Tuesday, April 14, 2020

දඩයම

මේක අපේ අත්තා මං පොඩිකාලෙ මට කියපු කතාවක්. අත්තා කියන්නෙ අපේ අම්මගෙ අප්පච්චි. අපේ අත්තා විශ්‍රාමික විදුහල්පති වරයෙක්. ඊට අමතරව කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් කපිතාන් නිලයේදි විශ්‍රාම ගියපු හමුදා නිලධාරියෙක්. දැන් අත්තා නැතිවෙලා අවුරුදු 20කටත් කිට්ටුයි. මේ සිද්ධිය වෙන්නෙ අත්තා තරුණ අවිවාහක කාලේ ගුරුවරයෙක් හැටියට සේවයට බැදුණ අලුත.

ඒ දවස්වල අත්තා හිටපු පාසැලේ අත්තගෙ සමකාලීන හිතවතෙක් ඉදලා තියෙනවා. මට මතක විදියට එයාගෙ නම හිග්ගොඩ. මගේ මතකය වැරදි වෙන්න පුළුවන්. අපි පහසුවට හිග්ගොඩ කියලාම කියමු. මේ හිග්ගොඩ ටිකක් වනාන්තර බහුල පළාතක කෙනෙක්. හේන් ගොවිතැන, සතුන් දඩයම් කිරිම, හොඳ කිතුල් රා වගේ දේවල් එයාගෙ ගම්පළාතෙ සාමාන්‍ය දේවල්ලු. අපි වුණත් බැඳපු නැති තරුණ කාලෙ එහෙම යාළුවෙක් ඉන්නවනම් එ⁣හාට විනෝද ගමනක් දාගන්නෙ නැතුව ඉන්නෙ නෑනෙ. ඔන්න අත්තයි තව යාළුවො දෙනේනෙකුයි නිවාඩුවක් අල්ලලා හිග්ගොඩත් එක්ක ගමට ගියාලු.

ගිහින් දවසක් විතර ඉන්නකොට මේ පිරිසට දඩයමේ යන්න ආසාවක් ආවලු. ඒක අහපු හිග්ගොඩ කිව්වලු "මචං ඕක හරියන්නෙ නෑ. දඩයමේ යන එක හිතන තරම් විනෝද වැඩක් නෙවෙයි" කියලා.

නමුත් අත්තයි අනිත් යාළුවො ටිකයි දිගින් දිගටම ඇවිටිලි කරපු හින්දා හිග්ගොඩ කිව්වලු " හරි. අපි යමු. ඒත් කොහෙ කොහෙ තුවක්කු බැඳල තියෙනවද දන්නෑ. ඒ හින්දා හැමදාම දඩයමේ යන ගමේ මිනිහෙක් එක්ක ගිහින් අපි මිනිහ වැඩේ කරන හැටි බලාගෙන ඉමු" කියල.

ඊට පස්සෙ හිග්ගොඩගෙ තාත්ත ගමේ සුදුබණ්ඩා කියලා දඩයක්කාරයෙකුට එන්න කියල විස්තරේ කිව්ව. සුදු බණ්ඩා ගත්කටටම කිව්වේ බෑ කියල. "ඕක සෙල්ලමක්යැ. මේ මහත්තුරු රාත්තිරියෙ ඔය කැලේ අරන් ගිහින් අනතුරක් වුණොත්. අනික මගෙ දවසෙ දඩයම වැරදුණොත් හෙට දවසම පාඩුයි" කියල කිව්වත් දඩයම පාඩු වුණොත් ඒ ගාන ගෙවන්න පොරොන්දු වෙලා කොහොමහරි සුදු බණ්ඩෙව කැමති කරවගත්ත. "මහත්තයලගෙ කැමැත්තක්. යනවනං හතට සූජානං වෙලා හිටියොත් හොඳා" කියල බණ්ඩෙ ගියා.

අත්තලාටත් ඉතිං හවස් වෙනකල් ඉවසිල්ලක් නෑ. ජීවිතේටම එකපාරක් විතරක් හම්බ වෙන විදියෙ පට්ට ඇඩ්වෙන්චර් එකකට කට්ටියම ලෑස්ති වුණා. හවස හය වෙනකොට කොට කලිසම් ඇදගෙන, කැන්වස් සපත්තු දාලා, කැලේට ගිහින් බොන්න ස්ටවුට් බෝතල් හතරකුයි, ඇතිවෙන්න සිගරටුයි, ටෝච් එහෙමත් අරගෙන ලෑස්ති වෙලා බලාගෙන හිටියත් ⁣පතරොම් තුවක්කුව අරන් බණ්ඩෙ එනකොට හතහමාර විතර වුණා.

"හරි මහත්තුරු පිටත් වෙමු" කියන ගමන් බණ්ඩෙ බැලුවෙ අත්තලා අතේ තියෙන බෑග් දිහා. "මහත්තයො ඔය මොනවද?"

හිග්ගොඩ බෑග්වල තියෙන ඒව බණ්ඩෙට පෙන්නුව. " ඕවා වැඩක් නෑ මහත්තය. බෝතල් එකට හැප්පෙනකොට සද්දෙ එනව. ඒව තියල යං. අනිත්වා ඕනමනං ගන්න. හැබැයි ටෝච් ගත්තට පත්තු කරන්න බෑ. එළියට ඌරො මගාරිනව. සිගරැට් ගත්තට බොන්නත් බෑ. එළියයි ගඳයි දෙකම හින්ද ඌරා අහලකටවත් යන්න බැරිවෙයි" කෙළියා. ඇඩ්වෙන්චර් එක මොකක්දෝ හඳුනා නොගත් දෙයක් බවට පත්වෙන්නයි යන්නෙ කියල හිතුණත් බෑග තියලා කට්ටියම හිස්අතින් පිටත් වුණා.

ටිකක් වෙලා යනකොට කට්ට කරුවල. ඒත් බණ්ඩෙ කිසිම ගාණක් නැතුව වේගෙන් ඉස්සරහින් යනව. අත්තා සහ පිරිවර මදුරුවො තල තල, පාරෙ තියෙන කටුගාල් වල පැටලි පැටලි, වළවල් වල වැටි වැටී, කයියක් ගහගෙන පස්සෙන් යනව.

"මහත්තුරු ටිකක් සැරෙන් යං" කියල බණ්ඩෙ තවත් වේගෙ වැඩි කරනව. ඔහොම ගිහින් කැලේ මායිම ගාව බණ්ඩෙ නතර වුණා.

"මහත්තයො, මෙතන ඉදන් කතා බතා බෑ. මදුරුවො තලන්නත් බෑ. කැස්සක් කිඹුහුමක් වුණත් නවත්තගත්තෙ නැත්නම් දඩයම වරදින්න පුළුවන්." කියල බණ්ඩෙ ආය පිටත් වුණා. මදෑ කොළා. දැන් මොනව කරන්නද? කට්ටිය පුළුවන් තරම් නිහඩව බණ්ඩෙ පිටිපස්සෙන් ගියා.

සපත්තු සද්දෙටයි, මගදි කටු ගාල් වලට සීරෙනකොට නොදැනීම කටින් පිටවෙන වචන වලටයි සුටුපුටු ගගා ඇහෙන නෑහෙන ගාණට බැණ බැණ බණ්ඩෙ හැතැප්ම බාගයක් විතර කැලේ ඇතුලට ගිහින් ගලක් උඩ කෙලින්කටින් ඉදගත්තෙ පිරිසටත් ඉඳගන්න සංඥා කරන ගමන්.

එහෙම ඉදගත්තු බණ්ඩෙ තුවක්කුව දණිස් දෙක උඩ හරහට තියාගෙන නිදන්න පටන්ගත්තා. මේ මොන කෝලමක්ද? කට්ටිය සුටුපුටු ගානකොට බණ්ඩෙ ඔලුව උස්සලා රැව්වා රැවිල්ලක් කට්ටිය සයිලන්ට්.

ඔහොම පැය එකහමාරක් දෙකක් බණ්ඩෙ නිදාගත්තා. කට්ටියට දැන් වැඩේ ඇතිවෙලා. ඒත් මොනව කරන්නද? ආපහු යන්න පාර දන්නෙත් නෑ. දත්මිටි කකා, හිතින් බැණ බැණ මදුරුවො එලවනව ඇරෙන්න කරන්න දේකුත් නෑ. කතාබහත් තහනම්. අඩුම ගානෙ මූත්‍රා කරන්නවත් බෑ. ඒකත් තහනම්.

"ඩෝං" ගාල එකපාරට බණ්ඩෙගෙ තුවක්කුව පත්තු වෙනකොට කට්ටියගෙ ඉවසීමේ සීමාව පැනලා ගොඩක් වෙලා.

"මහත්තුරු යමු අද වෙලාව හොඳා" බණ්ඩෙ කිව්වේ නිදාගෙන හිටපු බණ්ඩෙ හිතාමතා තුවක්කුව පතතු කළාද, නැත්නම් ඉබේ පත්තු වුණාද, කොහෙටද වෙඩි තිබ්බෙ වගේ දේවල් මොකවත්ම හිතාගන්න බැරුව කට්ටිය ගල්වෙලා ඉන්නකොට.

ටෝච් පත්තු කරන්න එපා කියපු බණ්ඩෙ ඉණේ ගහගෙන හිටපු කෑලි හයේ ටෝච් එක අරන් පත්තු කරගෙන ඉස්සර වුණා. වාඩිවෙලා හිටපු ගලේ ඉදන් යාර පනහක් හැත්තෑ පහක් විතර ගිහින් "වාසනාවන්" කියපු බණ්ඩේ පඳුරක් මුලට ටෝච් එක ඇල්ලුව.

වාසනාවම තමයි. අගල් හයක් විතර දිගට දළ දෙක ආපු තඩි වල් ඌරෙක් පඳුර මුල පස් කා⁣ගෙන වැටිල හිටිය. බණ්ඩෙගෙ උණ්ඩෙ මහ දවාලක පෙනි පෙනී තිබ්බ වගේ ඌරගෙ බෙල්ලෙ වම් පැත්තෙන් ඇතුල් වෙලා දකුණු කණට පහලින් මස් කුට්ටියකුත් කඩාගෙන එළියට ගිහින් තිබ්බ.
බැලු බැල්මට පඬරැල වගේ හිටියට ඌරව උස්සල කරේ තියාගෙන තුවක්කුවත් එක අතකින් අල්ලගෙන එක හුස්මට ගෙදරට උස්සාගෙන ආවෙ බණ්ඩෙ. දඩයම් පිරිවර යද්දී ගහන්න බැරිවුණ කයියත් ගහගෙන ඊට පිටිපස්සෙන් ගෙදර ආවලු.

ඒ ඌරගෙන් කපලා බණ්ඩෙ දීපු ගාතෙ පහුවදා දවසම කිතුල් රා එක්ක කෑවත් ඉවර කරගන්න බැරිවුණාලු.

මේ කතාව අත්තා මට දහපාරක් විතර කියල තියෙනවා. මං හිතන්නෙ මට ගොඩක්ම පුංචි කරුණු පවා කතන්දරයක් වගේ මතක හිටල තියෙන්නෙ ඒකයි. කතාවේ රසවත් බව රැකගන්න මමත් ටිකක් ඔපමට්ටම් කරපු බව ඇත්ත. ඒත් කතාවෙ සියලුම කරුණු අත්තා කියපු දේවල්ම තමයි.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...