ශ්‍රී ලංකාව මෑතකාලීනව දේශපාලනික පෙරළි රාශියකට එක ළඟ මුහුණ දුන්නේය. ඇතැම් ඒවා බල පෙරළි මට්ටමට ගිය අතර ඇතැම් ඒවා නාට්‍යානුසාරී බලපෑමක් පමණක් ඇති කරන්නට යෙදිණි. මෙම සෑම පෙරළියකදීම පාහේ අවධානයට ලක්වූ වැදගත් කරුණක් වන්නේ ඒ දෙස බලා සිටින ජනතාවගේ දේශපාලනික දැනුමේ අඩු බවයි. දේශපාලනිකව නොපැසුණු බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැත, පාර්ලිමේන්තුව අවශ්‍ය නැත, හමුදා පාලනයක් අවශ්‍යය යනාදී වශයෙන් සමාජය තුලින් අපට ඇසෙන මතයන් ඇතැම් විට ඒ ඒ තත්වයන් වලදී යම් සාධාරණ බවක්ද පෙනෙයි. නමුත් එවැනි කෙටි විසඳුම් වහ වහා ඉදිරිපත් කිරීමම දේශපාලනිකව නොපැසුණු බවේ ලක්ෂණයකි. එයින් පෙනී යන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ රටක් පාලනය වන තත්වයට, පාර්ලිමේන්තුවක් මගින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් යටතේ රටක් පාලනය වන තත්වයට අප පැමිණියේ කෙසේද යන්න මේ පුද්ගලයින් නොදන්නා බවයි. එම නොදැනුවත් භාවයද අතිශය සාධාරණය.
ලෝකයේ වර්තමානයේදී පිලිගන්නා පාලන ක්‍රමයන් දවසින් දෙකෙන් බිහි වූයේ නැත. එකී පාලන ක්‍රම භාවිතයට ගන්නා ඒවා බිහිවූ රටවල්ද කලකට පෙර පැවැතියේ රාජාණ්ඩු ක්‍රමයක් යටතේය. එහි ඇති දුර්දාන්ත ගති ලක්ෂණ වලට එරෙහිව පාරම්පරිකව නැගී ආ විරෝධාකල්ප අරගලයක් වශයෙන් පුපුරා යාමෙන් නව පාලන ක්‍රම බිහිවී තිබේ. අරගලය පාරම්පරික වූ කල එයින් ලබාගන්නා ජයග්‍රහණයද පාරම්පරික උරුමයක් බවට පත්වේ. එනම් පාරම්පරික අරගලයකින් පසුව ක්‍රමයේ වෙනසක් ඇතිකරගන්නා සමාජයක මිනිසුන්ට එම වෙනස බොහෝ වටිනා දෙයකි.
ශ්‍රී ලංකාවේ වර්තමානයේ භාවිත වන පාලන ක්‍රම කිසිවක් එවැනි පාරම්පරික අරගල වලින් දිනාගත් අපේකමක් දැනෙන ඒවා නොව, එම අරගල එංගලන්තයේ ඇතිවී එංගලන්තයේ පොදු ජනතාව එකී දෑ දිනා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස එකල එහි යටත් විජිතයක් වූ අපට ලැබුණු ඒවාය. එහි කිසිඳු වටිනාකමක් පාරම්පරික දැනුමක් අගයක් අපට නැතිවීම ඒ අනුව පුදුමයට කරුණක් නොවේ.
ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් නොවන්නට ශ්‍රී ලංකා රාජාණ්ඩු ක්‍රමය යටතේ පැවැති අන්ත දුර්දාන්ත ක්‍රම වලට එරෙහිව ශ්‍රී ලාංකිකයන්ගේ අරගලයක් ඉතිහාසයේ කුමන හෝ අවස්ථාවක ඇති වීමට තිබුණි. එසේ වී නම් එයින් පසුව ඇතිකරගන්නා කුමක් හෝ වේවා මහජනතාවගේ පාලන ක්‍රමය අපේ වන්නට තිබුණි.
අප අසා ඇති ඉතිහාසයේ ජයකෙහෙළි නැංවූ අවස්ථා වන දුටුගැමුණු එළාර යුධ ජයග්‍රහණය, පරාක්‍රමබාහු රජ දවස රට සහලින් ස්වයංපෝෂිත වීම, බුරුම රට ආක්‍රමණය, රාජාවලියෙන් එපිට තිබුණා යැයි කියැවෙන පෞඪ රාවණ යුගය යනාදී සියල්ලම රජ යන සංකල්පයේ පෞඪත්වය මත වරනැගෙන ඒවා වෙයි. නමුත් ඒවා තුල පැවැති වහල් ක්‍රම, අන්ත:පුර, අමානුෂික දඬුවම් ක්‍රම, රජුගේ පුද්ගලික කැමැත්ත නීතිය වීම, කුල ක්‍රමය ආදී වූ දුර්දාන්ත ලක්ෂණ නොවැදගත් වෙමින් අභිමානයෙන් සිහි කැරෙන්නේ රාජ තේජසත් සමඟ වූ ජයකෙහෙළියයි.
ඉන්පසු මෑත අතීතයේදී ශ්‍රී ලංකාව සැබෑ අරගලයක් කොට ජයග්‍රහණය ලද අවස්ථා ඇත්තේ එකක් පමණි. ඒ එල්.ටී.ටී.ඊ සංවිධානය යුධමය වශයෙන් පරාජය කළ අවස්ථාව පමණි. ඒ හරහා ඇතිවන දැනුම අත්දැකීම් මත විවිධාකාර වෙයි.
කෙනෙකුගේ පවුලේ ඥාතියෙකු යුද්ධයෙන් අහිමි වී ඇත, තවත් කෙනෙකු වෙඩිහඬ ඇසෙන මානයේ ප්‍රාණ භයෙන් යුතුව වසර ගණනාවක් රැය පහන් කර ඇත. තවත් කෙනෙකුගේ සමීපතමයෙකු අතුරුදහන් වී ඇත. ඒ අතර ත්‍රස්තවාදීන් විසින් රැගෙන ගොස් අතුරුදන් වූ අයද හමුදාවේ අත්අඩංගුවේදී අතුරුදන් වූ අයද වෙති. මේ සියළු දෙනා ඊළාම් යුද්ධයේ පාරම්පරික දැනුම ලබා ඇත.
එහෙත් ඒ එක් එක් දැනුම් ප්‍රභවය එකිනෙකට වෙනස් වේ. ඇතැම් අය ඉදිරියේ යුද්ධය ත්‍රස්තවාදය වැනි වචන භාවිතය ඔවුන්ගේ කෝපයට හේතු වනවා ඇත. තවත් අය ඉදිරියේ විමුක්තිකාමය, සංහිඳියාව, නිදහස, මානව හිමිකම් ආදී වචන කතා කිරීම කෝපය අවුලවනවා ඇත. ඒ සියල්ල නිසැකවම අත්දැකීම් මත ලද දැනුම වේ. එකී දැනුම නිසි දේශපාලන අධ්‍යාපනයක පදනමක් මතට නොවැටීම හේතුවෙන් කෝපය හා මුසුවී එක තැන පල් වීම සිදුවේ. එය කිසිසේත්ම ඒ දැනුම අත්දැකීමෙන් ලැබූ අයගේ වරදක් නොවේ. නමුත් එය ප්‍රගතිශීලී දේශපාලන අවබෝධයක් කරා ගෙන යන දැනුමක් නොව ජීවිතාන්තය දක්වා පුද්ගලයා කෝපාන්විත මුල්ලකට කොටු කරන දැනුමකි.
තවත් අයට 1971 කැරැල්ලේ හෝ 1988/89 කැරැල්ලේ අත්දැකීම් තිබේ. එම කැරළි දෙකෙහිදී මරබිය දැනුණු, තමාගේ ඥාති හිතවතෙකුගේ මරණය ඇසින් දුටු කිසිවෙකු තම ජීවිතය ඇති තාක් එම කැරළි විවේක බුද්ධියෙන් පශ්චාත් අධ්‍යයනය නොකරනවා ඇත. එයද දැනුමකි. නමුත් පෙර සේම ඉදිරිගාමී දැනුමක් නොව කෝපයෙන් මුළුගන්වන දැනුමකි.
ඒ අනුව ගත් කල පාරම්පරික දේශපාලනික දැනුම යන විෂයෙහි ගත්කල ශ්‍රී ලාංකික අප සියළු දෙනා දුගී දුප්පතුන් වේ.
එහි ප්‍රතිඵලය වන්නේ තීරණාත්මක වාතාවරණයක් ඇතිවූ වහාම එම දුගී දුප්පත් දේශපාලන දැනුම මත ගන්නා තීන්දු තීරණද බොහෝවිට අසාර්ථක දුර්වල හදිසියේ ගත් අමනොඥ තීරණ බවට පත්වීමයි.
ජීවීන් පරිණාමය වන්නා සේම සමාජයක්ද පරිණාමය වේ. පාරම්පරික දැනුම අතිශය වැදගත් වන්නේ ඒ නිසාය. ශ්‍රී ලංකාව තුල බොහෝ දෙනා ආගම එක්කෝ දේශපාලන උපකරණයක් ලෙස නැත්නම් දේශපාලනයේදී තීරණාත්මක සාධකයක් ලෙස සළකති. ජාතියට ඊටත් ඉහළ වටිනාකමක් ලබාදෙති. ලෝක ඉතිහාසයේ ජාතිය මෙන්ම ආගම මුල්කරගෙනද සටන් අරගල ලේ වැගිරීම් ඇති තරම් සිදුවී තිබේ. ඒමත ඇතිවූ ඇතැම් යුද්ධ ශතවර්ෂ දෙකක් පමණ එක දිගට පැවැතුණු අවස්ථාද ලෝක ඉතිහාසය තුල හමුවේ. එවැනි දීර්ඝ කාලයක් තිස්සේ ඝෝර කටුක අත්දැකීම් ලැබීමෙන් පසු ආගම යන සාධකය දේශපාලනයේදී තීරණාත්මක කොටගැනීම නිෂ්ප්‍රයෝජන බව ලෝකය විසින් අත්දැකීමෙන් අවබෝධ කොටගෙන ඇත. දියුණු පාලන ක්‍රමයන් නිරාගමික (secular) පාලන ක්‍රමයන් එනම් කිසිඳු ආගමක් සමඟ සම්බන්ධයක් නැති පාලන ක්‍රමයන් බවට පත්වන්නේ ඒ අනුවය.
නමුත් ශ්‍රී ලංකාවේ පාලන ක්‍රමය නිරාගමිකකරණයට ලක්කිරීම පිළිබඳව අදහසක් පලකිරීමට හෝ හැකි වාතාවරණයක් නැත. මන්ද අප එහි නිසරු බව අත්දැකීමෙන් අවබෝධ කොටගෙන නැත. අපට නිරාගමික රාජ්‍යයක වටිනාකම පිළිබඳව පාරම්පරික දැනුමක් නැත.
මෙයට විසඳුම කුමක් වන්නේද? එකක් නම් කිසිවක් නොකර බලා සිටීමය. මන්ද සමාජ පරිණාම ක්‍රියාවලියෙන් ගැලවීමට ශ්‍රී ලංකාවට නොව පරිණාමයේ ඊටත් බොහෝ පසුපසින් සිටින සෞදි අරාබියට වත් හැකියාවක් නැත. ඒ ඒ කඩඉම් යම් අවස්ථාවකදී නිසැකවම පසුකිරීමට සිදුවනවා ඇත. අනාගතයේ යම් දවසක සමාජ පරිණාමායේ පාරම්පරික දැනුමින් යුතු පාලන ක්‍රමයක් ශ්‍රී ලංකාව අත්පත් කරගන්නවා ඇත. එසේ සිතා ඔහේ බලා සිටීම එක් ක්‍රමයකි.
අනෙක් ක්‍රමය නම් හැකි අයුරින් දේශපාලන දැනුම ජනගත කිරීමය.
දේශපාලන දැනුම යනු ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා ඔවුන්ට ඒත්තු ගන්වා ඇති පරිදි සිතා සිටින කාලීන තොරතුරු නොවේ. එය උත්සාහයක් වෙහෙසක් දරා ලැබිය යුතු අධ්‍යාපනයකි.
ලෝක දේශපාලනයේ තීරණාත්මක සංධිස්ථාන එනම්, ඇමරිකානු නිදහස් සටන, රුසියානු විප්ලවය, ප්‍රංශ විප්ලවය, කියුබානු විප්ලවය, සිංගප්පූරුව ගොඩනැගීම, චීන විප්ලවය, කුරුස යුද්ධ, ලෝක යුද්ධ, හිට්ලර්ගේ නැගීම සහ ඇදවැටීම, රුවන්ඩානු වර්ග ඝාතනය, සෝවියට් දේශය බිඳවැටීම, ඇෆ්ගන් සහ ඉරාක යුද්ධ, කොසෝවෝ අර්බුදය, සුඩාන යුද්ධය යනාදී ලෝක දේශපාලනයේ තීරණාත්මක වෙනස්කම් සිදුවූ අවස්ථා පිළිබඳව ලියැවුණු පොත්පත් කියැවීම මෙහිදී අතිශයින් වැදගත් වනවා ඇත.
රුසියානු විප්ලවය පිළිබඳව මක්සීම් ගෝර්කිගේ කෘති සහ වානේ පන්නරය ලැබූ හැටි වැනි කෘති තුලින් සම්පූර්ණ යථාර්ථවාදී චිත්‍රයක් මවන්නේ යැයි මම නොකියමි. නමුත් එම රචනා තුල නිරන්තරයෙන්ම අරගලකරුවන්ගේ අධ්‍යාපනයේ වටිනාකම අවධාරණය කර තිබේ. නූගත් කම්කරුවන්ට අකුරු උගන්වා ඉන්පසු කියවීමට පොත් ලබාදී ඔවුන්ගේ දැනුම ඉහළ නැංවූ ආකාරය සහ ඒ හරහා ආකල්ප සහ පරිකල්පනමය ශක්තීන් ඉහළ නැංවූ අයුරු විස්තර කර තිබේ. දේශපාලනික වෙනසක් පතන්නාට දේශපාලනික දැනුමේ ඇති වැදගත් කම රුසියානු විප්ලවයේදී තරම් අවධාරණය වූ අවස්ථාවක් තවත් නැති තරම් වේ.
කෙසේ වෙතත් අරගලයන්හි යටින් දුවන ජීවනාලිය දැනුම බව වරප්‍රසාද ලද්දෝ මැනවින් දනිති. එබැවින් ඔවුන් දැනුම ගලායාම පාලනය කිරීමට උත්සුක වූහ.
අතීතයේදී වරප්‍රසාද ලත් රදළ පවුල් වල දරුවන්ට පමණක් අධ්‍යාපනය සීමා කිරීම, රුසියානු විප්ලවයට පෙර සමයේදී කම්කරුවන්ට අධ්‍යාපනය ලබාදන ප්‍රකාශන තහනම් කිරීම, වර්තමානයේදී පවා සමාජයේ ස්ථාපිත අරටු අභියෝග කරන අදහස් සහිත ප්‍රකාශන තහනම් කිරීම, රචකයන් සිරගත කිරීම ආදිය සිදුවී තිබේ.
ඊටත් වඩා ඵලදායී ලෙස දැනුම ගලා යාම සීමා කිරීමට හැක්කේ දැනුම ලබාදෙන්නා බවට පත්වීමෙනි. රජයක් ලෙස පාසල් අධ්‍යාපනයේදී විෂය නිර්දේශ සැකසීමේදී විවෘතව සිතන දරුවෙකුට වඩා සංවෘතවූද කොටු වූද සීමා තුල කල්පනා කරන දරුවෙකු බිහිකිරීම නොදැනුවත්ව වාගේ ඉලක්ක වී තිබෙන්නේ අත්වැරදීමකින්ද? කිසිසේත් නැත. එම හැකිලුණු බව මෙම ක්‍රමයේ පැවැත්මට අවශ්‍ය වෙයි. සමාජය වසර සියගණනක් තිස්සේ ස්ථාපිත වූ දෑට බියෙන් අවනත වීමේ හික්මීම අධ්‍යාපනයේදී නොලබන දරුවා අනාගතයේදී සෙලැවෙන සියල්ල ප්‍රශ්න කරනවා ඇත.
වර්තමානයේ දැනුම අවිධිමත්ව ගලාගෙන යන්නේ වැඩිවශයෙන්ම රූපවාහිනී නාලිකා තුලිනි. මෙය සැබැවින්ම තොරතුරු මාධ්‍ය පමණක් නොව පොත පත පවා හිඟ වූ මක්සීම් ගෝර්කිලාගේ යුගයටත් වඩා ළිං මැඩියන් බවට ජනතාව පත්කරන ක්‍රමයකි. රූපවාහිනී මාධ්‍යයෙන් තොරතුරු ලබාගැනීම මිනිසා කම්මැලි කරවයි. දැනගත යුතු සියල්ල මොහොතකින් දැනගත් බවට ව්‍යාජ තෘප්තියක් සිතේ මවයි. එම තෘප්තිය ලබන පුද්ගලයා රූපවාහිනියේ නැරඹූ යමක් පිළිබඳව පොතක් පතක් හෝ අන්තර්ජාලය කියවා යමක් සොයන්නේ කළාතුරකිනි. පුද්ගලයන්ගේ පරිකල්පනය නොදැනීම මොට වී රූපවාහිනී නාලිකා වලින් කියන තොරතුරු පිළිබඳව පූර්ණ විශ්වාසය තබන ගොබ්බ ආස්ථානයට මිනිසා පත්වන්නේ ඔහුටත් නොදැනීය.
මෙය වරප්‍රසාද ලත් පන්තියට සහ පාලක පැලැන්තියට මහත් පහසුවකි. තවදුරටත් මිනිසුන් සත්‍ය සොයා විමර්ශනශීලීව පුස්තකාල පෙරලන්නේ නැත. රූපවාහිනිය බලා එහි කියන දේ සත්‍යයක් ලෙස පිළිගෙන තෘප්තිමත් වී තමන්ගේ කාර්යබහුල ජීවිතයට යාන්ත්‍රික ලෙස පිවිසීමට මිනිසා හුරුවී ඇත. එවන් මිනිසුන්ගෙන් සමන්විත පරිසරයක් පාලනය කරගැනීම ඉතාම පහසුය. පාලනය කළ යුතු වන්නේ රූපවාහිනී නාලිකා පමණි. එවායෙන් කියැවෙන දෑ බහුතරය ඉස්මුදුණින් පිළිගන්නවා ඇත. දැනුම සොයා යන විමර්ශනශීලී සුළුතරයක් එය ප්‍රශ්න කළද එය පැවැත්මට තර්ජනයක් වන තරමේ අභියෝගයක් නොවේ.
No comments:
Post a Comment