Sunday, June 13, 2021

දේශපාලන වහල්භාවය



මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි සිද්ධ වෙන්නෙ. ඒ නිසා දේශපාලනික වහල්භාවය කියන්නෙ මොකක්ද කියන දේ හරිහැටි තෝරා බේරා ගැනීම වැදගත්.

සරළව වහලෙක් කියන්නෙ තමන්ට තමන් පිළිබඳව අයිතියක් නැති මිනිහෙක්. ඒ කියන්නෙ වහල් හිමියාගේ දෘෂ්ටිකෝණයෙන් ගත්තොත් වහලා මනුස්සයෙක් විදියට නොව තමන්ගෙ දේපලක් ලෙස තමයි සළකනු ලබන්නෙ. ලෝකයේ වහල්භාවය පිළිබඳව විවිධ ඉතිහාස කතා තිබෙනවා. විශේෂයෙන්ම ඇමෙරිකාවේ වහල්භාවය සහ වහල් මෙහෙයට විරුද්ධ සටන අධ්‍යයනය කිරීම කෙනෙකුට ඉතාම කුතුහලය දනවන රසවත් ක්ෂේත්‍රයක්.

දේශපාලනිකව වහල් වීම මතවාදී දෙයක්. එය ශ්‍රමික වහල්භාවයට වඩා වෙනස්. ඒනිසා ඒ වහල් වීම බලහත්කාරයෙන් සිදුවනවාට වඩා එක්කෝ රැවටීමෙන්, වරදාන වරප්‍රසාද ලබාදීමෙන් හෝ ස්වේච්ඡාවෙන්ම වෙන දෙයක්. ඒ වහල්භාවය පුද්ගලයෙකුට, පුද්ගල කණ්ඩායමකට සමහරවිට දේශපාලන මතවාදයකට යනාදී වශයෙන් හඳුනාගන්න පුළුවන්.

කෙනෙකුට කිව හැකියි වහල් වීම ස්වේච්ඡාවෙන්ම වූ විට ඒ තමන්ගේ අයිතිය බව. ඇත්ත. ඒ තමන්ගේ අයිතිය. ඒ වගේම ඒ අයිතියත් සමඟ "වහලා" කියන නම පටබැඳීම වලක්වනනට බැහැ.

දේශපාලනික වහලා ඇතැම්විට තමන්ගේ වහල් හිමියා කරන කියන ඕනෑම දෙයක් අනුමත කරනවා. ඇතැම් විට සිතින් අනුමත නොකළත් ප්‍රකාශ කරන්නේ අනුමත කරන බව. එහෙමත් නැත්නම් වහල් හිමියා කරන දෙය නොදැක්කා සේ සිටිනවා.

වහලුන් අතර භක්තිමත් වහලුන් සිටිනවා. එවන් අයට 'අහේතුක දේශපාලන වහලුන්' යැයි කියන්නම්. ඔවුන් සැබැවින්ම දේශපාලනික සාක්ෂරතාවක් නොමැතිවීම, බුද්ධිමය ඌණතා, උපතේ සිට පවත්නා හෝ පසුව ඇතිවූ මුග්ධභාවය හෝ වෙනත් යම් කරුණක් නිසා වහල් හිමියාට ඉතා ආදරය කරන බැතිමතුන්. මෙවන් අය වහල් හිමියාට සිදුකරන බැණ වැදීමකින් විවේචනයකින් බොහෝ අධික කම්පනයට, කෝපයට හෝ වේදනාවට පත්වනවා. වහල් හිමියා වෙනුවෙන් කරුණු කීම හෝ වහල් හිමියා වෙනුවට ලෝකාපවාදයට පත්වීම තම පරම යුතුකමක් ලෙස මොවුන් සළකනවා. ඒ හේතුවෙන් වහල් හිමියාගේ සුදුහුණු ආලේප කිරීමට ගොස් දැඩි අපහසුතාවයත් කෝපයටත් පත්වීම මෙවන් වහලුන් එදිනෙදා මුහුණ දෙන සාමාන්‍ය සංසිද්ධියක්.

එවැනි භක්තිමත් භාවයක් නැතත් ක්‍රියාත්මක මට්ටමේදී වහල්භාවය ප්‍රකට කරන දේශපාලන වහලුන් සිටිනවා. ඒකට මම 'සහේතුක දේශපාලන වහල්භාවය' කියන්නම්.

එහෙම සිදුවෙන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ නම් දේශපාලන වහල්භාවයට ප්‍රධාන හේතුව පාරම්පරික උරුමය. "අපේ සීයා අහවල් පක්ෂෙ. තාත්තාත් ඒ පක්ෂෙ. ඉතින් මමත් ඒ පක්ෂෙ. වයිෆ් ඉස්සර අර පක්ෂෙ. මාව බැන්දට පස්සෙ මේ පක්ෂෙ" යනාදී වශයෙන් දේශපාලනයේ පාරම්පරික උරුමය ඇතැම්විට ආඩම්බරයෙන් පවසන පුද්ගලයන් ඔබට හමුවී ඇති. ඔවුන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ පාරම්පරික වහල් භාවය. මන්ද ඔවුන් කිසිම තැනකදී තම දේශපාලන මතය උපතින් උරුම වීම මත කරපින්නා ගන්නවා විනා එය නිවැරදි මතයද යන්න විමසීමට උනන්දු වන්නේ නැහැ.

තවත් හේතුවක් තමයි වරදාන හා වරප්‍රසාද. ඒක කොටස් දෙකකට ගන්න පුළුවන්.

එකක් තමයි යම් දේශපාලන පක්ෂයක් බලයේ සිටින විට තමන්ට හෝ සමීපතමයෙකුට රැකියා, තාන්න මාන්න, ඉඩම්, නිවාස ආදිය ලැබී තිබීම. එවිට එවැනි අය තම දේශපාලන තීරණයකදී ඉහත කී තාන්න මාන්න දේපල ලැබීම මිස අන් කිසිවක්ම කිසිසේත්ම සැළකිල්ලට ගන්නේ නැහැ.

අනෙක් වරදාන ලාභී පිරිස තමයි තමන් සිදුකරන ව්‍යාපාරයට හෝ ජීවනෝපායට දේශපාලන හයිය අවශ්‍ය අය. උදාහරණයක් ලෙස කසිප්පු වෙළඳාම කරන කෙනෙක් නීතියේ රැහැණින් ගැලවී සිටීමට දේශපාලන සබඳතා භාවිත කරනවා. එවිට ඒ සහය ලැබෙන පාර්ශවයට හැර අන් කාටවත් ඔවුන්ගේ දේශපාලන මතය නැඹුරු වන්නේ නැහැ.

මේ වරදාන වරප්‍රසාද මත ස්වේච්ඡාවෙන්ම දේශපාලන වහලුන් බවට පත්වූ පිරිස තමයි ඉතාම භයානක වහලුන් පිරිස. මන්ද ඔවුන් තමාගේ වහල්භාවය ප්‍රශ්න කළ විට ඉතාම තදින් කෝපයට පත්වනසුළුයි. එපමණක් නොව ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට පවා වැඩි නැඹුරුවක් දක්වන්නේ මේ පිරිස.

තවත් පිරිසක් තමයි යම් අතීත මතකයක හෝ මතවාදයක දැඩිව එල්බ සිටින අය. එනම් තමාට හෝ තවන්ගේ සමීපතමයෙකුට යම් පාර්ශවයකින් සිදුවූ යම් බරපතළ හානියක් හෝ අකටයුත්තක් මත ඊට තම ජීවිත කාලය පුරාම එරෙහි වන අය. සාමාන්‍යයෙන් ඕනෑම දෙයක් යල් පණින නමුත් මෙවැනි විරෝධී හැඟීමක් යල් පනින්නේ කළාතුරකින්. එහි යම් සාධාරණ බවකුත් තිබෙනවා. මන්ද තමාට වූ අකටයුත්තේ තරම දන්නේ තමන්. නමුත් ඔවුනුත් ඉන් පසුව එළඹෙන කිසිඳු කරුණක් තර්කානුකූලව සලකා බැලීමකින් තොරව පෙරකී කරුණ මතම දේශපාලන තීරණ ගන්නා බැවින් ඔවුන්ටත් "දේශපාලනික වහලා" යන නම්බුනාමයෙන් ගැලවෙන්නට බැහැ.

තමන් කියවූ යම් පොතක්, නැරඹූ චිත්‍රපටයක්, ඇසූ ගීතයක් වැනි සුළු කාරණාවක් මත සමස්ථ දේශපාලනය තීරණය කරන අයත් මට හමුවී තිබෙනවා. ඒ අයත් තමන් දන්නා ඉතා අල්ප වූ ප්‍රමාණය මත සිතුවිල්ලකට වහල් වූවන්. එක් මාක්ස්වාදී පොතක් කියවා තිබීම මත ඒබ්‍රහම් ලින්කන් චරිතාපදානය නොවැදගත් ධනපති ප්‍රලාපයක් ලෙස සළකා පසෙකට දැමූ අපූරු මාක්ස්වාදියෙකු මට හමුවී තිබෙනවා. මා එයින් උගත්තේ ගැඹුරු දේශපාලන න්‍යායන් අධ්‍යයනයට යම් අවම බුද්ධියක් සහ විවෘත මනසක් තිබිය යුතු බවයි. නැතිනම් තමන මුළින්ම හඳුනාගන්නා දේශපාලන න්‍යායට පුද්ගලයෙකු වහල් වෙන්නට පුළුවන්.

තවත් විවිධාකාර ⁣දේශපාලන වහලුන් සිටින්නට පුළුවන්. ඒත් වැඩි වශයෙන්ම හමුවන්නේ ඉහත කී ආකාරයේ වහලුන්. ඒ අනුව "දේශපාලනික වහල්භාවය" යන්නට නිශ්චිත අර්ථකථනයක් දීම මදක් අපහසු කාරියක්.

"දේශපාලනික වහලෙක් නොවන්නේ කවුරුන්ද?" යන්නට පිළිතුරු සැපයීම ඊට වඩා පහසුයි. මා හඳුනාගන්නා ආකාරයට තමාගේ දේශපාලන ස්ථාවරයට තර්කානුකූල සාධාරණ පැහැදිලි කිරීමක් දෙන්නට සමත් පුද්ගලයා, ඕනෑම දෙයක් ගැන පියවි මනසින් විවෘතව සිතන්නට සමත් පුද්ගලයා දේශපාලන මතයක වහලෙක් නොවේ. නමුත් ඔහුත් ඉහත කී කුමක් හෝ හේතුවක් මත පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක දේශපාලන වහලෙක් වන්නට පුළුවන්.

ඒ සඳහා කුතුහලය දනවන උදාහරණයක් දෙන්නම්. දෙවැනි ලෝක යුද්ධ සමයේ ජර්මන් ඒකාබද්ධ රහස් ඔත්තු සේවයේ ප්‍රධානී ජෙනරාල් වොල්ටර් ස්ටෙලෙන්බර්ග් ගැන හොයා බලන්න. මනසින් වහල් නොවූ තාන්න මාන්න ලාභියෙකු ගැන යම් අසම්පූර්ණ අදහසක් ලැබෙයි. 

පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල බොහෝ සෙයින් සංසරණය වූ පෝස්ටුවක දේශපාලන වහලුන් ගැන ඉතා සිත්ගන්නාසුළු ප්‍රකාශයක් ඇතුලත් වුණා.

"උඹලගේ ෆ්රෙන්ඩ් ලිස්ට් වලත් ඉන්නවද තමන්ගෙ දේශපාලන මතය දරන්නෙ නැති උන්ට වහල්ලු කිය කියා නැහෙන්ඩ හදන මන්දමානසික ඩයල්? මගෙ නම් සෑහෙන්න ඉන්නවා"

ඔය ප්‍රකාශයෙන් දේශපාලන වහල්භාවය පිළිබඳව නිවැරදි අර්ථකථනයක් සපයනවාට වඩා සිදුවන්නේ සිත නිවන අර්ථකථනයක් ලබාදීම බවයි මගේ හැඟීම. මනෝවිශ්ලේෂනාත්මකව බැලූ විට පෙනී යන්නේ එය බොහෝවිට "වහලා" යනුවෙන් ඇමතුම් ලබා එය ගැන බොහෝ කල්පනා කොට තමාගේම වහල්භාවය අවබෝධ කරගත් තැනැත්තෙකු, ඒ පිළිබඳව තමාට තමා කෙරෙහිම ඇතිවූ කෝපය හා ලජ්ජාව සමනය කරගැනීමට ලියන ලද්දක් වීමට වැඩි ඉඩක් පවත්නා බවයි.

Wednesday, June 9, 2021

Fear Psychosis හෙවත් භ්‍රාන්ති මනෝභාවය





පාඩමක් ඉගෙන ගැනීම යනු කුමක්ද? පන්තියක ඉඳ විධිමත්ව ගුරු උපදෙස් මත පොත්පත් පරිශීලනයෙන් පාඩම් උගත හැක. පර්යේෂණ මගින්ද පාඩම් උගත හැක. 

යමක් කළ විට එයට ඇති නිශ්චිත ප්‍රතික්‍රියාවක් අත්දැකීමෙන්ද පාඩම් උගත හැක. ගින්න ස්පර්ශ කරන්නට ගියහොත් අත දැවී යයි. කළු ගලක හිස හප්පාගත් කළ තුවාල වන්නේ කළු ගල නොව හිසයි. තවත් එවැනි පාඩම් ඕනෑතරම් ලැයිස්තුගත කළ හැක. ඔබ අප දිනපතා ඉගෙනගන්නා එවන් වෙනත් පාඩම්ද බොහෝය. 

මෙම සටහනේ හෙඩිම වන fear psychosis හෙවත් භ්‍රාන්ති මනෝභාවය කුමක්ද යන්න නිර්වචනය කරන්නට මා උත්සාහ කරන්නේ නැත. මම උත්සාහ කරන්නේ එහි කපටි දේශපාලනික උපයෝජනය ගැන යමක් කීමට පමණි. 

භ්‍රාන්ති මනෝභාවය තම වාසියට භාවිත කරන්නෙකු පාවිච්චියට ගන්නේ පාඩම් උගැන්ම පිළිබඳව ඉහත දක්වන ලද නියාමයයි. යමක් කළ විට එහි නිශ්චිත ප්‍රතිවිපාකය කුමක්දැයි සමාජයක් හෝ පිරිසක් හමුවේ මවා පෙන්වීමෙන් එම ක්‍රියාව සිදු නොකරන, සිදුකිරීමට බිය වන තත්වයට එම සමාජය හෝ පිරිස පත් කළ හැකිය. ⁣fear psychosis කපටි ලෙස භාවිතයේ ඇති අරුමය නම් එහිදී මවා ⁣පෙන්වන ප්‍රතිවිපාකය මුල් ක්‍රියාවේ අනිවාර්ය ප්‍රතිඵලයක් නොවීමයි. එවන් අවස්ථාවක එම ප්‍රතිවිපාකය සම්පූර්ණයෙන්ම මවා පෙන්⁣වීම හෝ රඟ දැක්වීම සිදුකරනු ලබයි. එම රඟ දැක්වීම තුල සැබැවින්ම එහි පෙන්වන ඉරණමට මුහුණ දෙන්නන් සිටිය හැකිය.

Fear psychosis හෙවත් භ්‍රාන්ති මනෝභාවය ඇතිකිරීම රැවටිල්ල රජයන සමාජයක ඉතා ඵලදායී දේශපාලන උපක්‍රමයක් බවට පත්වේ. සමාජය හමුවේ උදාහරණ එකක් දෙකක් රඟ දැක්වූ කළ සමාජයේ සෙස්සෝ භ්‍රාන්තව මුළු ගැන්වෙති. ඒ හරහා තවදුරටත් රඟ දක්වන්නාගේ පැවැත්ම තහවුරු කරගැනීමටත් එයට අභියෝග කරන්නට නිර්භය වන්නන් ප්‍රමාණාත්මකව අඩු කරගැනීමටත් අවකාශ ලැබෙන්නේය. 

Terrorism හෙවත් ත්‍රස්තවාදය යන්නෙහි වචනාර්ථය කුමක්ද? තමාට අවශ්‍ය දෙය ඉටුකර ගැනීමට "භය" භාවිතා කිරීම ත්‍රස්තවාදයේ සරළ අදහසයි. ඒ අනුව "ත්‍රස්තවාදය" ක්‍රියාත්මක කිරීමෙන් එහි ප්‍රතිඵලයක් ලෙස උද්ගත වන තත්වය "භ්‍රාන්ති මනෝභාවය" ලෙස හඳුනාගත හැකිය. ඒ අනුව භ්‍රාන්ති මනෝභාවය දේශපාලනික උපකරණයක් ලෙස භාවිතයට ගන්නා තැනැත්තා ත්‍රස්තවාදියෙකු ලෙස හැඳින්වීමේ කිසිඳු වරදක් නැත. 

(Fear psychosis යන වචනයට "භ්‍රාන්ති මනෝභාවය" යන යෙදුම මගේය. එයට ඊට වඩා හොඳ වචනයක් ඇත්තේ නම් හෝ භාවිතයේ පවතීනම් මෙහි සඳහන් කිරීමට කාරුණික වන්න)

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...