Wednesday, April 15, 2020

දන්න අය බණින්නෑ

2019.03.09

ක්‍රිකට් දන්නා අය තමාට නොබැන්න බව කුසල් මෙන්ඩිස් කීවේය. එය හිතුවක්කාර ප්‍රකාශයක් වුවද සියයට සියයක් සත්‍යයෙන් තොර වූවක් නොවේ. බොහෝ දෙනා යමකට බැණ වදින්නේ ඒ පිළිබඳව පූර්ණ අවබෝධයකින් තොරව බව බොහෝවිට පෙනීයන කරුණකි. පහත screen shot එකද එවැනි තත්වයක් සදහා උදාහරණයකි. එය ෆේස්බුක් ඔස්සේ සීග්‍රයෙන් හුවමාරු වන බව දැක ඒ හරහා අධිකරණය පිළිබඳව සාවද්‍ය චිත්රයක් මැවීමේ ඉඩකඩක් ඇති බැවින් ඒ පිළිබඳව කෙටියෙන් කරුණු පැහැදිලි කිරීම නීතිඥවරයෙකු ලෙස මගේද වගකීමක් බව හැගෙන හෙයින් පහත සටහන තබමි:-

1. අධිකරණයට යනවිට casual attitude එකක් සහිතව යාම උචිත නොවේ. නමුත් එය formal attitude එකක් බවට පත්කිරීමට ඇතැම් පොලිස් නිලධාරීන් දරණ උත්සාහය සිනා උපදවනසුළු බව ඇත්තකි. නමුත් ඔවුන් කරන්නේ ඔවුන්ගේ රාජකාරියයි. අධිකරණය පිළිබඳව casual attitude එකක් ඇතිවූ කල අධිකරණයේ කටයුතු වලට බාධාවක් වන පරිදි සිදුවන කසුකුසු කතාබහ ඉහළ යාම, අධිකරණය හෑල්ලුවට ලක්වන ලෙස පුද්ගලයන් හැසිරීම ආදිය සිදුවිය හැක. ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් බහුතරයක් යම් තැනකට ගොස් හැසිරෙන ආකාරය පිළිබඳව බාලාංශ දැනුමක්වත් නොමැති පිරිසකි. එවැනි පිරිසක් හික්මවා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමට පොලීසියට සිදුවේ.

2. වලංගු ආදායම් බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම වරදකි. එයට හේතු දැක්වූවා යැයි කියා සාමාන්‍යයෙන් දඩය අඩු වෙන්නේ නැත. එවැනි අවස්ථාවක වලංගු ආදායම් බලපත්‍රයක් නොමැතිව ධාවනය කල බව පිළිගන්නේනම් නීතිඥවරයා විසින් "වරදකරු" බව කීම පමණක් ප්‍රමාණවත් වේ. නමුත් එසේ කී විට ඇතැම් සේවාදායකයින් නීතිඥවරයා ගාස්තු ලබාගත් නමුත් කතා කලේ එක වචනයක් පමණක් යැයි කියමින් චෝදනා කිරීම නිසා වැරදිකරු යන්නට අමතරව හේතු දැක්වීමක් හෝ මන්දිකාරක කරුණු කීමක් සදහා ඇතැම් නීතිඥවරු පෙළඹෙති. මෙතැන සිදුවී ඇති පරිදි නීතිඥවරයා කරුණු දැක්වීම ආරම්භ කර ඇත්තේ "ආදායම් බලපත්‍රය දින කීපයක් ප්‍රමාද වුණේ....." යනුවෙනි. විනිසුරුවරයාට නීතිඥවරයා මේ සැරසෙන්නේ චෝදනාව සදහා නිවැරදිකරු කීමට නොව වරද සිදුවූයේ මන්දැයි හේතුදැක්වීමට බව වටහා ගැනීමට ඒ වචන කීපය සෑහේ. ඒ හේතු දැක්වීමෙන් පසුවද නියම කරන දඩය එකම නම් එවැනි කරුණු දැක්වීමක් අසා සිටීමේ පලක් නැත. එබැවින් තවත් කාලය මිඩංගු⁣ නොකර වහාම දඩය නියම කර නඩුව අවසන් කිරීමේ වරදක් නැත. එය මහේස්ත්‍රාත් අධිකරණ වල සාමාන්‍ය ක්‍රියා පිළිවෙතයි. දිනකට ආදායම් බලපත්‍ර නොමැතිව ධාවනය කිරීම වැනි සුළු චෝදනා සහිත නඩු 100ක් 150ක් පමණ තිබිය හැක. ඒ එක් එක් නඩුවේ වරද කිරීමට හේතු අසා සිටීමට ගියොත් රාත්‍රි අටටවත් අධිකරණ කටයුතු අවසන් කිරීමට හැකියාව ලැබෙන්නේ නැත.

3. අලි රොෂාන් ඔහුට එල්ල වූ චෝදනාවට වරද පිළිගත්තේ නැත. ඔහු කලේ තමා නිවැරදිකරු බව කියා නඩු විභාගයට යාමයි. එහිදි ඔහු අදාළ වරද කළ බව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමේ භාරය පැමිණිල්ලට පැවරේ. ඒ අනුව ඉදිරිපත් කරන සාක්ෂි විත්තිය විසින් අභියෝගයට ලක්කෙරේ. මෙම ඉහත සටහන ලියූ කෙනාට අලි රොෂාන්ට මෙන් නිදහස් කිරීමක් අවශ්‍ය වීනම් ඔහු කළයුතුව තිබුණේ චෝදනාවට නිවැරදිකරු කියා විභාගයට යාමය. එසේ ⁣නොකර අලි රොෂාන් හා තමාව සංසන්දනය කිරීමට යාම යථාර්ථවාදී නොවේ

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...