Tuesday, April 14, 2020

මුහුණුපොතේ විචාරකයන් - පොලිස් දෙපාර්තමේන්තුවේ කෝපය

2019.03.12

බොරැල්ල රථවාහන පොලිස් ස්ථානාධිපතිවරයාට මරු කැදවමින් සිදුවූ අනතුර සම්බන්ධයෙන් ⁣ෆේස්බුක්හි සටහන් තැබූ යම් හදුනාගත් පිරිසක් සාක්ෂිකරුවන් වශයෙන් අධිකරණයට කැදවීමට ක්‍රියාකරන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ඊයේ මාධ්‍යයට පැවසීය. ඔහුට අනුව එම කැදවීම සිදුකරන්නේ ඉහත කී අනතුර සම්බන්ධයෙන් දැනුමක් ඇති පාර්ශවයන්ට ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දීමට පවත්නා වගකීම ඉටුකරවීමටය. නමුත් ඉතා පැහැදිලිව පෙනී යන්නේ ප්‍රකාශිත අරමුණ කෙසේ වෙතත්, පොලිස් විමර්ශන සම්බන්ධයෙන් මහජනතාව මත පලකිරීම සම්බන්ධයෙන් පොලීසියේ නොසතුට පලකිරීම මෙම පියවරෙහි ඇති සැගවුණු මුඛ්‍ය පරමාර්ථය බවය. 

එය නිවැරදිය. තවමත් විමර්ශන මට්ටමේ පවත්නා සිද්ධියක් සම්බන්ධයෙන් සමාජයේ විවිධ මත පැතිරී යාම උචිත නොවේ. ඒ හරහා විමර්ශන කටයුතු වලට සහ අධිකරණ කටයුතු වලට විශාල බාධාවක් සිදුවේ. අධිකරණය තීන්දුවක් ලබාදීමට පෙර මහජනතාව කටකතා හා ආරංචි හරහා අදාළ නඩු කටයුත්ත පිළිබදව ස්ථිරසාර පූර්ව නිගමන ඇතිකරගැනීම හරහා යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතා විශ්වාසය පළුදු වීමට මග පෑදේ. ඒ සම්බන්ධයෙන් මා පොලිස් දෙපාර්තමේන්තුව සමග සියයට සියයක් එකග වෙමි.

නමුත් ගැටලුව ඇත්තේ ඔවුන් විසින්ම ඉස්මතු කරන එම යථාර්ථය නඩුවක දෙපාර්ශවයටම අදාළව දැකීමට පොලිස් දෙපාර්තමේන්තුව අසමත් වීමයි. යම් අපරාධයක් සිදුවූ වහාම ඒ සම්බන්ධයෙන් බී වාර්තා වල ඇතුලත් කරුණුද සහිතව ඉතා සංවේදී කාරණා මාධ්‍ය ඉදිරියට පැමිණ හෙළිදරව් කරන්නේ "පොලිස් මාධ්‍ය ප්‍රකාශක" යන අනවශ්‍ය නිල තනතුර දරනු ලබන පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියා විසින්මය.

ඒ අනුව යම් අපරාධයක් සම්බන්ධයෙන් ලබාගත් කටඋත්තර වල තිබෙන ඉතා සංවේදී කරුණු, සී.සී.ටී.වී වීඩියෝ පටවල ඇති දෑ, ඡායාරූප යනාදී බොහෝ දේ නඩු විභාගයට පළමුව නිළ මට්ටමින්ම ජනගත කිරීම සිදුවේ. බැලු බැල්මට කෙතරම් විශ්වාසනීය යැයි පෙනෙන සාක්ෂියක් වුවද අධිකරණ ක්‍රියාවලියකදී පිළිගැනීමට ලක්වන්නේ නිසි නීතිමය ප්‍රතිපාදන වලට අනුව අධිකරණයට ඉදිරිපත් කර හරස් ප්‍රශ්න වලටද භාජනය වීමෙන් පසුවය. එතෙක් ඒවා හුදු කරුණු පමණක් වේ. ඒ අනුව එසේ විශ්වාසනීයදැයි පිළිගත් ක්‍රියාමාර්ග හරහා තහවුරු නොකළ කරුණු පරම සත්‍යයැයි මහජනතාවට හැගී යන පරිදි ස්වකීය මාධ්‍ය ප්‍රකාශක ධුරය හරහා ජනගත කර යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට දැඩි බාධාවක් නිල මට්ටමින්ම සිදුකරන පොලිස් දෙපාර්තමේන්තුවට, එම ක්‍රියාවලියම මහජනතාවගේ පාර්ශවයෙන් සිදුකැරෙන විට එය රුස්සන්නේ නැතිවීම සිනා උපදවනසුළුය.

විමර්ශනයක් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියක් හරහා තහවුරු නොකළ තොරතුරු හෝ මත පොලීසිය හෝ මහජනයා හෝ අන් කුමන පාර්ශවයක් විසින් හෝ ජනගත කර අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමාජය තුල පූර්ව නිගමන ඇතිකිරීම යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට බරපතළ බාධාවකි. එය එක්කෝ පොලිස් දෙපාර්තමේන්තුව ඇතුලත්ව සියල්ලන්ටම තහනම් ක්‍රියාවක් බවට පත්කල යුතුය. නැතිනම් දෙපාර්ශවයටම ඒ සදහා අසීමිත නිදහසක් දිය යුතුය. එසේ නොමැතිව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින්ම ජනගත කළ තොරතුරක විශ්වසනීයත්වය මුහුණු පොත හෝ වෙනත් මාධ්‍යයක් හරහා අභියෝගයට හෝ උපහාසයට ලක්වනවිට ඒ පිළිබදව හදිසියේ කිපී "හිටපල්ලකො තොපිට හොද වැඩක් කරන්න" මාදිලියේ පියවර ගැනීම සිනා උපදවනසුළුය.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...