Tuesday, April 14, 2020

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ අවුල

1. ගැලරි පිනවීම
සැබැවින්ම එය ක්‍රියාත්මක නොවී, ක්‍රියාත්මක කරන බවට කරන තර්ජන හරහා ගැලරි පිනවීමේ දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව බැලු බැල්මට පෙනී යාම.

2. අපේක්ෂිත අරමුණු ඉටු නොවීම
අධිකරණ මගින් වරදකරුවන් කරන පුද්ගලයින් සමාජයට වැඩදායී ලෙස පුනරුත්ථාපනය කිරීම සදහා කළහැකි වඩා ප්‍රමුඛ දේ බොහෝ තිබියදී, ඒවා නොසළකා, මරණීය දණ්ඩනය ස්පර්ශ කිරීම ප්‍රායෝගික වශයෙන් ඉතා දුරස්ථ උපක්‍රමයක් වීම හරහා එයින් ලැබෙන ප්‍රතිඵලවල ඇති දුප්පත්කම.

3. ඇතැම් වැරදි කළ අයගෙනුත් ඇතැම් අයට පමණක්
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම නිවැරදි යැයි මොහොතකට කල්පනා කළද, එය පොදු ප්‍රතිපත්තියක් වශයෙන් සැමට සමාන ලෙස ක්‍රියාත්මක නොකර, මරණීය දණ්ඩනය නියම වූ ඇතැම් වැරදි කළ, ඇතැම් අයට පමණක් ක්‍රියාත්මක කිරීමට යාම සමානාත්මතා මූලධර්මය දැඩි ලෙස උල්ලංඝනය කරන්නක් වීම.

4. සර්වබලධාරී
මරණීය දණ්ඩනය නියම කරනු ලබන්නේ විනිවිදභාවයකින් යුතු ප්‍රසිද්ධ නඩු විභාග හරහා වුවද, අදාළ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා පුද්ගලයන් තෝරගනු ලබන පදනම මේ දක්වාම පැහැදිලි නැත. එය විනිවිදභාවයකින් තොර, හුදු පුද්ගලබද්ධතා මත පමණක් පදනම් වන රහස්‍ය ක්‍රියාවලියක් වූ විට නිතැතින්ම ජනාධිපතිවරයාට සර්වබලධාරීත්වයක් ආරෝපණය වීම සහ ඒ හරහා මෙහි ලිය නොහැකි තරම් අන්ත දූෂිත යාන්ත්‍රණයක් හා ලාභ ලබන ව්‍යාපාරයක් බිහිවීමේ අවදානම

5. දූෂණ වලට මිළක් ලැබීම
යම් යම් වැරදි සදහා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන බව ප්‍රසිද්ධියට පත්වූ කල අල්ලස, දූෂණය, පගාව ආදියෙන් බරපතළ වැරදි ගොඩින් බේරාගන්නා තැනට පොහොසත් අපරාධකරුවන් බොහොමයක් තල්ලු වීම සහ එවන් උත්සාහයන් සාර්ථක වීමට සැළකියයුතු ඉඩක් පැවතීම.

6. ගෝලීය ප්‍රතිචාර
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන රටක් බවට පත්වූ කල, එයට එල්ල වන ගෝලීය ප්‍රතිචාර හරහා සම්බාධක, බදු සහන අහිමි වීම වැනි ශ්‍රී ලංකාව දණගැස්වී පස්ස බිම ඇණෙන ප්‍රතිවිපාක ඇතිවීමේ අවදානම. (ඇමරිකාවද මරණ දඩුවම ක්‍රියාත්මක කරන බව කියා අපි කළාම වැරදිදැයි ඇසීම තර්කයක් වශයෙන් නිවැරදි වුවද ප්‍රායෝගික තලයේදී ලෝකය ක්‍රියාත්මක වන ස්වභාවය මෙහිදී අවබෝධ කරගත යුතුය)

7. එනයින්ම එහි ඇති අසාර්ථක බව
වරද සදහා සමාජ ඉල්ලීමක් ඇත්තේනම් මළ එකා කළ දේ එතැනට ඊළගට එන එකා ඊටත් වඩා ප්‍රවේශම් සහිතව දේශපාලන සම්බන්ධතා සහිතව කරනු ඇත. ඒ අනුව මරණ දඩුවම ලැබිය හැකි ජාවාරම්කරුවන් තමන් දරණ අවදානමට සමපාත වන ලෙස ඒ කළු භාණ්ඩවල මිළ තව තවත් ඉහළ දමනු ඇති අතර ඒ හරහා ඔවුන් තව තවත් ආර්ථික වශයෙන් බලවත් වීම අනිවාර්යයෙන්ම සිදුවේ.

8. පලිගැනීමේ සහ ආණ්ඩුමට්ටු මෙවලමක්
කුඩු සම්බන්ධ නඩු දැනටමත් ඉතා ප්‍රබල පලිගැනීමේ සහ ආණ්ඩුමට්ටු මෙවලමකි. ඕනෑම පුද්ගලයෙකුට ඉතා පහසුවෙන් තවත් අයෙකුගේ පෞද්ගලික බඩු බාහිරාදිය අතරට කුඩු පැකට්ටුවක් දමා ඔහු කුඩුකාරයෙකු කළ හැක. "වැඩිය දැගලුවොත් තොට කුඩු පැකට් එකක් දාලා ඇතුලට අරිනවා" යන්න බලැත්තවුන් තමන්ට අඩංගු නොවූවන් ආණ්ඩුමට්ටු කොට අවනත කරගැනීමට පාවිච්චි කරන ප්‍රකට තර්ජනයකි. එය සැබැවින්ම පහරදීමට, අතපය කපාදැමීමට, කඩාදැමීමට කරන තර්ජනයකට වඩා බියකරු වූවකි. මන්ද කුඩු නඩුවලට ඇප දෙන්නේ මහාධිකරණයෙන් සුවිශේෂී හේතු මත පමණි. සාමාන්‍යයෙන් රස පරීක්ෂක වාර්තා පැමිණ විමර්ශන අවසන් වනතුරු අවම වශයෙන් වසරක් පමණ බන්ධනාගාරගතව සිටීමට සිදුවීම සිරිතය. එය හිතාමතා වරදකට හසුකරන ලද නිර්දෝෂී පුද්ගලයෙකුට දැනටමත් කෙතරම් මාරකදැයි වටහා ගැනීමට එම කරුණ පමණක් සෑහේ. කුඩු නඩු වලට එල්ලීමට පටන්ගැනීම පෙරකී මාදිලියේ තර්ජනයක් බියගැන්වීමක් හමුවේ ඕනෑම දෙයක් කිරීමට සිදුවන තැනට බියපත් සාමාන්‍ය වැසියෙකු තවදුරටත් පොළඹවනු ඇත. එය කිසිසේත් යහපත් තත්වයක් නොවේ.

9. අමානුෂිකත්වය
ආගමික ඉගැන්වීම් කුමක්වුවද, ප්‍රායෝගික නූතනත්වයේ පිළිගැනීම අනුව පුද්ගලයින් හොඳ හෝ නරක කරන්නේ ඔවුන් ජීවත්ව සිටින තාක් පමණි. වරදක් කළ එකෙකු අමානුෂික ලෙස මරා දැමීම හරහා වරද අවසන් වන්නේ යැයි සිතීම මුළාවකි.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...