නත් පුළුවන්. දුර්වල එකම විදියේ කතා 1000ක් තිබුණත් වැඩක් නැති වෙන්නත් පුළුවන්. නමුත් මෙම වෛද්‍යවරයාට මේ ස්වභාවයේ චෝදනා රාශියක් තිබීමත් ඔහුගේ චරිතය සම්බන්ධයෙන් අනුකූල කරගත හැකියි.

ඒත් නඩුවේ අවසාන ප්‍රතිඵලයට වැදගත් වන්නේ ඒක නෙමෙයි. මෙතනදි ඇසින් දුටු සාක්ෂි කිසිවක් තවම ආපු බවක් දැනගන්නට නැහැ. ඇසින් දුටු සාක්ෂි නොමැතිව පරිවේශණීය සාක්ෂි වලින් විතරක් නඩු ඔප්පු වූ අවස්ථා තිබුණත් මෙවැනි අවස්ථාවකදී අපරාධය ඇසින් දැකිය හැකි ඒ දෙසම නෙත් යොමාගත් වෙනත් පුද්ගලයන් අපරාධ ස්ථානයේ සිට තිබීම හේතුවෙන් ඇසින් දුටු සාක්ෂි නොමැති වීම පවත්නා පරිවේෂණයන් වුණත් බොහෝ දුරට දුර්වල කරනවා.

ඇසින් දුටු සාක්ෂියක් දැන් ආවත් "ඇයි ඒ පිළිබදව මුල් අවස්ථාවේ රෝහල් අධිකාරියට පැමිණිලි නොකලේ?, අඩුම ගණනේ ඇයි ඒ වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් වහාම පොලීසියට ඉදිරිපත් වී ප්‍රකාශ නොකලේ?" යනාදී වශයෙන් විත්තියෙන් අභියෝගයට ලක්කිරීම තුල එම සාක්ෂි අප්‍රමාදීත්වය පිළිබඳව පරීක්ෂණයෙන් අසමත් වීමට ඉතා ඉහළ ඉඩක් තියෙනවා.

අපරාධ නඩුවක් තීරණය වෙන්නේ වැඩිබර සාක්ෂි මත නොවෙයි. පැමිණිල්ල විසින් චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතුයි. ඒ කියන්නෙ අඩමානෙට ඔප්පු කරලා වැඩක් නැහැ. දැනට ඉදිරිපත් වී ඇති කරුණු අනුව නම් (අනාවරණය වූ තීරණාත්මක යම් කරුණක් පොලීසිය රහසේ තබාගෙන ඉන්නවානම් මිස) විත්තිකරු නිදොස් කොට නිදහස් වීමේ ඉතා ඉහළ ඉඩකඩක් තියෙනවා.

නීති ශිෂ්‍යයන් මේ සිදුවීම දෙස ඉතා අවධානයෙන් බලා සිටිමින් ඉදිරිපත් වන කාරණා නෛතික ප්‍රතිපාදන සමග විග්‍රහ කර බැලීම අතිශයින් ඵලදායි වනු ඇත. Social demand එකක් සහ සාක්ෂි යන සංකල්ප අතර දුර මනාව පෙනෙන ගැටලුවක් මේක.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...