Tuesday, April 14, 2020

ඉත්තන්, පොඩිත්තන්, පුංචිත්තන් සහ ඇබිත්තන්


2020 ජනාධිපතිවරණය මින් පෙර ශ්‍රී ලාංකිකයන් කිසිඳු ආකාරයකින් අත්විඳ නොමැති ආකාරයේ අමුතුම එකක් වනු ඇත. දැනට භූමියේ පවත්නා සැබෑ තත්වය අනුව කිසිවෙකුට සුමට ජයක් හිමිවීමේ අවකාශයක් නොපෙනේ. ජනාධිපතිවරණයට පෙර ඊට බොහෝ ආසන්නව පළාත් සභා මැතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වුණි නම් තත්වය මීට වඩා බොහෝ සුමට වීමට ඉඩ තිබුණි. නමුත් එසේ වූයේ නැත.

මෙහිදී ඇල්පිටිය ඇබිතිල්ලං ඡන්දය තීරණාත්මක නොවේ. එය රටේ ඡන්ද සංඛ්‍යාව අනුව ගත්කල ශූන්‍යයට ආසන්න උපකුලකයක් පමණි. එහිදී කවුරු දින්නද කවුරු පැරදුණද දිනන පාර්ශවය එයින් රටේ ජනමතය නිරූපණය වන බවත් පරදින පක්ෂය එසේ නොවන බවත් කියනු ඇත.

ජනාධිපතිවරණ සටන ඉතා උද්වේගකර චෙස් තරඟයකට කිසිසේත් දෙවැනි නොවනු ඇත.

එහිදී ලොක්කන් විවිධාකර ඉත්තන් අදිනු ඇත. විවිධ තැන්වල උපක්‍රමික ඉත්තන් ස්ථානගත කරනු ඇත. ඒ ඉත්තන් එහා මෙහා යාමට සමගාමීව පොඩිත්තන් එහා මෙහා යනු ඇත. ඊට අනුරූපව පුංචිත්තන් පෙත පුරා දුවනු ඇත. පුංචිත්තන්ගේ හැසිරීම අනුව ඇබිත්තන් පෙත පුරා යකා නැටීමට පටන්ගනු ඇත.

මේ හෙයියම්මාරුව දැනටමත් ආරම්භ වී අහවරය. ඒ තුල නොවිය හැක්කක් ඇති බවක් නොපෙනේ. සෑම ඉත්තන් ඇදීමකට පසුවම නැවත නැවතත් ශේෂ පත්රය යාවත්කාලීන කරගැනීමට සිදුවේ. එය පිස්සු හැදෙන වැඩකි. මන්ද ඉදිරියේදී ඉත්තන්ගේ රඟ සොබාව සහ ඊට අනුරූපව පොඩිත්තන් පුංචිත්තන් සහ ඇබිත්තන්ගේ නර්තනය තව තවත් උද්වේගකර වන්නට නියමිත බැවිනි.

ඒ අනුව ජනාධිපතිවරණය 2019 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරඟය මෙන් ඇස ඉවතට ගැනීමට නොසිතෙන අපූරු ත්‍රාසයක් මවනු ඇත. එය ලේ වැකුණු ත්‍රාසයක් නොවන්නේ නම් වටී.

එම සංදර්ශනය සිත්සේ පහන් සංවේගයෙන් නැරඹීමෙන් අනතුරුව හුදී ජනයා එක්කෝ ජයග්‍රාහී මානසිකත්වයෙන් නැත්නම් පරාජිත කෝපයෙන් යුතුව වියගහ ස්වේච්ඡාවෙන්ම කරේ බැඳගෙන නැවත සංදර්ශනයක් එනතුරු සුපුරුදු සීසෑම සඳහා යනු ඇත.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...