Wednesday, April 15, 2020

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම

2019.01.16

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සහ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය අද ඊ⁣යේ ඇතිවූ කතාබහක් නොවේ. එය 1978 පටන් මේ දක්වාම සෑම ප්‍රධාන මැතිවරණයකදීම යටත් පිරිසෙයින් එක පක්ෂයක හෝ ප්‍රධාන සටන් පාඨය බවට පත්විය. 2005න් පසු සෑම ප්‍රධාන මැතිවරණයකදීම ප්‍රධාන පක්ෂ දෙකම එම සටන්පාඨය භාවිත කර ඇත. ඒ අනුව විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම යනු 1978න් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවෙන් ගිලිහී නොගිය සටන්පාඨ අතලොස්සෙන් එකකි. නමුත් පොරොන්දු කෙසේ වුවද සෑම අවස්ථාවකම විධායක ජනාධිපති ධුරය හොබවන පක්ෂය මැතිවරණයෙන් පසු එක්කෝ ඍජුවම නැතිනම් වක්‍රව එකී පොරොන්දුව ඉටු නොකර සිටීමට පොටක් පාදාගැනීමට වෑයම් කිරීම සාමාන්‍ය තත්වයක් බවට පත්වී තිබේ. ඒ අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන්පාඨය ඇතැම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් උපක්‍රමිකව ජනතාව ඇන්දවීම සදහා භාවිතා කර ඇතිවා මිස සත්‍යවාදීව එය ඉටුකිරීමේ සැබෑ වුවමනාවෙන් සිදු කළදෙයක් නොවන බව මනාව පැහැදිලි වේ. හාස්‍යජනක කාරණය වන්නේ ඇතැම් පාර්ශව කිසිදු හිරිකිතයකින් තොරව තමන් මැතිවරණ පොරොන්දුවක් වශයෙන් කියූ ඒ ගජබින්නය සාධාරණීකරණය කිරීමය. මෙය තවත් කෙතක් කල් නම් ඇදී යාදැයි දන්නේ දෙවියන් පමණි.

විධායක ජනාධිපති ධුරයේ මහිමය කෙතෙක්දැයි මනාව ජීවමාන උදාහරණ සහිතව පෙන්වූයේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. මළපහ කර ඒ මළ තමාගේ සියොළඟද ගාගෙන වටේ සිටින සිල්ලන්ගේද ගාන්නේ කෙසේදැයි ඔහු මනාව නිරූපණය කර පෙන්වන ලද්දේය. ජනාධිපති සිරිසේන ධුරයට පත්වන අවස්ථාවේ ඔවැනි විකෘතියකින් පෙළුණේ නැත. ශ්‍රී ලංකාවේ අවසාන විධායක ජනාධිපතිවරයා තමා බවට ඔහු සැබැවින්ම ඍජු සහ ස්ථිරසාර ප්‍රතිඥාවක් ලබාදුන්නේය. 19 වැනි සංශෝධනය හරහා තමා පොරොන්දු වූ මගෙහි යම් දුරක් ගමන් කිරීමද කළේය. එසේනම් එහෙව් මෛත්‍රීපාල සිරිසේන අද සිටින ඔරංඔටන් බවට පත්වූයේ කුමන වෛරසයක් ශරීරගත වීමෙන්ද? එය නම් බලයයි. විධායක ජනාධිපතිධුරයේ ඇති පුද්ගලයෙකුට දරාගත නොහැකි තරමේ අප්‍රමාණ බලය මහින්ද රාජපක්ෂව සිය දෙවැනි ධුර කාලයේදීද මෛත්‍රීපාල සිරිසේන සිය පළමු ධුර කාලයේදීමද බල උන්මන්තකයන් බවට පත්කලේය. එපමණක් නොව එජාප නායක රනිල් වික්‍රමසිංහවද my precious කියමින් විධායක ජනාධිපති ධුරය පසුපස හැල්මේ ගාටන ස්මීගොල් කෙනෙකු බවට පත්කළේය.

විධායක ජනාධිපති ධුරය යනු කෙතරම් බරපතළ වෛරසයක්දැයි වටහා ගන්නට වෙනත් උදාහරණ නුවුවමනාය. තවද එය අහෝසි කළ යුත්තේ මන්ද යන කාරණය සම්බන්ධයෙන් 1978 සිට එකතු වූ මෙහි සදහන් නොකළ හේතු සහ තර්කයන් තවත් කොතෙකුත් තිබේ.
එවැනි මුවවිටකට පැමිණ තිබෙන මේ අවස්ථාව උදාකරගන්නා ලද්දේ දවසකින් දෙකකින් නොව දශක හතරක සිට පියවරෙන් පියවරය. ඒ දශක හතර තුලදී එකම වතාවක් හෝ විධායක ජනාධිපති ධුරය පිළිබඳව කතිකාවට කිසිදු ලෙසකින් සම්බන්ධ නොවූ පිරිස් හිටි අඩියේ කුලප්පු වී මේ මොහොතේ රටේ ඊට වඩා ප්‍රමුඛතා ඇති බව පෙන්වීමට යාම සැබැවින්ම හාස්‍යජනකය. ඒ හාස්‍යජනක බවට ගිහි පැවිදි භේදයක් නැත. (මෙතැනදී මා හාස්‍යයට ලක්කරන්නේ දිගින් දිගටම විධායක ජනාධිපතිධුරය පිළිබඳව කතිකාවේ සිටිමින් එය අවශ්‍ය බවට තමන්ගේම පදනම් සහිතව තර්ක කළ අයව නොවන බව අවධාරණය කරමි)

පවත්නා ව්‍යවස්ථාව සංශෝධන 19කින් විකෘති වී තිබේ. එබැවින් නව ව්‍යවස්ථාවක් මේ රටට අවශ්‍යය. එය කුමක් විය යුතුද යන්න තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව විසින් තුනෙන් දෙකේ බලයකින් සහ ජනමතවිචාරණයකිනි. දැනට පවත්නා ආණ්ඩුවට තුනෙන් දෙකක් නැත. නව ව්‍යවස්ථාව හෝ එහි යම් යම් ප්‍රතිපාදන අනුචිත වේ නම් ඒවාට තුනෙන් දෙක අහිමි කර පරාජය කරවීම මිස තැන් තැන්වල බැණ බැණ යාමේ කිසිදු පළක් නැත.

තවද නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරන බොහෝ දෙනා එහි කෙටුම්පතක ඇතැයි කියන බොහෝ කරුණු ගැන කිය කියා යනු පෙනේ. මෙයද සත්‍යවාදී විවේචනයක් නොවන්නේ තවමත් එවැනි කෙටුම්පතක් මෙලොවට බිහිවී නැති බැවිනි.

දෝෂාරෝපණය කරන බොහෝ දෙනා තවම කෙටුම්පතක් නැති බවත් ඉදිරිපත් කර ඇති කමිටු වාර්තාවේ ඇත්තේ යෝජනා බවත් ඒවා රට පුරා ප්‍රසිද්ධ සැසි පවත්වමින් ජනතාවගෙන් එකතු කළ යෝජනා බවත් ඒවා අතර එකිනෙකට විකල්ප යෝජනාද ඇති බවත් දන්නා බවක් හෝ නොපෙනේ.

හුදෙක් තමන් නියෝජනය කරන යම් දේශපාලන කණ්ඩායමක් හිතූ හිතූ ලෙස පළකරනු ලබන අදහස් ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් පරම සත්‍යය ලෙස ගෙන කටයුතු කිරීමෙන් පෙනීයන්නේ ශ්‍රී ලාංකිකයා කෙතරම් අවිචාරවත්ද යන්නය.

ව්‍යවස්ථාව සැකසීමට හෝ එහි ඇති ප්‍රතිපාදන සදහා සියල්ලෝම එකග විය යුතු නැත. ඒ සම්බන්ධයෙන් විසම්මුතික මතවාද සහ ප්‍රතිතර්ක තිබීම අත්‍යවශ්‍ය වේ. වඩා ඵලදායි අග්‍රඵලයක් ළගාකරගැනීමට එය තිබිය යුතුමය. නමුත් එම ප්‍රතිතර්ක සහ විසම්මුතික මත හුදෙක් කියන්නන් වාලේ කියන දේවල් නොව නිසි පදනමක් සහ සත්‍ය කරුණු මත පදනම් වූ සබුද්ධික ඒවා වීම අත්‍යවශ්‍ය වේ.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...