Wednesday, April 15, 2020

ජාතික ආණ්ඩුව - කැබිනට් මණ්ඩලය

2019.02.05

ශ්‍රී ලංකාවට 12-13ක පමණ කැබිනට් මණ්ඩලයක් හොදටම ප්‍රමාණවත්ය. කැබිනට්ටුව විශාල වීමෙන් සිදුවන්නේ අධික මහජන මුදල් නාස්තියකි. අවම කැබිනට් ඇමතිවරු ප්‍රමාණය 30ක් වීම පවා ශ්‍රී ලංකාවේ බදු ගෙවන ජනතාව මත පටවනු ලබන අනවශ්‍ය බරකි. එක් කැබිනට් ඇමතිවරයෙකුගේ පමණක් පරිපාලන වියදම් (කාර්යමණ්ඩල වැටුප්, යාන වාහන, ආරක්ෂාව, නිල නිවාස ආදී නිෂ්පාදන ක්‍රියාවලියට කිසිදු දායකත්වයක් නොදෙන පුහු වියදම්) අවම වශයෙන් මසකට මිලියන දෙකක් ඉක්මවයි. වෙනසක් වුවහොත් ඊට වැඩි මිස අඩුනම් නැත. 

මිලියන දෙකක් යනු මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ඇරඹීමට පවා ප්‍රමාණවත් මුදලකි. ශ්‍රී ලංකාවේ අතිමහත් බහුතරය වන මධ්‍යම පාංතිකයන්ට මිලියන දෙකක් යනු මහ මෙරකි. අති විශාල කැබිනට් මණ්ඩලයක් යනු එවැනි අධික මුදලක් මාස්පතා කිසිදු ආයෝජනමය වටිනාකමකින් තොරව වියදම් කෙරෙන ක්‍රමයකි.

දක්ෂතා සහිත දේශපාලකයන්ට තනතුරු ලබාදී ඔවුන්ගෙන් රටට උපරිම ප්‍රයෝජනය ලබාගැනීමට කටයුතු කළ යුතු බවට කිසිදු තර්කයක් නොමැත. නමුත් එසේ කිරීමේ මුවාවෙන් සිදුවන්නේ රජය පවත්වාගැනීමට අවශ්‍ය බහුතරය ආරක්ෂා කරගැනීම සදහා එකම අමාත්‍යවරයා යටතේ පැවතිය හැකි එසේ පැවතිය යුතු විෂයයන් කඩා වෙන්කර අලුතෙන් අමාත්‍යංශ ගොඩනැගීමය. මෙය එළිපිටම ජනතාව රැවටීමකි.

පසුගිය රජය සමයේ අමාත්‍යවරයෙකු නොවන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු සොයාගැනීමට ඉතා අපහසු වන තරමට කැබිනට් මණ්ඩලය විශාල විය. එයට එරෙහිව අති විශාල මහජන විරෝධයක් ගොඩනැගුණි. එම ආණ්ඩුව පෙරලී යාමට එයද යම් තීරණාත්මක බලපෑමක් සිදුකල සාධකයක් විය.

ඉන්පසු 19වැනි සංශෝධනය හරහා කැබිනට් මණ්ඩලය 30කට සීමා කරන ලද්දේ මෙම දැවැන්ත මුදල් කාබාසිනියා සංස්කෘතිය යම් තරමකට හෝ වෙනස් කිරීමටය. නමුත් වර්තමාන රජයද තමන්ගේ පැවැත්ම උදෙසා තමන්ම ගෙන ආ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදයේ හිල් සොයන තත්වයකට පත්වීම කණගාටුදායකය.

සැබැවින්ම පෙනීයන පරිදි එතැන එවැනි සිදුරක් ඇත. ආණ්ඩුවට එයින් රිංගා ඇමතිවරුන් ගණන වැඩිකර ගැනීමටද හැකිවනු ඇත. ඇතැම් පාර්ශවයන් ඒ පිළිබඳව උදම් අනනු ඇත. නමුත් රටට හා ආර්ථිකයට ඒ හරහා පැටවෙන අනවශ්‍ය බර පිළිබඳව කිසිවෙකු වග නොකියනු ඇත. ⁣විපක්ෂය අවස්ථාවාදී ලෙස මේ මොහොතේ එයට විරුද්ධ බවක් දැක්වුවද ඔවුන්ගේ ආණ්ඩුවකදීද නිසැකවම ඔය සිදුරෙන් රිංගා අමාත්‍ය ධුර ගණන වැඩිකරගනු ඇත. ඔවුන් එය මීට පෙර සිදුකර ඇත. අනාගතයේදීද නිසැකවම සිදුකරනු ඇත.

රටට සැබෑ ආදරයක් ඇත්නම් සිදුකළ යුත්තේ ව්‍යවස්ථාවේ ඇති එවන් සිදුරු වලින් උපක්‍රමශීලීව රිංගීම නොව අනාගත පරපුරේ අභිවෘද්ධිය තකා එවන් සිදුරු වසා දැමීමට පෙරමුණ ගැනීමය. එවැනි පියවරක් යෝජනා කිරීමට හෝ කිසිවෙකු ඒ 225 අතර නොමැති වීම කණගාටුවට කරුණකි.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...