Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Tuesday, April 14, 2020
ජවිපෙ එක්ක එච්චර තරහක්?
2019.07.09
ගොඩක් මහින්දවාදී පොහොට්ටුවාදී අයට ජවිපෙ එක්ක තියෙන්නෙ තරහක්. ඒකට හේතුව දේශපාලනය තුල කවදාවත් නොවෙයි කියලා ඔවුන් බලාපොරොත්තු වුණ එකතු වීමකට ජවිපෙ යාම. එජාපය වගේ අන්ත දක්ෂිණාංශික, ජවිපෙ නායකයා ඇතුලු බොහෝදෙනෙක් මරා දාපු පක්ෂයක් සමග ජවිපෙ එක්ව කටයුතු කිරීම ඔවුන් සිතා සිටියේ කවදාවත් නොවෙන දෙයක් විදියට. ඔවුන් 1994 ඉදන්ම හිතුවේ ඔවුන්ගේ දේශපාලන වැඩ පිළිවෙලට අනියමින් සහය දෙන සදා එජාප විරෝධී ස්ථාවරයක ජවිපෙ ඉදීවි කියලා.
නමුත් ඒ ස්ථාවරය සුණු විසුණු කරලා 2010 සරත් ෆොන්සේකාගෙ මැතිවරණ වේදිකාවට ඔවුන් එජාපයත් එක්ක එකට ගොඩ වෙනවා. නමුත් ඒක ලොකුවට අවධානයට ලක් වෙන්නෙ නෑ ෆොන්සේකා පැරදීමත් එක්ක.
නමුත් 2015දි එජාප වේදිකාවට ගොඩ නොවී ඔවුන්ගේම වේදිකාවේ ඉදන් ජවිපෙ තීරණාත්මක භූමිකාවක් ඉටුකරනව. ඒකත් එක්ක තමයි ගොඩක් මහින්දවාදීන්ට ජවිපෙ එක්ක කේන්ති යන්නෙ. 1994 වෙනකොට අන්තයට වැටිලා චප්ප වෙලා හිටපු ජවිපෙට නැගිටින්න අතදුන්නෙ තමන්ය, ඒ හින්දා ජවිපෙට කවදාවත් තමන්ට පිටුපාන්න බැරිය, එජාපය සමග එකගතාවයක් කවදාවත් ඇතිවෙන්නේ නැතිය කියන දේවල් පරම නියතයන් විදියට සළකාගෙන හිටපු පැරණි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික, වර්තමාන පොහොට්ටුවාදීන්ට ජවිපෙ ඒ භූමිකාව දිරවාගන්න බැරිවුණා. අදටත් ඒක අදහාගන්න බැරි, දිරවාගන්න බැරි, මතක් කිරීමෙන් වුණත් කෝපය පමණක්ම උපදින මතකයක් විදියට තමයි මහින්දවාදීන්ගෙ හිතේ තැන්පත් වෙලා තියෙන්නෙ. ඒ කෝපය එජාප පාක්ෂිකයන් කෙරෙහි තියෙනවාට වඩා දස ගුණයකින් පමණ ජවිපෙට එරෙහිව තියෙන්නෙ අර පෙරකී දිරවාගන්න බැරි පාවාදුන්නාය යන හැගීම නිසා.
ජවිපෙ බොහෝ අඩුපාඩු තිබෙන පක්ෂයක්. මාක්ස්වාදී යැයි කියා ගත්තද ඇතැම් පැතිවලින් ඒ අහලකවත් නැති බව ඇත්ත. නමුත් ශ්‍රී ලංකාවෙ අනෙක් සක්‍රීය දේශපාලන පක්ෂ වලට සාපේක්ෂව අඩුමගාණෙ වැරහැලි වූ දැක්මක් වත් ඔවුන්ට තියෙනවා. අනෙක් අයගෙන් වැඩිදෙනෙකුට බඩවල් වඩාගැනීම ඇරෙන්න වෙන දැක්මක් ඇත්තෙම නෑ. එතනදි තනියම කන එකා දුෂ්ඨයෙකු වන සහ බෙදා හදාගෙන කන එකා දෙවියකු වන මතයකයි බොහෝ දෙනා ඉන්නෙ.
ඒ වගේම බොහෝ කාලීන සිදුවීම් සම්බන්ධයෙන් තමන්ගෙ මතය ඇතුලෙදිම පරස්පර විරෝධී නොවන විග්‍රහයන් වෙනත් කිසිම පක්ෂයකින් ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒ නිසා මොන පාක්ෂිකයෙකු වුණත් සබුද්ධිකයෙකු නම් යම් සමාජ සංසිද්ධියකදි ඒ ගැන ජවිපෙ විග්‍රහය මොකක්ද කියන එක දිහා අනිවාර්යයෙන්ම බලනවා. ඒ එක්ක එකග වෙන බවක් ඉන් අදහස් වෙන්නෙ නෑ. නමුත් ඒ කියවීම සිදුවීම ගැන යථාර්ථවාදී චිත්රයක් ඇතිකරගැනීම සදහා ඉතාම වැදගත්.
නමුත් ජවිපෙ එක්ක කේන්තියෙන් පසුවන පෙරකී පිරිස් ඔවුන්ගේ විග්‍රහයන්, සමච්චලයෙන් යුතුව බැහැර කරනවා. නමුත් ඒ බැහැර කිරීමේ පදනම අහල බලද්දි ඒක හුදු විරෝධයක් මිසක් අදාළ සිදුවීම හෝ විග්‍රහය පිළිබදව අවබෝධයක් සහිතව කළ එකක් නොවන බව බොහෝවිට පෙනී යන කරුණක්.
මේ සටහනේ තේරුම මම ජවිපෙ පාක්ෂිකයෙකු වෙලා කියන එක නෙමෙයි. ඒත් සමාජ ප්‍රශ්නයක් යථාර්ථවාදීව තේරුම්ගැනීම සදහා ඒ ගැන ජවිපෙ ස්ථාවරය සහ විග්‍රහය මොකක්දැයි බැලීම ඉතාම ප්‍රයෝජනවත් බව පමණයි මම කියන්නට උත්සාහ කළේ.
එවැනි ප්‍රයෝජනවත් විග්‍රහයන් කරන සමහරවිට අපි මතවාදීව විරුද්ධ කී දෙනකුගේ අදහස මොකක්ද කියලා අපි කියවලා බලනවාද?
උදාහරණයක් විදියට ආචාර්ය දයාන් ජයතිලක එක්ක ගොඩක් කාරණා සම්බන්ධයෙන් මම එකග නෑ. ඒත් ඔහුගේ සෑම විග්‍රහයක් තුලම කියවා බලන්නට වටින දේවල් තියෙනවා. ඒවා කියවීමෙන් අපිට ප්‍රශ්නයේ නොපෙනෙන පැති පෙනෙන්නට පටන්ගන්නවා. ඊට අමතරව දීප්ති කුමාර ගුණරත්න, පුබුදු ජයගොඩ, ගාමිණී වියන්ගොඩ, වික්ටර් අයිවන්, මහාචාර්ය ජයදේව උයන්ගොඩ වැනි අය දෙයක් විග්‍රහ කරන අයුරු බලන්නට වටිනවා. එහෙම කියවීමෙන් ඔවුන්ගෙ මතයට තමන් නතුවේවි කියන දුර්වල ආත්ම තක්සේරුවක ඉන්න අයනම් එහෙම විකල්ප ගොඩක් දිහා බලන්න බය වේවි. එහෙම කෙනෙක් තමන් නියෝජනය කරන දේශපාලනික, ජනවාර්ගික හෝ ආගමික සංස්ථාවේ නිර්වචනය පමණක් දේව සත්‍යයක් සේ ගෙන අනෙක් සියල්ල බැහැර කරලා ඒ මතයේ එල්බ ඉන්න තීරණය කරනවානම් ඒක පැහැදිලිවම ඔහුගෙ අයිතිය. නමුත් එහෙම කෙනෙක් කරගෙන තියෙන්නෙ ස්වයංව තමන්ගෙ චින්තන පරාසය පටුකරගැනීමක්.
එතනදි ජවිපෙ කාර්යභාරය සුවිශේෂයි. ජවිපෙ 1994දි, 2005දි සහ 2015දි ඒ සුවිශේෂී භූමිකාව තීරණාත්මක සක්‍රීය තැන් වලට අරන් ගියා. ඉදිරියට ඔවුන්ගේ දේශපාලන හැසිරීම කෙබදු වේදැයි පුරෝකථනය කරන්නට මට බැහැ. නමුත් ඒ හැසිරීම දිහා සෑම විටම උනන්දුවෙන් සහ අවධානයෙන් බලාසිටින කෙනෙක් විදියට මාව හදුන්වාගන්න මම කැමතියි.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment