Monday, April 13, 2020

සුබපැතුම්!

ලැබෙන තොරතුරු අනුව ගෝඨාභය රාජපක්ෂ ශ්රී ලංකාවේ 7වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන බව පැහැදිලිය. සියලු නොගැලපීම් පසෙක ලූ කල ඔහු දේශපාලනයට අලුත් මිනිසෙකි. එබැවින් ඔහුට ඡන්දය දුන් නොදුන් කාහටත් ඔහු යටතේ බිහි වනු ඇති නව පාලනයක් සම්බන්ධයෙන් පහන් වූ යහපත් වූ බලාපොරොත්තු තබාගැනීමට හැකියාව ලැබේ. එබැවින් පළමු කොටම ඔහුගේ ජයග්රහණය සඳහා ඉත සිතින් සුබපතමි.

නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් හොඳ තරගයක් ලබාදුන්නද එය ජයග්රහණයෙන් කෙළවර කරගැනීමට අසමත් විය. එම අසමත් භාවයට හේතු මම 2019 නොවැම්බර් 30 දින සටහනක් තබන ලදී. එම ලිපියේ සඳහන් කළ පරිදිම එකී දුර්වලතා ඔවුන් ලබමින් සිටින ඡන්ද ප්රතිඵලයෙන් විද්යාමාන වෙමින් තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා තේරී පත්වන්නේ ඔහුට ඡන්දය දුන් නොදුන් සියලුම ශ්රී ලාංකීය ජනතාවගේ ජනාධිපතිවරයා වශයෙනි. ඔහු නියෝජනය කරන කඳවුර සහ රටේ සුළු ජාතීන් අතර ඉතා පැහැදිලිව බෙදා වෙන්කළ හැකි එදිරිවාදී රේඛාවක් මෙම ප්රතිඵලය හරහා පෙනෙන්නට තිබුණි. එය පියෙකුගේ දෘෂ්ටිකෝණයෙන් කියවාගෙන සමනය කරගන්නවාද නැතහොත් තවදුරටත් වර්ධනය කොට මහා අර්බුදයක් නිර්මාණය කරගන්නවාද යන්න තීරණය කිරීම ඔබට භාරය. මන්ද මා විශ්වාස කරන අන්දමට එම බෙදීමේ රේඛාව නිර්මාණය කිරීමට ප්රධානම කාර්යභාරය ඔබ කඳවුර නියෝජනය කරන්නන් විසින් ඉටු කොට තිබෙන බව ඉතා පැහැදිලිවම පෙනෙන්නට තිබේ. මේ මොහොතේ ඔබ සිංහල ජනතාවගේ නායකයා ලෙස ඔවුන් අභිෂේක කරනුද දැකිය හැකිය. නමුත් ඔබ සමස්ථ ශ්රී ලාංකිකයන්ගේ භාරකරුවාය. එය කිසිසේත් අමතක නොකළ යුතුමය. එය ශ්රී ලංකාවේ අභිනව රාජ්ය නායකයා ලෙස ඔබතුමන්ට පැවරෙන මූලිකම, වැදගත්ම සහ භාරදූරම භූමිකාව වනු ඇත.

රටේ ආර්ථිකය (මුදල් ගලා යාමේ ක්රියාවලිය) යහපත් තත්වයකට ගෙන ඒම, රටේ විශ්වසනීය ආරක්ෂක වාතාවරණයක් ඇතිකිරීම ඔබට භාර අනෙකුත් කාර්යයන් වේ.

ඊට අමතරව මානව නිදහස, මාධ්ය නිදහස, අදහස් ප්රකාශ කිරීමේ නිදහස, ප්රජාතන්ත්රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්යය වැනි ඔබතුමන් මීට පෙර යහපත් නමක් දිනාගෙන නැති ක්ෂේත්ර සම්බන්ධයෙන් ඔබතුමන්ගේ ක්රියාකළාපය කෙසේ වේදැයි අප දැඩි උනන්දුවෙන් බලා සිටිමු. ඒ අතර විශේෂයෙන්ම ඔබතුමාට එරෙහිව දැනට පවත්නා නඩු කටයුතු සම්බන්ධයෙන් ඔබගේ ක්රියාකළාපය, දැනට දඬුවම් විඳින ඇතැම් පුද්ගලයන්ට සමාව දීම සම්බන්ධයෙන් ඔබේ ප්රතිපත්තිය අවධානයට ලක්වේ.

සිංගප්පූරුව දියුණු රටක් බවට පත්කළ ලී ක්වාන් යූට සහ මැලේසියාවේ අසහාය නායක මහතීර් මොහොමඩ්ට ඇතැම් අය ඔබ උපමා කරනු මම දුටුවෙමි. සත්යයකි. ඔබ සහ එකී නායකයන් අතර යම් යම් සමානකම් දක්නට ඇත. එකී සාධනීය සමානකම් ඔබ හොඳින් භාවිත කළහොත් ඔබේ වැඩිමහල් සහෝදරයා යුද්ධය අවසන් කළ දේශපාලන නායකයා වද්දී රට ගොඩනැගූ නායකයා ලෙස ඉතිහාසයේ නොමැකෙන නමක් දිනාගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. ඔබට ඒ සදහා ශක්තිය ධෛර්යය ප්රාර්ථනා කරන අතරම එහිදී ඔබට මුහුණ දීමට ඇති අභියෝග ඇත්තේ ඔබගේ කඳවුර තුලම බවද සිහිපත් කරනු කැමැත්තෙමි.

ජනතාව පැහැදිලි තීන්දුවක් ලබාදී ඇත. විශ්වාස භංග යෝජනාවකින් ඉවත් කරන තුරු හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන තුරු ජනාධිපතිවරයාගේ කැමැත්ත ඇතිව හෝ නැතිව අගමැති ධුරයේ රැඳී සිටීමට රනිල් වික්රමසිංහ මහතාට ව්යවස්ථාමය හෝ නීතිමය බාධාවක් නැතත් මම විශ්වාස කරන අයුරින් ඔහු මේ මොහොතේ රටේ ජාතික නායකත්වයේ වෙනසක් වෙනුවෙන් පලවූ ජනමතයට ගරු කොට නව පාර්ලිමේන්තුවක් පත්කරගැනීම සඳහා ඉඩ ප්රස්තාව සැළසෙන පරිදි පාර්ලිමේන්තුව කල් ඇතිව විසිරවීමේ යෝජනාවක් සදහා සහයෝගය දීම වඩාත් අවස්ථාවෝචිත බව මගේ හැඟීමයි. තව ගමන් කළ හැකි විකල්ප මාවත් ගණනාවක් පැවතියද එය රටේ තත්වය යහපත් බවට පත් නොකරනු ඇත.

එබැවින් ගෞරවනීය ලෙස ඉවත්වී වඩාත් බුද්ධියෙන් පොහොසත් නවමු මිනිසුන්ගෙන් සන්නද්ධව ඉදිරි කාලයේ දේශපාලන තරඟබිමට අවතීර්ණ වීම එජාපයට ඇති හොඳම විකල්පයයි. එහිදී 2015 පරාජයෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා ක්රියාත්මක කළ වැඩපිළිවෙලින් (ජාතිවාදය පැතිරවීම හැර) එජාපයට බොහෝ දෑ ඉගෙනීමට තිබේ.

ජාතික ජනබලවේගය විසින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලද ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අපේක්ෂා කරන තරමටම නැතත් සැළකියයුතු ජනතා අවධානයක් තමන්ට ඇති බව සනාථ කර ඇත. ඔවුන් පොහොට්ටුවට හෝ එජාපයට හේත්තු වීමකින් තොරව තම අනන්යතාවය ආරක්ෂා කරගනිමින් තව දශකයක් පමණ ඉවසිලිවන්තව උපක්රමශීලීව කටයුතු කිරීමට තීරණය කරන්නේ නම්, අනාගතය නිසැකවම ඔවුන් වෙනුවෙන් බලා සිටී. ඔවුන් සිදුකළ යුත්තේ අනවශ්ය කඩිමුඩිය අතහැර කෙටිමාවත් තෝරාගැනීමෙන් වැලකී ඉවසිලිවන්තව ස්ථිරසාරව පියවර තැබීම පමණි. ඒ සඳහා ඔවුන්ට සුබපතන අතර ශක්තිය ධෛර්යය ප්රාර්ථනා කරමි.

විකල්ප වශයෙන් ඉදිරිපත් වූ රොහාන් පල්ලෙවත්ත සහ මහේෂ් සේනානායක යන මහත්වරුන් විකල්පය කුමක්දැයි ජනතාවට අවබෝධ කරවීමට අසමත් වී ඇති බව සනාථ විය. එසේත් නැතිනම් ඔවුන් විකල්පයක් පිළිබඳව සාකච්ඡාව ඇරඹුවේ නොගැලපෙන වේලාවකදීය. මහේෂ් සේනානායක පිළිබඳව කෙසේ වෙතත් රොහාන් පල්ලෙවත්ත යනු රට දියුණු කිරීමට ප්රායෝගික සැළැස්මක් ඇති දක්ෂයෙකු බව මම විශ්වාස කරමි. ඔහුගේ ප්රවේශය මීට වඩා ප්රායෝගික සැළැස්මක් යටතේ මහ මැතිවරණය ඉලක්ක කලේ නම් මීට වඩා වැඩි වටිනාකමක් ලැබීමට ඉඩතිබුණි.

⁣2015දී මෙන් නොව මෙම ජනාධිපතිවරණයේදී මම කිසිදු අපේක්ෂකයෙකු වෙනුවෙන් ජනාධිපතිවරණ සටනට සක්රීයව අවතීර්ණ වූයේ නැත. එ් සඳහා මටම ආවේණික හේතු තිබුණි. අන් අයට වඩා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වනවාට මගේ තිබූ අකමැත්ත පමණක් ප්රකාශ කළ මම නිකම් සිටියෙමි. එයට හේතුව ගෝඨාභය රාජපක්ෂ මහතා මම මහත් සේ අගය කරන දේශපාලන සංකල්ප පිළිබඳව ඔහුගේ අතීත හැසිරීම තුල දක්වන ලද නිර්දය ආකල්පය වීමය. එය ප්රකාශ කිරිමද හැකි උපරිම ගෞරවනීය ලෙස මහත්මා විවේචන තුලින් සිදුකිරීමට මම නිරන්තරයෙන්ම උත්සාහ කළෙමි. කොටින්ම මම ගෞරවනීය සටන්කරුවෙකු ලෙස කටයුතු කළෙමැයි මම විශ්වාස කරමි.

මාගේ ඉහත කී දේශපාලන භාවිතාව තුල මාගේ සටහන් තුලින් කිසිවෙකුගේ සිත් වේදනා ඇතිවන වචනයක් හෝ ජනාධිපතිවරණ කාලසීමාව තුල පිටවී ඇතැයි මම නොසිතමි. එබැවින් බොහෝ දෙනා මේ මොහොතේ පලකරනු ලබන පශ්චාත් ජනාධිපතිවරණ ප්රකාශ වල මෙන් ජනාධිපතිවරණ තරඟය තුල කළ කී දෑ වලින් කිසිවෙකුට සිත් වේදනාවක් වී නම් සමාවන ලෙස ඉල්ලා සිටීමේ අවශ්‍යතාවයක් මට තිබෙන්නේ යැයි මම අවංකවම නොසිතමි.

ජනාධිපතිවරණය අවසානය. මේ මොහොතේ සිට නැවත පුරුදු පැවැත්මට අවතීර්ණ විය යුතුය. එය නීති වෘත්තිය මෙන්ම විචාරකයෙකු ලෙස සුපුරුදු භූමිකාව ඉටුකිරීමක් වනු ඇත. ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ පාලන සමය තුල නිදහසක් ලැබෙනු ඇතැයිද, මාගේ එම නිදහස ⁣යම් අවස්ථාවක උල්ලංඝනය වේ නම් මාගේ හිතවතුන් දේශපාලන භේදයකින් තොරව මා වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයිද සිතමි.

දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු වෙනුවෙන් නැවත සක්‍රීය දේශපාලන ව්‍යාපාරයේ නොයෙදෙන්නේ යැයි මම නොකියමි. නමුත් ඒ කවදා කෙසේදැයි අවිනිශ්චිතය. මා යම් යම් අවස්ථා වල සහය පලකරන ලද දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මාගෙන් ගතහැකි ප්‍රයෝජන වලින් අඩක් හෝ ලබා නොගත් බවට ආත්මාර්ථකාමී විවේචනයක් පමණක් මට ඉතිරිව ඇත.

ඉතින් සතුටු වූ අසතුටු වූ සියලුදෙනාට සුබපතමි. කිසිවක් පරම ඇරඹුමක් හෝ පරම අවසානයක් නොවන බවත් අඛණ්ඩ ගලායාමක එක් නිමේෂයක් පමණක් බවත් සිහි තබාගැනීම මැනවි.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...