Wednesday, April 15, 2020

A Private War

මරී කොල්වින් යැයි කියූ පමණින් ඔබට ඇයව සිහියට නැගේ යැයි මම නොසිතමි. නමුත් 2001 දී ශ‍්‍රී ලංකා රජයේ අවසරයක් නොමැතිව උතුරේ එල් ටී ටී ඊ පාළන ප‍්‍රදේශවල වාර්තාකරණයේ යෙදෙමින් සිටියදී අත් බෝම්බ ප‍්‍රහාරයකින් ඇසක් අහිමි කරගත් බ‍්‍රිතාන්‍ය සන්ඩේ ටයිම්ස් මාධ්‍යවේදිනිය කියූ විට ඇය පිළිබදව යම් මතකයක් අවදි වනු ඇත.

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට හොරෙන් උතුරට රිංගා ප‍්‍රභාකරන් හා තමිල් චෙල්වම්ගේ පට්ට බේගල් සත්‍යාපනය කිරීම සදහා ඔත්තු බලමින් සිටියදී ඇසකට කෙළවාගෙන තව මදිවී ඩොලර් වලට අනුන්ගේ මගුල් හොයන්නට ගොස් 2012 වසරේ සිරියාවේදී විහින් කෙළවාගත් සුදු බැල්ලිය යනුවෙන් බොහෝ දෙනා හැදින්වූයේ ඇය බව කී විට නම් ඇය කවුදැයි සිහිපත් වනු නියතය. ඔව්. ඇය මියගිය බව වාර්තා වූ පසුව මාගේ එක්තරා ෆේස්බුක් මිතුරෙකු ඇය ගැන සටහනක් තබා තිබුණේ එසේය. A Private War යනු ඇයගේ කතාවය.

යුද්ධයකදී හෝ අරගලයකදී නොව වෙනත් කටයුත්තකදී පවා මාධ්‍ය වාර්තාකරණයේ භූමිකාව කුමක්දැයි ශ‍්‍රී ලංකාවේ වැඩිදෙනාට තවමත් අවබෝධයක් නොමැත. එක් පාර්ශවයකට හෝ පුද්ගලයෙකුට වාසි සහගත වන අයුරින් කරුණු වාර්තා කිරීම ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතාවේ සාමාන්‍ය තත්වය වන අතර ඇතැමුන් එය ජාතික මෙහෙවරක් ලෙසද කල්පනා කරනු පෙනේ.

වරප‍්‍රසාද ලත් පාර්ශවයේ හෝ පුද්ගලයාගේ කතාව කියන්නට හෝ වාර්තා කරන්නට ප‍්‍රමාණවත් මාධ්‍ය ආවරණයක් හැමවිටම ලැබේ. නමුත් වරප‍්‍රසාද අහිමි ප‍්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියට පැමිණීමට නොහැකි පාර්ශවයන්ට හා අදාළ අරගලයන්ට කිසිදු සම්බන්ධයක් නැති අහිංසකයන්ටද කියන්නට කතාවක් ඇත. බොහෝ විට මරී කොල්වින්ගේ භූමිකාව වූයේ යම් සිද්ධියක එම නොඇසෙන නොපෙනෙන පැත්ත ලෝකය හමුවේ අනාවරණය කිරීමය.

එය කිසිසේත් ජනප‍්‍රිය භූමිකාවක් නොවන්නේමය. මන්ද අදාළ අරගලය පවතින රටේම ඉපිද ඔබ එය අපක්ෂපාතීව දකින්නට විග‍්‍රහ කරන්නට උත්සාහ කළහොත් ඔබ ද්රෝහියෙකු බවට පත් කෙරෙනු ඇත. ඔබේ නොවන රටක ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් ඔබ එවැනි විග‍්‍රහයක යෙදෙන කල ඔබ ඩොලර් වලට පෙරේතකමේ කටුකන බල්ලෙකු හෝ බැල්ලියකැයි කියනු ඇත. නමුත් එසේ බණින කිසිවෙකු සැබෑ අපක්ෂපාතී මාධ්‍යකරණය එනම් සිදුවූ දෙය ඇති සැටියෙන් වාර්තා කිරීමේ අරුත වටහා නොගනු ඇත.

සැබෑ මාධ්‍යකරුවෙකු අති ප‍්‍රබල වෘත්තීමය පෞරුෂයකට හිමිකම් කියන්නේය. ලොව ඔ්නෑම ප‍්‍රබල දේශපාලනඥයෙකු හෝ වෙනයම් බලවතෙකු හෝ සමග සම මට්ටමේ සිටිමින් අභියෝගාත්මකව ප‍්‍රශ්න විචාරීමේ හැකියාව සැබෑ මාධ්‍යකරුවා සතු විය යුතුය. ශ‍්‍රී ලංකාවේ එවැනි මාධ්‍යකරුවන් දක්නට ලැබෙන්නේ අතලොස්සකි. එබැවින් තමන්ගේ පෞද්ගලික දේශපාලන මතවාද තම තමන්ගේ මාධ්‍ය කඩ හරහා ජනගත කරන්නට උත්සාහ කරන මාධ්‍ය මුදලාලිලාට සහ ඒම මුදලාලිලා යටතේ කුලියට මුට්ට කරගහන මාධ්‍ය කම්කරුවන්ට මරී කොල්වින් චරිතයෙන් උගත හැකි දේ බොහෝය.

මෙම චිත‍්‍රපටය අර්ධ වාර්තාමය ස්වරූපයෙන් යුක්ත වේ. 2001 වසරේ ශ‍්‍රී ලංකාවේදී ඇසක් අහිමි වන අවස්ථාවේ පටන් 2012 සිරියාවේදී ජීවිතය අහිමි වන අවස්ථාව දක්වා මරී කොල්වින්ගේ ජීවිතයේ තීරණාත්මක හැළ හැප්පුම් මෙම චිත‍්‍රපටය තුලින් විද්‍යාමාන වේ. සැබෑ යුධ පුවත් වාර්තාකරුවකුගේ ජීවිතය එයට අදාළ කැපවීම ඒ නිසා අහිමි වන දේවල් අපක්ෂපාතීත්වය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම අවදානම අලාභහානි යනාදී සියල්ල මෙම විනාඩි එකසිය දහය තුල ඇතුලත් වේ.

මම සැබැවින්ම එය ඉතා ආශාවෙන් නැරඹුවෙමි. මමද කළක් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ සිටීමත් පුවත්පත් තීරු ලිපි රචකයෙකු වීම කලකට ඉහත මාගේ ප‍්‍රධාන සිහිනය හා ඉලක්කය වීමත් එම ආශාවට හේතු වන්නට ඇත. එවැනි ආශාවක් ඇති අය මෙම චිත‍්‍රපටයට මා මෙන්ම ඇලුම් කරනු ඇත. නමුත් වාර්තාකරණය අපක්ෂපාතී විය යුතුයැයි එළිපිට කිව්වද ඇතුලතින් "එය අපිට වාසි විදියට කරගන්නේ කොහොමද?" යැයි කල්පනා කරන අයෙකුට මෙම චිත‍්‍රපටයේ කිසිදු වැදගත්කමක් නොපෙනෙනු ඇත.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...