Saturday, May 2, 2020

සත්‍ය දැනුම සහ නිවැරදි දැනුම

අතිශය ජනප්‍රිය Planet of the Apes චිත්‍රපට මාලාවේ එන චරිත දෙකකි කෝබා සහ සීසර්.



කෝබා යනු රසායනික පර්යේෂණාගාරයක අත්හදාබැලීම් සඳහා තබාගෙන සිටි සතෙකි. ඔහු දන්නා කාලයේ සිට මනුෂ්‍යයන් වෙතින් ඔහුට අත්වී ඇත්තෙ ගැහැට හා හිරිහැර පමණි. මනුෂ්‍යයන් ඔහුට පහරදී ඇත, අත්හදා බැලීම් සඳහා ඔහුට තුවාල කරමින් ශරීරය වරින් වර කපා විවෘත කර ඇත. විවිධ ප්‍රතික්‍රියා ඇතිවන රසායනික ද්‍රව්‍ය ඔහුගේ සිරුරට එන්නත් කර ඇත, එසේ එන්නත් කිරීමෙන් පසු ඇතිවන දරාගත නොහැකි වේදනාවෙන් කොටසක් කෝබාගේ ජීවිතය පුරාම ඔහුට දැනෙයි. එයින් ඇතිවූ භයංකාර කෝපය අවුස්සනසුළු මතකය කෝබාට නින්ද අහිමි කරයි. ඔහුට අනුව මනුෂ්‍ය වර්ගයා යනු කිසිවිටක අනුකම්පා කිරීමට නොවටනා කෲර ජීවීන් පිරිසකි. ඔවුන් කිසිවිටක විශ්වාස නොකළ යුතුවා පමණක් නොව පළිගැනීමට අවස්ථාව ලද වහාම ඔවුන්ගෙන් පළිගත යුතුය.

කෝබාගේ අත්දැකීම් සහ දැනුම අසත්‍යයක්ද? කිසිසේත් නැත. එය සම්පූර්ණයෙන්ම සත්‍යයක් වනවා පමණක් නොව කෝබා මනුෂ්‍ය වර්ගයා කෙරෙහි අපමණ වෛරයකින් පසුවීම ඔහුට අනුව සම්පූර්ණයෙන්ම සාධාරණ වේ.



සීසර් ළමා කාලය මනුෂ්‍ය ආශ්රයේ ආදරය සහිතව ඇතිදැඩි වී තම ජීවිතයේ යම් අවස්ථාවකදී තම ස්වාධීනත්වය සොයා යන චිම්පන්සියෙකි. මනුෂ්‍ය වර්ගයාගෙන් වානරයන්ට වන ගැහැට ඔහු දකී. ඔහුට වැදගත් වන්නේ වානර වර්ගයා එම ගැහැටෙන් බේරාගෙන වානර වර්ගයාගේ ගෞරවය ආරක්ෂාවන පරිදි ජීවත් වීමය. මනුෂ්‍ය වර්ගයාගෙන් දුටු තැන පළිගතයුතු බවක් හෝ ඔවුන් කෙරෙහි දැඩි වෛරයෙන් යුතුව කෲරත්වය මුදාහැරිය යුතු බවක් සීසර් කල්පනා නොකරයි.

සීසර්ගේ මෙම ප්‍රතිපත්තිය කෝබාගේ නොසතුටට හේතුවකි. සීසර් මනුෂ්‍ය ආශ්රයේ හැදී වැඩුණු වානරයෙකු බැවින් ඔහු මනුෂ්‍ය වර්ගයාට අනවශ්‍ය අනුකම්පාවක් දක්වන බව කෝබා සිතයි. මේ පිළිබඳව කල්පනා කිරීමේදී කෝබාගේ සිත සීසර් පිළිබඳවද වෛරයෙන් පිරී යයි.

අවසානයේ උපක්‍රමශීලීව සීසර්ට මරණීය ප්‍රහාරයක් එල්ල කරන කෝබා වානර ප්‍රජාවේ නායකත්වය අත්පත් කරගනී. එය වානරයන් වෙනුවෙන් කළ හැකි හොඳම දෙය බව කෝබා අවංකවම කල්පනා කරයි. තමා ජීවිතයේ මනුෂ්‍යයන් පිළිබඳව දන්නා එකම දෙය වන කෲරත්වය පදනම් කරගනිමින් කෝබා මනුෂ්‍ය වර්ගයා⁣ට එරෙහිව යුධ ප්‍රකාශ කරයි.

මරණයට පත්වූයෙි යැයි කෝබා කල්පනා කළත් ජීවිතය බේරාගන්නා සීසර් සුවය ලබා නැවත පැමිණෙන විට කෝබා මනුෂ්‍ය වර්ගයාටත් වානර ප්‍රජාවටත් මහත් විනාශයක් කර අවසන්ය. එය සීසර්ටවත් ආපසු හැරවිය නොහැකි අන්දමේ විනාශයකි.

කෝබාගේ දැනුම සත්‍යය. නමුත් එය සමස්ථයට අදාළව තීරණ ගැනීමේදී පදනම් කරගැනීම නිවැරදි නැත. සීසර්ගේ දැනුමද සත්‍යය. එය පදනම් කරගෙන තීරණ ගැනීමෙන් මහත් විනාශයන් වලක්වාගත හැකිය.

සත්‍ය දැනුම හා නිවැරදි දැනුම අතර වෙනස එයයි.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...