Tuesday, April 14, 2020

ගෝලීයකරණය සහ පුංචි අපි

ෆෙඩ්රික් එංගල්ස් සදහන් කරන ආකාරයට නිර්ධන පන්තිය බිහිවන්නේ කාර්මික විප්ලවය සමගය. කාර්මික විප්ලවය සමග මිනිසුන් විසින් ඉටුකරන ලද කාර්යභාරය ඒ හා සමානව හෝ ඊටත් වඩා හොදින් අඩු පිරිවැයක් යටතේ ඉටුකළ හැකි යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය වීම හරහා ශ්‍රමය තවදුරටත් හිග සම්පතක් හෝ අත්‍යාවශ්‍ය සම්පතක් බවට පත් නොවීමත්, සමාජයේ එක් ඒකකයක් ලෙස පැවැති මිනිසුන් තවදුරටත් තමන් ස්වාධීන ඒකකයක් නොවී මහා පරිමාණ ව්‍යාපාර හෝ කර්මාන්ත වල ඉතා ක්ෂුද්‍ර නොවැදගත් භූමිකාවක් පමණක් ඉටුකරන කොටසක් බවට පත්වීමත් තුල තම දිවි පැවැත්ම සදහා අලෙවි කිරීමට ශ්‍රමය හැර වෙනත් සම්පතක් නොමැති මිනිසුන්ගෙන් නිර්ධන පන්තිය බිහි වන්නේය.

මෙහිදී නිර්ධන පන්තිය බිහිවීමේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස එංගල්ස් හදුනාගන්නේ අඩු ආදායම් ලාභී වීම නොව අඩු ආදායම් ලාභීව හෝ ස්ථිර පැවැත්මක් සහතික කරගැනීමට නොහැකි වාතාවරණයක් ඇතිවීමයි. එනම් සෑම අවස්ථාවකම නිර්ධනයන් තමන්ගේ හාම්පුතුන් මත ඉතා දැඩි ලෙස රදා පවතී. මේ අර්ථයෙන් ගත්කල නිර්ධන පාන්තිකයින් වහලුන්ට සහ ප්‍රවේණි දාසයන්ටත් වඩා පහළ මට්ටමක සිටින්නන් කොටසක් ලෙස එංගල්ස් හදුනාගනී.

ලෝක වෙළදාම ව්‍යාප්තියට පෙර ජනාවාස තිබූ බොහෝ රටවල් දුප්පත් වේවා පොහොසත් වේවා ස්වාධීන ස්ථාවරත්වයක පැවතුණි. නමුත් ලෝක වෙළදාමේ ව්‍යාප්තිය සමග අර්ධ වශයෙන්ද ගෝලීයකරණ සංකල්පය සමග පූර්ණ වශයෙන්ද ස්වාධීන ස්ථාවරත්වයකට හිමිකම් කියූ අඩු ආදායම් ලාභී රටවල් පෙරකී ස්වාධීන ඒකක තත්වයෙන්, වඩා විශාල හා සංකීර්ණ සමූහයක එක කොටසක් පමණක් බවට පත්වී තිබේ. ඒ අනුව කුඩා රටවල් සහ අඩු ආදායම් ලාභී රටවල් ගෝලීයකරණය තුල අත්‍යවශ්‍ය භූමිකාවක් නියෝජනය නොකරයි. ඒ හරහා ඉතා උග්‍ර ලෙස ගෝලීයකරණය මතම රදාපවත්නා තැනකට ⁣තල්ලු වීම නොවැලැක්විය හැකිය.

ස්වයං පෝෂණයට වඩා නොවැදගත් යම් භාණ්ඩ කීපයක් පමණක් නිපදවා අනෙකුත් සියල්ල වඩා අඩු පිරිවැයකට ආනයනය කිරීම සිදුවේ. ආර්ථිකයේ සංයුතියේ දායකත්වය කෘෂිකර්මය හා කර්මාන්ත කෙරෙහි නොව සේවා අංශය වර්ධනය කරවන තැනකට තල්ලු වේ. ඒවාද රටට පිටින් ආදායම් ලැබෙන සේවා නොව රට තුලම මුදල් ඒ මේ අත කැරකෙන ආකාරයේ සේවා නිෂ්පාදනයකි. මේ හරහා ගෝලීයකරණය තුල ඇතිවන ලෝක වෙළදපොලේ වැඩි කාර්මික නිෂ්පාදන දායකත්වයක් සපයන රටවල් මත දැඩි ලෙස යැපීමට තුන්වෙනි ලෝකයේ රටවලට සිදුවේ. රටින් පිටතට සැළකියයුතු වටිනාකමක් අලෙවි නොකරමින් ආනයන මත යැපෙන කල ප්‍රාග්ධන හිගයක් ඇතිවීම නොවැලැක්විය හැකිය. මෙහිදී ගෝලීයකරණය හරහා වාසි ලබන බලවත් රටවල් ඉදිරිපත් වී විවිධ කොන්දේසි මත ණය ලබාදීම සිදුකරයි. ඒ හරහා බලවත් රටවල් විසින් තුන්වෙනි ලෝකය ප්‍රාණ ඇපයට ගැනෙන අතර ස්වතන්ත්‍ර නොවූ පරාදීන විදේශ ප්‍රතිපත්තියක් සහ පක්ෂපාතී ගෝලීය දේශපාලන භූමිකාවක් ඉටුකිරීමට සිදුවෙන තැනට නිතැතින්ම තල්ලු වීම නොවැලැක්විය හැකිය. ඒ අනුව ගෝලීයකරණ සංකල්පය තුල "නොබැදි පිළිවෙත" යනු තවදුරටත් යථාර්ථයක් නොවේ.

මෙහිදී ⁣ඉහත කී වාතාවරණය මැනවින් වටහා ගැනීම ඉතා වැදගත් වේ. එය වටහා නොගෙන කණාමුට්ටි බිදීමට යාම මුට්ටිය හිසමත කඩාවැටීමට හේතුවක් විය හැකිය.
මගේ අදහස අනුව ගෝලීයකරණය තුල ඉහත කී ප්‍රවණතාවයට මුහුණ දියහැකි ප්‍රධාන ක්‍රම තුනකි:-

1. උඩුගම් බලා පිහිනීම
බොහෝ දෙනා මහත් අභිරුචියකින් කතා කරන එහෙත් ක්‍රියාත්මක නොකරන පිළිවෙතයි. ඒ සදහා රටක් වශයෙන් තනිව පැවතිය හැකි දැවැන්ත විභව ශක්තියක් තිබීම අත්‍යවශ්‍ය කරුණකි. වර්තමාන ලෝකයේ උඩුගම් බලා පිහිනන රටවල් ඇත්තේ ඉතාම අතලොස්සකි. ඒවා අතරින් සිහියට නැගිය හැක්කේ උතුරු කොරියාව පමණි. උතුරු කොරියාවේද ඇත්තේ ගෝලීයකරණය හරහා බටහිර ආධිපත්‍යයට එරෙහිව කරන උඩුගම්බලා පිහිනීමක් නොව, බලයේ සිටින පාලකයාගේ මමත්වය සාක්ෂාත් කිරීම සදහා වන එකතැන ජබු ගැසීමකි.

2. මුග්ධ විරෝධය
තනිව පැවතීමට අවශ්‍ය විභව ශක්තිය උඩුගම් බලා පිහිනීමට ප්‍රමාණවත් නොවූ කල බිහි වන්නේ මුග්ධ විරෝධියෙකි. ඉරාකය, ඉරානය වැනි රටවල් ඉතිහාසයේ යම් තැනක උඩුගම්බලා පිහිනීම කළත් සටනේ අවසානය දක්වා රැදී සිටීමට විභව ශක්තිය ප්‍රමාණවත් නොවීමත්, ගෝලීය බලවතුන් උඩුගම් බලා පිහිනන්නෝ මර්දනය සදහා අනිවාර්යයෙන් දියත් කරන නිහීන උප්පරවැට්ටි වලට උද්යෝගිමත් මීහරකුන් සේ ඍජුව මුහුණ දෙන්නට යාම හරහා පරාජයට පත්වීමත් හේතුවෙන් අද වන විට මුග්ධ විරෝධීන්ගේ තත්වයට ලඝු වී සිටිති.

මෙම නිහීන උප්පරවැට්ටි පිළිබඳව යම් අදහසක් ලබාගැනීමට "කුලී ආර්ථික ඝාතකයෙකුගේ පාපෝච්චාරණය" නම් පොත කියවීම ප්‍රයෝජනවත් වනු ඇත. කූඹියෝ ටෙලිනාට්‍යයද යම් අදහසක් ලබාදෙනු ඇත. එය ඉතා පුළුල් වෙනත් මාතෘකාවක් බැවින් ඒ පිළිබඳව වැඩිදුර සදහන් නොකරමි. ගෝලීය බලවතුන් විසින් අනෙක් රටවල් තම තමන්ගේ සැළසුම් සාක්ෂාත් වන ආකාරයට තමන්ට අවශ්‍ය ස්ථාන වල තැබීමෙහිලා හොදින් හෝ නරකින් සාර්ථක වීමට ඇති ඉඩකඩ ඉතා අධික බව පමණක් සටහන් කිරීම සෑහෙනු ඇත.

3. පරිභෝජනවාදී නරුමයා
මේ ප්‍රවේශය හරහා ගෝලීයකරණයට යම් තරමකට හෝ සම්පූර්ණයෙන්ම අවනත වී එයින් රටක් ලෙස ලද හැකි යමක් ලබාගැනීම අදහස් කෙරේ. දෙවැනි ලෝක යුද්ධයේදී පවා ස්විට්සර්ලන්තය පැත්තක් ගත්තේ නැත. අදද අර්බුද නිරාකරණය සදහා මධ්‍යස්ථ මැදිහත්කරුගේ භූමිකාව එරට ඉටුකරයි. තැන්පත් කරුවන්ගෙන් කිසිදු ප්‍රශ්නයක් නොඅසන, කුමන හේතුවක් නිසාවත් ගනුදෙණුකරුවන්ගේ තොරතුරු හෙළිදරව් නොකරන ශ්‍රී ලංකාවටත් වඩා කුඩා රටක් වන ස්විට්සර්ලන්තය අදටත් ලොව දැවැන්තම කළු මුදල් ගබඩාවයි.

මුරුසිය හැදින්වෙන්නේ ලෝකයේ බදු පාරාදීසය ලෙසිනි. ලෝකයේ බලවත්ම බහුජාතික සමාගම් රාශියක ප්‍රධාන කාර්යාල මුරුසියේ පිහිටා ඇත්තේ එරට ලබාදෙන අදහාගත නොහැකි බදු සහන හේතුවෙනි.

සිංගප්පූරුව කිසිදු නිෂ්පාදන සම්පතක් නොමැති රටක් වශයෙන් හැදින්වීමේ කිසිදු වරදක් නැත. නමුත් සිංගප්පූරුව ගෝලීය වෙළෙදපොල තුල සිටින හොදම පහසුකම් සපයන්නා වෙයි. ලොව වැඩිම රටවල් ගණනකට වීසා නොමැතිව ඇතුලු වීමට සිංගප්පූරු ගමන් බලපත්‍රයක් ඇති අයෙකුට හැකිවේ.

ගෝලීයකරණය තුල ඍජු ප්‍රතිපත්ති සහ පියවරවල් වලට කළහැකි දේ සීමා සහිතය. එනම් "මොරාල් එක" ගෝලීය සන්දර්භය තුල ඔබට කිසිවක්ම ලබාදෙන්නේ නැත.

සේද මාවත හරහා චීනයේ ගෝලීය දේශපාලන හා වෙළද ආධිපත්‍යය ආක්‍රමණය කිරීමේ පියවර තුල අන් කිසිවක් නැතත් පිහිටීම අනුව ශ්‍රී ලංකාවේ උපක්‍රමික වැදගත්කම ඉහළ ගොස් තිබේ. එහිදී අප රට තමන්ගේ කදවුරක් බවට පත්කරගැනීම සදහා ප්‍රධාන වශයෙන් ඇමරිකාව හා චීනය තම තමන්ට ආවේණික මෙහෙයුම් දියත් කරනු ඇත.

තත්වයක් එසේ තිබියදී අප්‍රේල් 21 වැනිදා බෝම්බ ප්‍රහාර එල්ල වන්නේ ඉතා අභව්‍ය ලෙස රටේ සුළුතර ජනකොටසක් වන කිතුණුවන් ඉලක්ක කරමිනි. එහිදී සහරාන් දැමූ අසූචි පිඩ අද වනවිට ශ්‍රී ලාංකිකයන් විසින් ස්වේච්ඡාවෙන්ම අසූචි කන්දක් මට්ටමට වර්ධනය කරගෙන තිබේ. විදේශ ඍජු මැදිහත් වීමක් සදහා අවශ්‍ය පසුබිම මනාව සැකසෙමින් තිබේ. 2007 දී ශ්‍රී ලංකාව වෙත ඍජු ප්‍රවේශය ලබාදෙමින් අත්සන් කළ ගිවිසුමක් නැවත අලුත් කිරීමක පිළිබඳව කතාබහක්ද කනින් කොනින් ඇසේ.

මෙම තත්වය අනුසාරයෙන් ලෝක බලවතුන්ගේ පෙර ගෝලීය දේශපාලන හා ආර්ථික උප්පරවැට්ටි සළකා බැලීමේදී වර්තමාන ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන තත්වය සහ පෙරකී උප්පරවැට්ටි අතර පවත්නා අසාමාන්‍ය සමානත්වය පිළිබඳව නොසිතාම බැරිය. දැන දැනම අතලොස්සක්ද නොදැන බහුතරයක්ද රූකඩකරණය වී තිබීමට ඇති ඉඩ ඉතා අධික වේ.

සටහන
මා විසිනි
විශේෂ ස්තූතිය :- Senarath Bandara Herath

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...