2019.07.25
මිනිසුන් සාධාරණත්වය ඉටුවනවාය කියන්නේ සාධාරණත්වය පිළිබදව සැබෑ
අරුතකින් නොව තමන් ට අවශ්‍ය දෙය ඉටුවන විටදීය. විශේෂයෙන් අධිකරණ කටයුතු
වලදී තමන් ආසා කරන තමන් බලාපොරොත්තු වූ තීන්දුව ලැබුණු කල විනිසුරුතුමන්ලා,
විමර්ශන නිලධාරීන්, නඩුවට පෙනී සිටි නීතිඥවරුන් යන සියල්ල දෙවිවරු වෙති.
තමන් අපරාධ නඩුවක චූදිතයෙකුව සිටින අයෙකුට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය,
සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිණිල්ල ඔප්පු කිරීමේ අවශ්‍යතාවය යනාදිය දේව
වාක්‍ය වෙයි.
තමන් අකමැති ප‍්‍රතිඵලයක් ඇතිවූ කළ පෙරකී සියලු දෙනා
අන්ත දුෂ්ඨයන් වෙති. තමා චූදිතයෙකු නොවන තාක්කල් සියල්ලන්ටම පාහේ
චූදිතයෙකුට ඇති නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සහ චූදිතයෙකුට එරෙහි නඩුවක්
පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමේ අවශ්‍යතාවය වනාහි අපේ
රටට නොගැලපෙන සුද්දාගේ නීතියේ උණ්ඩුක පුච්ඡයන්ය.
කවුරුන් කෙසේ කීවද
යථාර්ථය මෙය වේ. සියල්ලෝම සියල්ල දකින්නේ තමාගේ දෘෂ්ටිකෝණයට සාපේක්ෂවය.
එහිදී බොහෝ දෙනෙක් අධ්‍යාපනය දැනුම අදාළ සිද්ධිය පිළිබදව දැනුවත් භාවය එසේ
දැනුවත් වූ මූලාශ‍්‍රය යනාදිය මත දෘෂ්ටිකෝණයේ පුළුල් හා පටු භාවය තීරණය
වන්නේය යන නියාමය පවා අමතක කර තමාට ලැබුණු තොරතුරු අනුව තමා එළඹි නිගමනය
නිවැරදි බවත් අන් සියල්ල වැරදි බවත් සාහසික ලෙස තීරණය කරති.
මෙම
යථාර්ථය මනාව පසක් වන සිදුවීම් දෙකක් අද දිනයේ සිදුවිය. එක සිදුවීමක් දහවල්
කාලයේ වාර්තා වූ අතර අනෙක වාර්තා වන විට සවස හත පමණ විය. දහවල් වාර්තා වූ
සිදුවීම නම් ගෝඨාභය රාජපක්ෂගේ සොහොන් නඩුවේ සාක්ෂි විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය
විසින් ඔක්තෝබර් 01 දක්වා අත්හිටවූ බවයි. මේ සම්බන්ධයෙන් ඇතැමුන්
උද්දාමයට පත්වූ ආකාරයත් ඇතැමුන් නොසතුට පලකල ආකාරයත් බුකියේ ඉහළ පහළ ගමන්
කිරීමේදී මෙන්ම හමුවූ මිනිසුන් හා කතාබහේදීද මැනවින් පෙනුණි.
අනෙක්
සිදුවීම නම් වෛද්‍ය සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆිගේ වද නඩුවේදී වෛද්‍ය
සාෆිට කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප නියම කිරීමය. මේ
සම්බන්ධයෙන්ද පෙරකී සිදුවීම මෙන්ම විවිධ අය විවිධ ප‍්‍රතිචාර දක්වනු පෙනේ.
පළමු සිදුවීමෙන් උද්දාම වී දෙවැන්නෙන් කෝප වූ අයද, පළමුවැන්නෙන් කෝප වී
දෙවැන්නෙන් උද්දාම වූ අයද, දෙකෙන්ම කෝප වූ අය අතලොස්සක්ද, දෙකෙන්ම උද්දාම
වූ අතලොස්සක්ද, දෙකම පිළිබදව උපේක්ෂා සහගත වූ ඉතා සුළු ප‍්‍රමාණයක්ද මම
දුටුවෙමි.
ඉහත කණ්ඩායම් වලින් අවසානයට කී පිරිස හැර අනෙක් කුලක
සියල්ලන්ගේම එකතුව ගත් කල ඔවුන්ගෙන් අතිමහත් බහුතරය අදාළ සිදුවීම් දෙකෙන්
එකක් හෝ පිළිබදව දන්නා කෙහෙම්මලක් නොමැති පිරිස් බව ඉතා පැහැදිලිව පෙනී
යයි. ඔවුන් සොහොන් නඩුව පිළිබදව දන්නේද වද නඩුව පිළිබදව දන්නේද කවුරුන් හෝ
කියූ කුමක් හෝ එකක්ය. ඒ කියූ සියල්ල කවුරුන් හෝ එසේ කී පමණින් විශ්වාසයට
ගෙන එය පරම සත්‍ය සේ සළකා ඔවුන් කටයුතු කරති.
බොහෝ විට ඒ අවස්ථා දෙක
පිළිබදව කෝප වුවත් උද්දාම වුවත් එහිදී පවත්නා යථාර්ථය අධිකරණය කරුණු සළකා
බැලීමට භාවිත කරන නීතිමය ප‍්‍රතිපාදන යනාදිය පිළිබදව මෙලෝ හසරක් දන්නේම
නැත. සමහරු සමහර නීති ඇති බව දන්නේ නැතිවා පමණක් නොව ඔවුන්ට ඉන් වැඩක්ද
නැත. නමුත් පෙරකී අවසාන ප‍්‍රතිඵල වලින් කෝප වෙති. උද්දාම වෙති.
ඒ
සිදුවීම් පිළිබදව දන්නා කෙනෙකු යමක් පැහැදිලි කළ විට රටම දන්නා දෙයක් ගැන
තෝ කුමක් කියන්නේද අසති. මේ සිදුවීම් දෙකෙන් වෛද්‍ය සාෆි පිළිබදව නඩුව
ආරම්භ වූ දිනයේ සිට අද දිනයේ ඇප නියම කළ අවස්ථාව දක්වාම සිදුවූ සියලුම
අධිකරණ කාර්ය පටිපාටිය සමීපව දැඩි අවධානයෙන් නිරීක්ෂණය කළ අයෙකු හැටියට
ඇතැමුන් ඒ පිළිබදව ඉදිරිපත් කරන අපූරු තර්ක හා න්‍යායන් අසා මට සිනා පහළ වූ
අවස්ථා බොහෝ වෙයි.
සොහොන් නඩුව පිළිබදව මා දන්නේ නැත. මා එය
නිරීක්ෂණය කළේද නැත. එහි ඉදිරිපත් වූ නීතිමය තර්කයන් යනාදිය පිළිබදව මම
දැනගත්තේද පුවත්පත් හා මාධ්‍ය වලින් ඒවා වාර්තා වූ හැටියට පමණි. මාධ්‍ය හා
පුවත්පත් සෑම විටම කුමන හෝ ආකාරයකින් පක්ෂග‍්‍රාහී වෙයි. එබැවින් ඒ පිළිබදව
ඔවුන් හරහා ලබාගත් ප‍්‍රවාදක (hearsay) දැනුමක් මත සොහොන් නඩුව පිළිබදව
මතයක් හදාගෙන සිට අද අධිකරණ නියෝගයෙන් උද්දාම වීමට හෝ කෝප වීමට තරම් මට
අවශ්‍යතාවයක් නැත.
මෙම සිදුවීම් දෙකෙන්ම උපේක්ෂා සහගත වන කුලකයද
කොටස් 3කි. පළමුවැන්න මේ සිදුවීම් දෙක පිළිබදවම ඉතා මැනවින් දන්නා අයයි.
දෙවැන්න ඒ දෙකම පිළිබදව කිසිවක්ම නොදන්නා අයයි. තුන්වැන්න නම් ඒ පිළිබදව
දැන සිටියද නොදැන සිටියද ඒ පිළිබදව වගේ වගක් නැති අයයි.
ඔය කී
සර්වත‍්‍ර කුලකයම දැනගතයුතු කරුණක් ඇත. අධිකරණයට තීරණයක් ගත හැක්කේ
ඉදිරිපත් වන කරුණු අනුව වේ. ඒ කරුණු වලින්ද නීතියට අනුව අදාළ කරගත හැකි
කරුණු මෙන්ම අදාළ නැති කරුණු ද වේ. නීතිඥවරුන් ඉදිරිපත් කරන කරුණු අතර
අදාළ කරගත හැකි කරුණු මෙන්ම ගැලරි කතාද නොඅඩුය. මාධ්‍ය මගින් මේ සියල්ල
අතරින් අදාළ මාධ්‍ය ආයතනය නියෝජනය කරන පාර්ශවයට වාසිදායක කාරණා තෝරාගෙන ඒවා
සියල්ල වාර්තා කෙරේ. ඉතින් යම් අයෙකු එවන් වාර්තාවක් කියවා නඩුවක් ගැන
අවසාන විනිශ්චයකට එළඹී ඒ මත සිට සියල්ල දත්තෙකු සේ නන් දෙඩවීම කෙතරම්
විකාරයක්දැයි පෙනෙන්නේ අදාළ විෂය දන්නා අයෙකුටම වේ. මෙහිදී කුසල් මෙන්ඩිස්
කියූ එක කතාවක් මට සිහියට නැගේ. එය සමච්චලයට ලක්වුවද ඉතා ඉහළ
සත්‍යතාවයකින් යුතු කතාවකි.
"ක‍්‍රිකට් දන්න අය දන්නවා"
ඒ
සිද්ධාන්තය මතම සිටිමින් මාගේ ජ්‍යෙෂ්ඨ උගත් මිත‍්‍රයා වසන්ත ශ‍්‍රී වටගොඩ
විසින් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට ඇප ලැබීම පිළිබදව බුකියේ මතුවූ
හාහූවන්ට පිළිතුරු ලෙස රචනා කළ පෝස්ටුවක් අවසන් කළේ පහත වාක්‍යයෙනි.
"දන්න #කක් කතාකොරහල්ල බං"
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ‍්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment